
ස්වෛරී රටක් ලෙස නැඟී සිටිමින් දේශීය යන්ත්‍රණ හරහා පමණක් වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කරයි.
මේ සඳහා පිටතින් පැමිණෙන කිසිදු යන්ත්රණයකට එකඟ නොවන අතර එවැන්නක් සිදුවන්නේ නම් රටේ ජාතීන් අතර බෙදීමක් ඇතිවන බව ද එමඟින් රජය ගෙනයන ජාතික ඒකාබද්ධ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල වන බව ද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (08) ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අමතමින් විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සමඟ ගැටුමේදී සිදු වූ බව පවසන මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කිරීම සඳහා වන ඕනෑම බාහිර මැදිහත්වීමක් හෝ යන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන අතර මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් නිර්දේශ හා නිගමන පිළිගත නොහැකි බව සඳහන් කරන විදේශ ඇමැතිවරයා බලයට පත්වීමෙන් පසු, වත්මන් ජාතික ජන බලවේගය (NPP) ප්රමුඛ රජය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇති බවත් එබැවින්, නව රජය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින බවත් පැවැසීය.
වගවීමේ යන්ත්රණයන් ඇතුළුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට පොරොන්දු ඉටු කිරීම සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බව පැවසූ විජිත හේරත් මහතා විශ්වසනීය දේශීය ක්‍රියාවලීන් හරහා වගවීම ඉදිරියට ගෙන යාමට රජය කැපවී සිටින අතර ශ්‍රී ලංකා අධිකරණවල මෑත කාලීන තීන්දු මඟින් ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නුම් කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.
රජය විසින් පොලීසියට පූර්ණ ස්වාධීනත්වයක් ලබා දී ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාර සහ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර ඇතුළු දිගු කලක් පුරා පැවැති නඩු රැසක විමර්ශන නැවත ආරම්භ කර ඇති බව පැවසූ ඒ මහතා ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බව ද නිදහස් කිරීමක් කළ නොහැකි අවස්ථාවල දී නීත්‍යනුකූල හිමිකරුවන්ට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාදෙන බව ද පැවැසීය.
ඊට අමතරව මහජනතාව අතර විශ්වාසය ගොඩනැඟීම සඳහා රජය මාර්ග විවෘත කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපාය සහාය සහ කර්මාන්ත ප්‍රවර්ධනය ඇතුළු පියවර රැසක් ගෙන තිබෙන බව ද දූෂණ විරෝධී ව්‍යාපාරය නව නීති මඟින් ශක්තිමත් කොට ස්වාධීන විමර්ශන සහ නඩු පැවරීම් මඟින් තීරණාත්මක වරදකරුවන් බවට පත් කිරීමට හැකිව තිබෙන බව ද කීවේය.
රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර නව ත්‍රස්ත විරෝධී නීති හඳුන්වා දීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර මාර්ගගත ආරක්ෂණ පනතට උපදේශන හරහා සංශෝධන සකස් කරමින් පවතින බව ද දේශීය සංහිඳියා යන්ත්රණයන්හි ස්වාධීනත්වය සහ අවශ්‍ය මූල්‍ය හා මානව සම්පත් වෙන්කිරීම් සහතික කිරීමෙන් රජය අඛණ්ඩව ශක්තිමත් කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
සත්‍යය සහ යුක්තිය සඳහා ඇති අයිතියට ගරු කරමින්, අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන චෙම්මනි සොහොන් භූමියේ කැණීම් සඳහා අවශ්‍ය සම්පත් රජය විසින් වෙන්කර තිබෙන අතර සත්‍යය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීමේ අරමුණින් තවදුරටත් උපදේශන සිදුවෙමින් පවතින බව ද සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ද විදේශ ඇමැතිවරයා සඳහන් කළේය.
චූදිතයෙකුට එරෙහිව මූලික සාක්ෂි තිබේ නම් පමණක් නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීමට කැමති වනු ඇති අතර, එම නිසා වාර්තාවේ නීතිපති කාර්යාලය පිළිබඳ නිෂේධනාත්මක නිරූපණය සාධාරණීකරණය කළ නොහැකි බව කී ඇමැතිවරයා
නීතිපතිවරයා නඩු පවරන්නන්ගේ අභිමතය අසීමිත බලයක් නොවන අතර එය අධිකරණ සමාලෝචනයේ පූර්ණ බලයට යටත් වන බව ද යෝජිත සංශෝධන දක්වා ඇති පරිදි නිදහස් කිරීම්වලට සම්බන්ධ නොවන බැවින් වාර්තාවේ සංශෝධිත පුද්ගලික දත්ත ආරක්ෂණ පනත පිළිබඳ සඳහන වැරදි බව ද පැවැසීය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ජිනීවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කළේය.
වාර්තාව හරහා, මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම් සම්බන්ධ නඩු කටයුතු සