වීදියේ විරෝධයේ නඩුව අවසන්

දස වසරකට වැඩි කාලයක් තිස්සේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ දිග හැරුණු ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, මාධ්‍යෙව්දී සම්පත් සමරකෝන්, හම්බන්තොට නගර සභාවේ හිටපු විපක්ෂ නායක අයුබ් ඛාන්, සමාජ ක්‍රියාකාරී පිලිප් දිසානායක හා ප්‍රසංග ප්‍රනාන්දු ඇතුළු වීදියේ විරෝධය කණ්ඩායමට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව පැවැති නඩුව අද දින දෙපාර්ශවය අතර සමතයකට පත්වීමෙන් පසුව නිමාවට පත් විය.

එවකට පැවති රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර වීරෝධී ක්‍රියාවන්ට එරෙහිව රට පුරා දියත් වූ වීදියේ විරෝධය නමින් වූ සංස්කෘතික විරෝධතාවය, හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් ඛාන් මහතාගේ ආරාධනය පරිදි 2014 දෙසැම්බර් 22 වන දින හම්බන්තොට බස් නැවතුම්පොල අසල දී පැවැත්වීමට සැලසුම් කර තිබුනි. ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි හම්බන්තොට නගරාධිපතිව සිටි එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට මැර ප්‍රහාරයක් එල්ල කර තිබුනි.

එම ප්‍රහාරයට එරෙහිව යුක්තිය ඉල්ලා දස වසරකට වැඩි කාලයක් තිස්සේ අධිකරණය වෙත පිය නැගුවත්, පොලිස් විමර්ශවල විවිධ ගැටළු, විනිසුරුවරුන් කිහිප දෙනෙකු අතට මෙම නඩුව මාරුවීම, නීතිපති උපදෙස් ප්‍රමාද වීම ඇතුළු විවිධ හේතු මත මෙම දිග්ගැස්සීමත්, අනුරාධපුර, මීගමුව, කොළඹ සිට මේ නඩුව සදහා විශාල වියදම් හා කාලයක් වැයකරගෙන හම්බන්තොට උසාවිය වෙත යාමට ඇති නොහැකියාවත් මත අද දින මෙම නඩුව මෙසේ සමතයකට පත් විය.

වසර දහයකට වැඩි කාලයක් තිස්සේ විභාග වූ මේ නඩුව සදහා වරින් වර කොළඹින් නීතිඥයින් ගෙනයාමට සිදු වූ අතර, එහි දී නීතිඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ සේනක පෙරේරා, නීතිඥ දුලාන් දසනයාක, නීතිඥ දනුෂ්කද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක සහාය ලබා ගැනීමට සිදු විය.

රට පුරා කතාබහට ලක් වූ, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සාමකාමී විරෝධතාවයක නියළුන කණ්ඩායමක් වෙත එල්ල වූ මෙම මැර ප්‍රහාරය සම්බන්ධව වුවද, යුක්තිය ලගා කර ගැනීම කොපමණ අපහසුද යන්නත්, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඇති ගැටළු හා නඩු ප්‍රමාදය පිළිබදවත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් මෙම නඩුව හරහා ලබා ගැනීමට හැකි විය. ඒ පිළිබදව ඇති අත්දැකීම් සමාජගත කිරීම අප ඉදිරියේ දී බලාපොරොත්තු වේ.

Social Sharing
නවතම පුවත්