
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය ඉන්දියාවේ කේරළයේ පැවති 55 වැනි කේරළ රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී රාජ්‍ය සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත්වී තිබේ.
එහි දී ‘පැරඩයිස්’ චිත්‍රපටය සදහා හොඳම රචනය, හොඳම චිත්‍රපටයට හිමි විශේෂ ජූරි සම්මානය හා ‘පැරඩයිස්’ හි ප්‍රධාන චරිතය රඟපෑ දර්ශනා රාජේන්ද්‍රන් හොඳම නිළියට හිමි විශේෂ ජූරි සම්මානය ද හිමිකරගෙන ඇත.
මීට පෙර 2023 වසරේ දී දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ කිම් ජීසොක් සම්මානය ‘පැරඩයිස්’ චිත්‍රපටය විසින් දිනා ගෙන තිබුනි.
1996 වසරේදී මුල් වරට ඇරඹුණු බූසාන් සිනමා උලෙළේ එවර විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද අනන්ත රාත්‍රිය චිත්‍රපටය දිනා ගත් අතර, එය ඔහු විසින් නිර්මාණය කරන ලද දෙවන චිත්‍රපටය සහ ඔහු අන්තර් ජාතික අවධානය දිනා ගත් පළමු අවස්ථාව ද එය විය.
ඉන්දීය තරුණ සංචාරක යුවළක් තම 5 වන විවාහ සංවත්සරය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සදහා පැමිණි විටදී මුහුණ දීමට සිදු වන අහඹු සිදුවීමක් මත ‘පැරඩයිස්’ චිත්‍රපටය ගොඩනැගී තිබේ. එම චිත්‍රපටිය මගින් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික ගැටළු මෙන්ම, ශ්‍රී පොලීසියේ අපරාධ විමර්ශන ක්‍රමයන්, පොලිස් සේවාවේ පවතින අභ්‍යන්තර ගැටළු හා පොලිස් නිළධාරීන් මුහුණ දෙන පීඩනයන් පිළිබදවත්, තරුණ සංචාරක යුවල මුහුණ දෙන පුද්ගලික සහ අභ්‍යන්තර අභියෝගයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරයි.
රොෂාන් මැතිව්, දර්ශන රාජේන්ද්‍රන්, ශ්‍යාම් ප්‍රනාන්දු සහ මහේන්ද්‍ර පෙරේරා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස රජීව් රවී, සංස්කරණ ශිල්පියා ලෙස ශ්‍රීකර් ප්‍රසාද්, ශබ්ද නිර්මාණකරු ලෙස තපස් නායක් සහ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කේ. කටයුතු කර තිබෙනවා. ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන ‘පැරඩයිස්’ චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ, කේරළ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් ෆිල්ම්ස් සමාගම යි.
දිවයින පුවත්පතේ දිනේෂ් විතාන විසින් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සමග සිදු කර ඇති කෙටි සම්මුඛ සාකච්ඡාව පහත,
අපි අපිව අවතක්සේරු කරගන්න හොඳ නෑ – ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ
කේරළයෙන් පැරඩයිස්ට සම්මාන ත්‍රිත්වයක්
55 වැනි කේරළ රාජ්‍ය චිත්‍රපට සම්මාන උළෙල පසුගිය 03 වැනිදා ඉන්දියාවේ තිරුවන්දපුරම්හිදී පැවැත්විණි. එහිදී ඉන්දියානු චිත්‍රපට රැසක් විවිධ අංශ ඔස්සේ සම්මානයට පාත්‍රවිණි. මේ අතර ලාංකීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට සම්මාන රැසක් හිමිවිය. ඒ අනුව හොඳම කතාව (ප්‍රසන්න විතානගේ), පැරඩයිස් චිත්‍රපටය සඳහා විශේෂ ජූරි සම්මානය සහ හොඳම නිළියට හිමි විශේෂ ජූරි සම්මානය (දර්ශනා රාජේන්ද්‍ර) යන සම්මාන ත්‍රිත්වයයි. මෙම විශේෂ අවස්ථාව සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ සමග දිනපතා දිවයින ‘සිනමාකලා’ අතිරේකය පුංචි සාකච්ඡාවක නිරත විණි.
ප්‍රසන්න විතානගේ ගේ ‘පැරඩයිස්’ කේරළ රාජ්‍ය සිනමා උළෙලේ යළිත් වරක් සම්මානයට පාත්‍රවෙනවා නේද?
පසුගිය 03 වැනිදා සවස දකුණු ඉන්දීය නළු ප්‍රකාශ් රාජ් විසින් ජූරිය ප්‍රකාශයට පත්කරනු ලැබුවා 2024 තිරගත වුණු චිත්‍රපට සඳහා කේරළ රජයෙන් පිරිනැමෙන සම්මාන. ඉතිං එය හඳුන්වනු ලබන්නේ කේරළ රාජ්‍ය චිත්‍රපට සම්මාන උළෙල ලෙසයි. මෙය ආරම්භ කරන ලද්දේ 1969 වසරේදී. කිසියම් දවසක කේරළයේ රාජ්‍ය සම්මානයක් විදේශිකයෙකුට පිරිනමලා තියෙනවාද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්දියානු පුරවැසිභාවය නොමැති පුද්ගලයෙකුට. මම මේ වෙලාවේදී සියයට සියයක්ම ඒ ගැන සොයාබැලුවේ නැහැ. පසුගිය (3දා) පැරඩයිස් චිත්‍රපටයට සම්මාන ත්‍රිත්වයක් හිමිවුණා. එකක් චිත්‍රපටය සඳහා විශේෂ ජූරි සම්මානයක්. අනෙක හොඳම කතාවට පිරිනැමෙන සම්මානය මට සහ විශේෂ ජූරි සම්මානයක් චිත්‍රපටයේ ප්‍රධාන නිළි දර්ශනා රාජේන්ද්‍රන්ට. කේරළය ගත්තොත් අපේ විශේෂයෙන් ලංකාවේ මම හඳුනාගත්තේ මගේ පරම්පරාවේ අදූර් ගෝපාල ක්‍රිෂ්ණ සිනමාකරුවාගේ සිනමා භාවිතාව තුළින්. ඔහුගේ පළමු චිත්‍රපටය පවා ලංකාවේ චිත්‍රපටවලට තාත්වික යම් යථාර්ථවාදී චිත්‍රපටවලට බලපෑමක් කළා. ඊට පසුව ඔහුගේ අනෙක් චිත්‍රපටයත් අපට යම් බලපෑමක් කළා. නමුත් පසුගිය කාලයේ ලංකාවේ කේරළ, මලයාලම් චිත්‍රපට අතිශය ජනප්‍රියවෙන්න පටන්ගත්තා.
