
කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.
කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් පිළිබඳව ලොව පුරා විශේෂ අවධානයක් අද වන විට යොමුව තිබේ. විශේෂයෙන් වර්තමානය වන විට අන් කවරදාටත් වඩා කාන්තා හිංසනයන්ට අදාළ සිදුවීම් අඛණ්ඩව වාර්තා වීමක් අපට දැකිය හැකි ය. විශේෂයෙන් සේවා ස්ථාන තුළ, සමාජය තුළ, නිවස තුළ ද වශයෙන් මෙම කාන්තා හිංසනය පැතිර යනු දැකිය හැකි ය. විශේෂයෙන් යුදමය පරිසරයක් තුළ වර්ගවාදී හා මූලධර්මවාදී ආගමික කණ්ඩායම් විසින් ප්‍රතිවිරුද්ධ වාර්ගික හා ආගමික අනන්‍යතාවයක් සහිත කාන්තාවන් සමූහ වශයෙන් හිංසනයට ලක් කිරීම පසුගිය කාලය පුරා සුලභ සිදුවීමක් වී තිබේ. මෙම වසරේ ජගත් කාන්තා දිනය සමරන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ අභියෝග රැසක් මැද වීම අතිශයින් වැදගත් ය. විශේෂයෙන් ආසියාතික සමාජ ක්‍රමය තුළ ආගමික මතවාද, කුල භේදය, කන්‍යාභාවය හා විවිධ මිත්‍යා විශ්වාසයන් මත පදනම්ව දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් හා හිංසනයක් කාන්තාවන් වෙත එල්ල වී තිබීම පැහැදිලිව දැකිය හැකිය. “මෙවර කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ තේමාව වී ඇත්තේ සියලුම කාන්තාවන්ට සහ දැරියන්ට සිදුවන ඩිජිටල් ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට එක්වෙමු” යන්නයි.
කාන්තා හිංසනය හා කාන්තාවකගේ අයිතිවාසිකම් පිළිබඳව කථිකාවත ඉතිහාසයේ බොහෝ ඈතට දිව යන්නකි. කාන්තා අයිතීන් පිළිබඳ ප්‍රථම ප්‍රසිද්ධ හමුව පවත්වා ඇත්තේ 1848 ජුලි 19,20 දිනවල ඇමෙරිකාවේ නිව්යෝක් බද නගරයක යි. එය එදා පිටත සමාජයට පෙන්වූයේ කාන්තාවන් පිරිසක් එකතු වී පැවැත්වූ තේ පැන් සංග්‍රහයක් ලෙස බව වාර්තා වේ. “සෙනෙකා ෆෝල්ඩ්” සමුළුව නමින් මෙය හැඳින්වේ. 1975 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක කාන්තා දිනය සමරනු ලැබීම විශේෂ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි ය. එම දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යෙදූ පළමු තේමා පාඨය වූයේ “අතීතය සමරමින් අනාගතය සැලසුම් කරමු” (celebrating the Past Planning for the Future) යන්න ය. කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේම වෙනස් කොට සලකනු ලැබීම් ඉවත් කිරීම පිළිබඳ ප්‍රඥප්තිය “සිඩෝ ප්‍රඥප්තිය” (committee on the Elimiítion of Discerimination against women) 1979 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කිරීම ඓතිහාසික සංධිස්ථානයකි. 1980 ජුලි මස 17 වන දින ශ්‍රී ලංකාව මෙම සම්මුතියට නිල වශයෙන් අත්සන් තබා තිබේ. වගන්ති 48 කින් සමන්විත මෙම පනතේ සියලු කරුණු ලංකා ආණ්ඩුව විසින් දැනටමත් පිළිගෙන තිබේ.
