අධ්‍යාපන ප්‍රතිසංස්කරණ- වරද කුමක්ද? එය සිදු වූයේ කෙසේද? – පත්මසිරි මලවිපතිරණ

අද දවසේ ක්‍රියාත්මක වන විෂය මාලාව වෙනුවට නව විෂය මාලාවක් හදුන්වා දීමට සහ නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්නයක් දරන මේ මොහොතේ දී සමාජය පුරාම ඒ පිලිබදව කථිකාවක් ඇති වී තිබීම අගය කරමි. නව යෝජනා ඉදිරිපත් කිරීමේ දී පලමුව විමසා බැලිය යුතු වනුයේ පවත්නා ක්‍රමයේ වැරදි , අඩුපාඩු සහ ගැටලු මොනවාද යන්නයි,

21 වන සියවසට ගැලපෙන ලෙස අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම සදහා අප විසින් මෙම සියවස ඇරඹීමට පෙර සිටම උත්සාහ කර තිබෙනවා.එසේම ඒවා ක්‍රියාත්මක කිරීමද සිදු කර තිබෙනවා. කෙටියෙන් කියනවා නම් සිසු කේන්ද්‍රීය වූ ක්‍රියාකාරකම් පාදක කර ගත් විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට අප උත්සාහ කර තිබෙනවා, පෙළ පොත් සකසා ඇත්තේද මෙම අදහස් මත පදනම්වයි,

එසේ වුවත් මා විශ්වාස කරන ආකාරයට තවත් බොහෝ කාරනා අප විසින් නොතකා හැර තිබෙනවා, ඒවා අතුරින් එක් ප්‍රධාන කරුණක් වන්නේ සාමාන්‍ය පොදු අධ්‍යාපනය සදහා වෙන් කර ඇති කාලය වැඩි වීමයි, 6 වන ශ්‍රේනිය සිට 11 වන ශ්‍රේනිය දක්වා වසර හයක කාලයක් මේ සදහා වෙන් කර තිබෙනවා, අනික නම් වසර 11 කට පසුව O/L විභාගය ඉහළින්ම සමත් වුවද කිසිදු රැකියාවක් සදහා එය සුදුසු කමක් නොවීමයි, අසමත් වන අය ගැන කුමන කතාද,
70 දශකයේ අග භාගයේ සිට අද දක්වාම වසර හයක කාලයක් මේ සදහා වෙන් කර තිබෙන්නේ කුමන සහේතුක පදනමක් මතද යන්න මට වැටහෙන්නේ නැත.
අප රටේ ප්‍රභල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුකලේ 1972දීය

මෙහි දී ප්‍රාථමික අධ්‍යාපනය සදහා පාසලට සිසුන් ඇතුලත් කර ගන්නා වයස අවුරුදු හතක්(7) දකවා දීර්ඝ කරනලදි.

සාමාන්‍යය පොදු අධ්‍යාපනය 6-ශ්‍රේනියේ සිට 9 ශ්‍රේණිය දක්වාත් 9 ශ්‍රේනියෙදී පවත්වන NCGE විභාගයටත් ඉන් පසුව 10-11 දක්වා HNCE වෙතත් යොමු කර තිබුනද, ඉන් අනතුරුව සිසුවාගේ අනාගතය ගැන පැහැදිලි යොමු කිරීමක් නොතිබුනි.රැකියා අවස්ථා කෙසේ වෙතත් උසස් අධ්‍යාපනය පිළිබදවද පැහැදිලිතාවක් නොවීය.
NCGE විභාගය පැවැත් වූයේ 1975 සහ 1976 වර්ෂ දෙකේදී පමනි. 1977 ආන්ඩු පෙරලියෙන් පසුව NCG විභාගය එම වසරේ නොපවත්වා එම සිසුන් 10 ශ්‍රේණියට යොමුකර O/L විභාගයට ඉදිරිපත් කරන ලදි.