මම කලක් ඇසුරු කළ කලක් අතිශය අගය කළ තැනකින් ලැබුණු සම්මානයක් හැටියට මම මේ ගැන නිහතමානීව සතුටුවෙනවා. මොකද අපි ඒ සිනමාකරුවන් අගය කරලා තියෙනවානේ. විශේෂයෙන් මෙම උළෙලේ හොඳම නළුවා වුණේ මම්මූටි. ඉතිං මම්මූටිගේ රංගනයන් මම ඔහුගේ පළමු චිත්‍රපටයේ සිට මේ සම්මානය ගත් චිත්‍රපටය දක්වා චිත්‍රපට නරඹා තියෙනවා. ඉතිං අපි අගය කරන අපට කිසියම් උත්තේජනයක් සපයන සිනමාවක් ලැබුණු අගය කිරීමක් නිසා විශාල සතුටක් තියෙනවා. මගේ නිෂ්පාදකයින්ගේ පැත්තෙනුත් අවදානමක් අරගෙන ඉන්දියානු නොවන කෙනෙකුට අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලබාදුන්නා. මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ කේරළයේ ලියාපදිංචි නිව්ටන් සමාගමයි. ඉතිං ඔවුන්ටත් මේ හරහා කිසියම් පිළිගැනීමක් ලැබීම ගැන සතුටුයි. ඒ වගේම දර්ශනා රාජේන්ද්‍රන් කියන්නේ විශිෂ්ට නිළියක්. මම භාග්‍යයක් කොට සලකනවා ඇයත් සමග වැඩකරන්න ලැබීම ගැන. ඇයට මේ මොහොතේ සම්මානයක් හිමිවීම ඉතාමත්ම තෘප්තියක් ගෙන දෙන හැන්දෑවක් බවට පත්වුණා.
ලාංකීය ප්‍රේක්ෂකාගාරය මලයාලම්, කන්නඩ සිනමාව ආකර්ෂණය කරගන්නකොට සිනමාකරුවෙක් විදිහට ඔබ ඔවුන්ගේ සිනමාවට ගොස් සම්මානනීයවීම විශාල අභියෝගයක් නේද?
මේක පුරෝගාමී කාර්යයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අමතක කරන්න නරකයි අපිට පෙර හිටිය අධ්‍යක්ෂවරුන්ගේ සිනමා භාවිතය බෙංගාලයේ, කේරළයේ තිබෙන සිනමාව මට්ටමේ ඉහළ මට්ටමක තිබුණා. විශේෂයෙන්ම ඔය ප්‍රාන්ත දෙකෙන්නේ කලාත්මක සිනමාව බිහිවුණේ. අනික අපිට ආභාෂය ලැබුවෙත් ලාංකීය චිත්‍රපටවල එහෙන්. නමුත් දැන් මලයාලම් චිත්‍රපට සම්බන්ධයෙන් උන්මාදයක් තියෙනවා. ඒකට හේතුවක් වෙන්න පුළුවන් ඔවුන්ගේ කතා අතිශය ජනප්‍රියවීම. මලයාලම් සිනමාවේ පසුබෑමක් තිබිලා ඊට පස්සේ සාහිත්‍යය ක්‍ෂේත්‍රයේ විශේෂයෙන් කෙටිකතා, නවකතාකරුවන් වගේම හොඳ සාහිත්‍යකරුවන් පිරිසක් සිනමාවට එකතු වුණා. ඒ තුළ තමයි මේ නැගීම තියෙන්නේ. සමහරවෙලාවට සිනමා සම්මාන උළෙලක මේක ප්‍රථම වතාවට විදේශිකයෙකුට දුන්න රාජ්‍ය සම්මානය විය හැකියි. ඉතිං මම හිතන්නේ සිනමාවේ භාෂාවක් වන්නේ රූපයයි. මම මලයාලම් භාෂාව දන්න කෙනෙක් නෙමෙයි. නමුත් මම මලයාලම් චිත්‍රපටයක් කළා. මට පෙර බොහෝ අධ්‍යක්ෂවරුන් විශේෂයෙන් ප්‍රංශ සිනමාකරුවන් ඉංග්‍රීසි භාෂාව නොදැන, චීන සිනමාකරුවන් ඉංග්‍රීසි නොදැන චිත්‍රපට හදලා තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ. ඔවුන් කතා කරන්නේ සිනමාබසෙන්. මම හිතනවා අපි අපිව අවතක්සේරු කරගන්නේ නැතිව අපිත් මෙතැන ඉන්නවා, සමව සිටගන්නවා කියන අදහසේ සිටිය යුතුයි. එහෙම කෙනෙකුට පොඩි ආත්මාභිමානයක් දල්වනවා නම් ඒක හොඳ දෙයක් කියලා මම හිතනවා.
