
සංවර්ධනය බොහෝවිට මනිනු ලබන්නේ ආර්ථික වර්ධනය, යටිතල පහසුකම් ප්‍රසාරණය හා ජාතික ආදායම ඉහළයාම මගිනි. නමුත් සැබෑ සංවර්ධනය මූල්‍ය දර්ශක හරහා පමණක් තේරුම් ගත නොහැකිය. එය මානව ගරුත්වය, සමානාත්මතාවය සහ මූලික අයිතිවාසිකම් සඳහා ඇති ප්‍රවේශය ආදිය සලකා බලා ඇගයීමට ලක් කළ යුතුය. සමාජීය හා ආර්ථික අසමානතාවයන් සැලකීමේදී, සංවර්ධන ක්‍රියාවලිය සහ මානව හිමිකම් අතර පවතින සම්බන්ධතාවය විශේෂයෙන් වැදගත් වෙයි. ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් (ESCR) යනු ගෞරවනීය ජීවිතයක් ගත කිරීම සඳහා අත්‍යවශ්‍ය මානව හිමිකම් වේ. සමාජීය, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් ජාත්‍යන්තර නීතිය යටතේ පිළිගනු ලබයි. ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය (ICESCR) මෙහි විශේෂ පියවරකි. එම අයිතිවාසිකම් වලට, අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ආහාර, සමාජ ආරක්ෂණය සහ ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සඳහා ඇති අයිතිය යනාදිය ඇතුළත් වෙයි.
ආර්ථික අයිතිවාසිකම් මඟින් ජනතාවට මූලික අවශ්‍යතා සපුරාගැනීමට, ස්වයංපෝෂිතභාවය ලබාගැනීමට සහ ආර්ථික ක්‍රියාකාරකම්වල අර්ථවත් ලෙස සහභාගි වීමට ඉඩ සලසයි. ආර්ථික අයිතිවාසිකම් සඳහා උදාහරණ ලෙස,
- රැකියාවක් තෝරා ගැනීමට හෝ පිළිගැනීමට ඇති අයිතිය
- සාධාරණ වැටුප් සඳහා අයිතිය
- සාධාරණ වැඩ කරන පැය ගණනකට ඇති අයිතිය
- ආරක්ෂිත සහ සෞඛ්‍යවත් සේවා පරිසරයක් සඳහා ඇති අයිතිය
- වෘත්තිය සමිතියකට බැඳීමට හෝ පිහිටුවීමට ඇති අයිතිය දැක්විය හැකිය.
සමාජීය අයිතිවාසිකම් මගින් පුද්ගලයින්ට අසමානතාවයෙන් සහ හිඟතාවයෙන් තොරව තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවන බව සහතික කරයි. සමාජීය අයිතිවාසිකම් වලට උදාහරණ ලෙස,
- සමාජ ආරක්ෂණයේ අයිතිය
- මූලික සෞඛ්‍ය සේවා සඳහා අයිතිය
- ප්‍රමාණවත් ආහාර සහ ජලය සඳහා අයිතිය
- ප්‍රමාණවත් නිවාස සඳහා ප්‍රවේශය
- මූලික අධ්‍යාපනයට ඇති අයිතිය හඳුනාගැනීමට හැකිය.