රැකීරක්ෂා, තීරණ ගැනීම, ඉඩම් අයිතිය, ලිංගික හා ප්‍රජනන අධ්‍යාපන, පවුල තුළ සිදුවන හිංසනය, දේශපාලන තත්ත්වය ඇතුළුව කාන්තාවන්ට එරෙහි වෙනස් හිංසන ක්‍රම වැනි බොහෝ ක්ෂේත්‍රයන්හි ඇති අවාසිසහගත හා අසමාන තත්ත්වයන් “සිඩෝ” සම්මුතියෙන් දුරු කිරීම ප්‍රධාන අරමුණ වේ. 1993 මාර්තු 03 වන දින ශ්‍රී ලංකාව කාන්තා ප්‍රඥප්තිය සම්මත කර ගත්තේ ද මෙම සිඩෝ සම්මුතියේ මූලධර්ම පදනම් කරගෙන ය. මෙම ප්‍රඥප්තියට අනුව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සම අයිතිවාසිකම් හිමිවන බව තහවුරු කර තිබේ. ඒ අනුව කාන්තාවන්ට දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්, පවුල් ඒකකය තුළ අයිතිවාසිකම්, විවාහයට එළඹීමේ අයිතිය මෙන්ම විවාහය අවලංගු කිරීමේ අයිතිය ද හිමිව තිබේ. එමෙන්ම ආණ්ඩුව විසින් කාන්තාවන් හෙලා දැකීමට ලක් නොවීමට හා ආර්ථික සහ සමාජීය වෙනස්කම්වලට ලක් නොකිරීමට කටයුතු කළ යුතු බව ද සඳහන් වේ. මෙම නෛතික මූලධර්මයන් ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තාවන්ට වෙන් වූ වෙනම අමාත්‍යාංශයක්, ජාතික කාන්තා කමිටුවක් පිහිටුවීමට ද රජය කටයුතු කර තිබේ. නමුත් අප රටේ කාන්තා අයිතීන් උල්ලංඝනය වීම ද තවමත් විශාල වශයෙන් සිදු වෙමින් පවතින බව පෙනේ. පවතින නීති බොහෝ විට පොතට පමණක් සීමාවී ඇති බවක් සමාජයේ මතය වී තිබේ. විශේෂයෙන්ම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු විවිධාකාර නීති අනපනත්වල කාන්තා හිංසනයට එරෙහි නීති ලේඛනගතව තිබුණ ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන්ට එරෙහි පිළියම් යෙදෙන බවක් බෙහෝ අවස්ථාවල පෙනෙන්නට නැත.
විශේෂයෙන් රාජකාරි ස්ථානයේ සිදුවන කායික මානසික වධහිංසා බොහෝ විට හෙළි නොකර කාන්තාවන් ඒ සියල්ල රහසක් ලෙස තබා ගැනීමට හුරු වී ඇත්තේ රැකියාවේ සුරක්ෂිතභාවයට හානියක් වේයැයි ඇති බිය නිසා ය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කෙතරම් නීති තිබුණ ද එම නීතිවල ආරක්ෂාව ලබා ගැනීමට කාන්තාව ශක්තිමත් නොවීම හා තවත් විටෙක එම නීති පිළිබඳව ඇති නොදැනුවත්භාවයයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා එම පුද්ගලයන් පිළිබඳව ඇති අවිශ්වාසය ද මෙයට හේතුවක් වී තිබේ. විශේෂයෙන් අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 190 සම්මුතියට අනුව වැඩ ලෝකයේ සෑම පුද්ගයකුටම ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර වීමේ අයිතිය දැනටමත් ලෝකය විසින් පිළිගෙන ඇති බවට මෙහිදී සිහිපත් කළ යුතුය.
කාන්තා හිංසනය පිළිබඳ අප රටෙහි වර්තමාන පසුබිම ද මෙහිදී විමසා බැලිය යුතුය. ජාත්‍යන්තර අනපනත් ප්‍රඥප්ති මෙන්ම දේශීය නීති විශාල ප්‍රමාණයකින් ලාංකීය කාන්තාවට ආරක්ෂාව සැලසී තිබුණ ද කාන්තා හිංසනයන් පිළිබඳ විවිධ පුවත් දිනෙන් දිනම වාර්තා වීම ද විශේෂත්වයකි.
විශේෂයෙන් නිවස තුළ පොදු ස්ථාන හා පොදු ප්‍රවාහන සේවා තුළ සේවා ස්ථානවලදී කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන් වාර්තා වීම තවදුරටත් සිදුවෙමින් පවතී.