HNCE විභාගයක් කිසිදා නොපැවත්වින. ඒවෙනුවට එම සිසුන්1979 හෙ 1980 වසර වලදී A/L අතුරු නිර්දේශයට යොමුකරවන ලදි.මේ නිසා වසර කිහිපයක් ගතවන තුරු උසස් පෙළ විභාගය නව, අතුරු, පැරණි, ලෙස නිර්දේශ තුනක් යටතේ එකම වසරේදී විභාග තුනක් පැවැත් වීමටද සිදුවිය.පළමු ශ්‍රේණියට ඇතුල් කරගන්නා වයසද නැවත අවුරුදු 5 දක්වා අඩුකරනලදි.
72 ප්‍රතිසංස්කරණයට පෙර පැවති ක්‍රමයේදී සාමාන්‍ය පොදු අධ්‍යාපනය සදහා වැය කර තිබුනේ වසර තුනක් පමණි, ඉන් පසුව විද්‍යා, වාණිජ සහ කලා ලෙස විෂය ධාරා තුනක් යටතේ වසර දෙක අවසානයේ දී O/L විභාගයට ඉදිරිපත් වීම සිදු විය. විද්‍යා අංශයෙන් සමත් වූ අය හට රැකියාවක් සදහා හෝ උසස් අධ්‍යාපනය වෙත යොමු වීම ගැන ගැටලුවක් නොතිබුනද වාණිජ සහ කලා අංශවලට රැකියා අවස්ථා පිලිබද ගැටලුකාරී තත්වයක් පැවතින.
72 ප්‍රතිසංස්කරණ අසාර්ථක වීම නිසා 70 දශකය අවසාන කාලයේ දී A/L පංතිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ ගැටලුව විසදා ගැනීම සදහා O/L පාඨමාලාව 11 වන ශ්‍රේනිය දක්වා දීර්ඝ කරන ලදී. අද දක්වාම සාමාන්‍ය පොදු අධ්‍යාපනය සදහා වසර හයක කාලයක් වැය කර තිබීම ආරම්භ වූයේ මෙතැන් සිට බවයි මාගේ අදහස වන්නේ.
82 අධ්‍යාපන ධවල පත්‍රිකාවට ප්‍රබල ලෙස එරෙහි වීමෙන් පසුව බොහෝ කාලයක් යන තෙක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු ආණ්ඩුවක් ඉදිරිපත් නොවුනි.

එහෙත් විෂය මාලා යාවත් කාලීන කිරීම සහ ඉගැන්වීම් ක්‍රමවේදය වෙනස් කිරීම දිගටම සිදු කරන ලදී.
අවසානයේ දී 2017 දී පමණ සිට STEM/STEAM මත පදනම්ව සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සදහා යෝජනා මාලාවක් සකස් කර තිබුනි. මෙහි දී O/L සහ A/L විෂය මාලා, එහි කාල සීමා සහ ඇගයීම් සිදු කරන ආකාරය පිලිබදවද අවධානය යොමු කර තිබින. මා දන්නා තරමින් 2019 වන විට මේ පිලිබද වාර්ථාව ජාතික අධ්‍යාපන කොමිසම වෙත භාර දී තිබින.

2019 දී බලයට පැමිණි රජය ඉහත වාර්ථාව ගැන නොසලකා මොඩියුල ක්‍රමය හදුන්වා දී ඉතාම හදිසියකින් යුතුව එය ක්‍රියාත්මක කරවීමට කටයුතු කරන ලදී. එහෙත් සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගැන පැහැදිලි භාවයක් එහිද දක්නට නොතිබින.
අද දවසේ මතුව ඇති අර්බුදය විසදීම සදහා මොඩියුලවල තිබෙන වැරදි,අඩුපාඩු සකස් කිරීම හෝ නිලධාරීන්ට දඩුවම් දීම පමණක් ප්‍රමාණවත් නොවන අතර සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සදහා කටයුතු කල යුතු වන්නේය යන්න මාගේ අදහසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාතිමක කිරීම සදහා ගුරු භවතුන් පුහුණු කිරීමේ වැඩ සටහනකට මාගේ දායකත්වය ලබා දීම.

Social Sharing
අවකාශය පුවත්