සංස්කෘතික අයිතිවාසිකම් යනු, පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට තම සංස්කෘතික, සමාජීය සහ කලාත්මක භාවිතයන්ට නිදහසේ සහභාගි වීමට ඇති අයිතිවාසිකම්ය. සංස්කෘතික අයිතිවාසිකම් වලට උදාහරණ වශයෙන්,
- තමන්ගේ සංස්කෘතිය භුක්ති විදීමේ අයිතිය
- තමන්ගේ ආගම ඇදහීමේ අයිතිය
- තමන්ගේ භාෂාව භාවිත කිරීමේ අයිතිය
- කලාත්මක නිර්මාණශීලීත්වයේ නිදහස යනාදිය දැක්විය හැකිය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මෙන් නොව ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය වේ. රජයන් විසින් මේවාට ගරු කිරීම, ආරක්ෂා කිරීම හා ඉටුකිරීම අපේක්ෂා කරනු ලබයි. ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම්වල විශේෂ ලක්ෂණය වන්නේ, මේවා එකකට එකක් බැඳී පැවතීමයි. එනම් එක් අයිතිවාසිකමක් ඉටුවීම, තවත් අයිතිවාසිකමක් හෝ කිහිපයක් ඉටුවීමට හේතු වීමයි. එක් අයිතිවාසිකමක් හෝ ආරක්ෂා නොවීම අනෙක් අයිතීන් සම්පූර්ණයෙන් භුක්ති විඳීමට ඔබට බාධා කරයි. උදාහරණ ලෙස,

අධ්‍යාපනය ලැබීමේ අයිතිය සහ රැකියා කිරීමේ අයිතිය
දරුවෙකුට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට ප්‍රවේශයක් නොමැති නම්, ඔවුන්ගේ අනාගත රැකියා අවස්ථා සීමිත වේ. අධ්‍යාපනය නොමැතිව, යහපත් රැකියාවක් ලබා ගැනීම සහ සාධාරණ ආදායමක් උපයා ගැනීම දුෂ්කර ය. එබැවින්, අධ්‍යාපනයට ඇති අයිතිය රැකියා අයිතියට සහ ආර්ථික ආරක්ෂාවට සෘජුවම බලපායි.
සෞඛ්‍ය අයිතිය සහ රැකියා කිරීමේ අයිතිය
අසනීප වී සෞඛ්‍ය සේවා ලබා ගත නොහැකි පුද්ගලයෙකුට වැඩ කිරීමට නොහැකි වියහැකිය. දුර්වල සෞඛ්‍යය ඵලදායිතාව සහ ආදායම අඩු කරයි. ඒ සමඟම, විරැකියාව හෝ අඩු වැටුප් නිසා කෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වියහැකිය. මේ අනුව, සෞඛ්‍ය අයිතිය සහ වැඩ කිරීමේ අයිතිය එකිනෙකා මත රඳා පවතී.

ආහාර හා පෝෂණ අයිතිය සහ සෞඛ්‍ය අයිතිය
ප්‍රමාණවත් පෝෂණයක් නොමැතිව, පුද්ගලයන් විශේෂයෙන් දරුවන් මන්දපෝෂණයෙන් පෙළීමට හැකිය. ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම ශාරීරික හා මානසික සෞඛ්‍යයට බලපායි. මෙය ආහාර සඳහා ඇති අයිතිය සහ සෞඛ්‍ය අයිතිය සමඟ සෘජුවම සම්බන්ධ වේ.
අසමානතාවය තිරසර සංවර්ධනයක් අත්කර ගැනීමට ඇති ප්‍රබල බාධකයක් ලෙස ක්‍රියාකරයි. ආදායම, ස්ත්‍රී පුරුෂභාවය, භූගෝලීය පිහිටීම සහ සමාජ තත්ත්වය යනාදියේ පවතින විෂමතාවයන් සමාජය තුළ සමාන සහභාගීත්වයට බාධා ඇති කරයි. නාගරික ජනගහනයට සාපේක්ෂව ග්‍රාමීය හා වතු ප්‍රජාවන්ට බොහෝ විට ගුණාත්මක අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා සීමිත ප්‍රවේශයක් තිබිය හැකිය. කාන්තාවන් සහ ආන්තික කණ්ඩායම් රැකියාවන්හිදී හා තීරණ ගැනීමේදී වෙනස්කම් වලට මුහුණ දිය හැකිය. මෙවැනි අසමානතාවයන් මානව හිමිකම් සහ සංවර්ධන ප්‍රතිඵල යන ද්විත්වයම තර්ජනයට ලක්කරයි. මානව හිමිකම් මූලධර්ම නොසලකා හරින සංවර්ධන ප්‍රතිපත්ති ආර්ථික වර්ධනයට දායක වන නමුත්, එහි ප්‍රතිඵල සාධාරණ ලෙස බෙදා හැරීමට අපොහොසත් වෙයි. එබැවින් සංවර්ධනය සඳහා අයිතිවාසිකම් පදනම් කරගත් ප්‍රවේශයක අවශ්‍යතාවය තදින් දැනේ.
සටහන පවනි අමා
