
ජනරජයේ නීතිපතිවරයා යනු රාජ්‍ය ප්‍රොටොකෝලයේ ඉහළ ස්ථානයක්ද හිමි සහ නිතියේ පාලනය පිළිබද වැදගත් භූමිකාවක් ඉටු කරන තනතුරකි. එවන් තනතුරක් පිළිබදව විවේචනයන් කරුණු සහිතව ඉදිරිපත් කිරීමේ වරදක් නොමැත. නමුත් වත්මන් නීතිපතිවරයා පිළිබද සංවාදය පිළිගත් සීමාවෙන් ඔබ්බට ගොස් ඔහුට පෞද්ගලිකව රනිල්ගේ නැතිනම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයෙකු බවට විවේචනයක් ඔහුගේ පත්වීම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබා ගැනීම පදනම් කරගෙන සිදු කරන බව පෙනේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් වන බැවින්, නීතිපති පමනක් නොව අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ද, අභියාචනාධිකරණ විනිසුරන්ද, ඇතුළු උසස් නිලතල සියල්ලම පත් වූයේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්තටය. මෙම පත් කිරීම් ක්‍රමවේදය බරපතල විවේචනයන්ට ලක් වුන අතර ඒ අනුව එකී විවේචනයන් හා ඒවා සදහා මහජන බලය ලැබීමේ ප්රථිඵලයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17, 19 හා 21 යන සංශෝධනයන් මගින් සංශෝධනය කර ඉහත විධායක බලයට සංවරණයක් හා තුලනයක් යෙදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා 20 වන සංශෝධනය මගින් නැවත යම් ආකාරයකින් ඉහත පත් කිරීම් සදහා වූ තනි විධායක බලය සියතට ගත්තද, අරගලයෙන් පසු පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය නැවතත් 21 වන සංශෝධනය මගින් ඉහත කී සංවරණ තුලනයන් යළි ඇති කරන ලදී.
එහිදී ඇති කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිවිල් නියෝජිතයන් තිදෙනෙක්ද ඇතුලත්ව පත් කල අතර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා උසස් නිලතල සදහා නම් කර එවන ලද නම් ප්‍රතික්ෂේප කිරීම්ද සිදු විය.
එවැනි ප්‍රතික්ෂේප කිරීම් අතර වඩාත් ආන්දෝලනයට ලක් වූයේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම පොලිස්පතිධූරය සදහා කරන ලද නාම යෝජනාවයි. මෙම නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම සදහා සභාවේ සාමාජිකත්වය දරණ සිවිල් නියෝජිතයන් සුවිශේෂී ඉදිරිගාමී කාර්යභාරයක් කරන ලදී. කතානායකගේ තීරක ඡන්දය භාවිතා කිරීම වැළැක්වීම සදහා ඇබ්ස්ටේන් නැතිනම් පැමිණ ඡන්දය දීමෙන් වැළකීමේ ක්‍රමවේදය පවා ඔවුන් භාවිතා කරන ලදී. එයින්ද නොනැවතුනු ඔවුන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමෙන් පසුව එකී පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නීත්‍යානුකූල කැමැත්ත ලබා නොගත් බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසික්ම් නඩුද පවරන ලදී. ඒ මත දේශබන්දු තෙන්නකෝන් මහතාගේ තනතුර අත් හිටුවීමට පවා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.
එවන් ඉදිරිගාමී සිවිල් නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ට නීතිපති ධූරය පුරප්පාඩු වීමට පෙරම රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් ලෙස ඉදිරිපත් කලේ එවක නීතිපති සංජය රාජරත්නම් මහතාගේ ධූර කාලය දීර්ඝ කරන ලෙසයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු තේරීම වූයේ සංජය රාජරත්නම් මහතා බව පැහැදිලි වන අතර එම යෝජනාව බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉතාම නිවැරදිව තීරණයකරන ලදී. ඒ අනුව සංජය රාජරත්නම් මහතා නීතිපති ධූරයෙන් විශ්‍රාම යනලදී. පසුව ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සදහා ජේෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටියේ අයේෂා ජිනසේන මහත්මිය සහ පාරින්ද රණසිංහ මහතා වන අතර අයේෂා ජිනසේන මහත්මිය විශ්‍රාම යෑමට ආසන්නව සිටි බැවින් පාරින්ද රණසිංහ මහතාගේ නම රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කල බව කියවේ.
කෙසේ වුවද පාරින්ද රණසිංහ මහතාගේ නම යෝජනා කල පසු ව්‍යවස්ථාදායක සභාව ඒ ගැන සලකා බැලූ අතර, පාරින්ද රණ්සිංහ මහතා නීතිපති ලෙස පත් කිරීමට එම සභාවේ ඒකමතික අනුමැතිය ලැබුණි. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත් කිරීමට ඉදිරිගාමී ලෙස ඉහත කී පරිදි විරෝධය දැක්වූ සිවිල් නියෝජිතයන්ගෙන් පාරින්ද රණසිංහ මහතා නුසුදුසු සහ හෝ දූෂිත පුද්ගලයකු නම් අනුමැතිය හිමි වේ යැයි කිසිලෙසක සිතිය නොහැක.
නීතිපතිවරයාට පෞද්ගලික විවේචන ඉදිරිපත් කරන බොහෝ අය ඔහු රනිල්ගේ බඩ්ඩක් ලෙස හදුන්වා දෙමින් ඔහු පත් කලේ රනිල් වික්‍රමසිංහ බවට පෙන්වම්න් සම්පූර්ණ මහජන වෛරයක් දැන දැන ඇති කරන්නේ ව්‍යව්‍ස්ථාදායක සභාවේ අනුමැතිය ඔහුට හිමි වූ බව හිතම්තා අමතක කරමින් ය.
දේශබන්දු පත්කිරීමට එරෙහිව ඉදිරිගාමීව කටයුතු කල ව්‍යවස්ථාදායක් සභාවෙ සිවිල් නියෝජිතයන්ගෙන් පාරින්ද රණසිංහ මහතාට ලැබුණු අනුමැතිය යටපත් කරමින් මේ සිදු කරන විවේචනය සිදු කල යුතුවැදගත් දේශපාලන හා ආයතනික ප්‍රතිසංස්කරණ ද ආපස්සට හැරවීමකි.