ලංකාව ගත් කල කාන්තාවන්ට එරෙහි හිංසනයන් සම්බන්ධයෙන් බලන කල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය යුතුය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවිය යුත්තේ කරුණු කිහිපයක් නිසා ය. එනම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ නිවැරදි වාර්තාකරණයක් (නිවැරදි සංඛ්‍යා ලේඛන) සිදු නොවීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේදී නීතියේ පිළිසරණ පැතීම අවම මට්ටමක පැවතීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තුළ එම පවුලේ දරුවන් බරපතළ මානසික පසුබෑම්වලට ලක්වීම යන කාරණා ය. සාමාන්‍ය කාන්තා හිංසනයකදී හිංසනයට ලක්වන්නේ අදාළ කාන්තාව පමණක් වුව ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තුළ එම කාන්තාවට අමතරව බාලවයස්කාර දරු පරපුර බරපතළ හිංසනයකට ලක්වීම විශේෂත්වයකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අනෙක් ආකාරවල ප්‍රචණ්ඩත්වයන්ට වඩා සැඟවුණු ස්වභාවයක් දැරීම විශේෂත්වයකි. මෙය නිවෙස් තුළ පෞද්ගලිකත්වය යටතේ එහි සාමාජිකයන් පමණක් සාක්ෂිකරුවන් වෙමින් සිදුවන්නකි. මෙය ඇතැම් විට වසර ගණනක් පුරා ගොඩනැඟුණු හැඟීම්බර හා ශාරීරික සම්බන්ධතා තුළ සිදුවන්නකි. එමෙන්ම කාන්තාව පුරුෂයා මත යැපීම ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ බවට පත්කර තිබේ. එම තත්ත්වය තුළ නීතියේ පිහිට පතන කාන්තාවට තම ඥාතීන් මත හෝ දෙමාපියන් මත යැපීමට සිදුවීම නීතියෙන් පිළිසරණ සෙවිය නොහැකි සමාජ අර්බුදයකි. අනෙක් අතට
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා පවුලේ දරුවන් පිළිබඳ අවධානය ශීඝ්‍රයෙන් ගිලිහීම තුළ ඔවුන් විවිධ අපචාරයන්ට ගොදුරු වීම විශාල ලෙස වර්ධනය වී තිබේ. ස්ත්‍රී පුරුෂ භේදය මත පදනම් වන්නා වූ පවුලේ කාන්තාවට එරෙහි වන සියලු ශාරීරික, මානසික ලිංගික අඩන්තේට්ටම් ආදිය සාමාන්‍ය පහරදීම්, දරුණු ලෙස පහරදීම්, පැහැරගෙන යෑම්, තර්ජනය කිරීම්, බියවැද්දීම්, බලහත්කාරකම, පසුපස යෑම, අවමානාත්මක වචන, බලෙන් හා නීති විරෝධී ලෙස ඇතුල් වීම, ගිනි තැබීම, දේපළ විනාශ කිරීම දක්වා පුළුල් පරාසයක විහිදී පවතී. අතීතය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කෙලින්ම බලපාන නීතියක් නොතිබුණ තත්ත්වයක් තුළ සාමාන්‍ය පොදු නීතිය යටතේ ප්‍රතිකර්ම සොයා යෑමට සිදුවිය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි සුවිශේෂී තත්ත්වයන් සඳහා පොදු නීතිය යටතේ ප්‍රතිකර්ම සෙවීම, වැයවන කාලයට හා අනෙකුත් කරුණු අනුව බැලීමේදී එතරම් සාර්ථකත්වයක් නොපෙන්වන ලදී. මෙම අඩුව සපුරාලමින් නව නීතියක් ලෙස 2005 අංක 34 ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත අප නීති පද්ධතියට එක්විය. මෙමගින් පීඩාවට පත්වන පාර්ශ්වයට ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම 1994 අංක 22 දරන වධහිංසාවට එරෙහි වූ පනත මගින් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි සම්මුතිය දේශීය නීති පද්ධතියට එක්කර තිබේ. මෙම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කොතරම් ජාතික නීති හා ජාත්‍යන්තර නීති පැවතුන ද ඒ තුළින් පමණක් ප්‍රචණ්ඩත්වය දුරු කිරීම අසීරු බව පෙන්වා දිය හැකි ය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ පුද්ගලයන්ගේ සාමාජීය ආකල්ප වෙනස් කිරීම සඳහා ක්‍රියාකාරී වැඩසටහනක් හඳුන්වාදීමය. විධිමත් මනෝ උපදේශන සේවයක් රට පුරා ව්‍යාප්ත කිරීම ඒ සඳහා කදිම විසඳුමක් බව පැවසිය යුතු ය.
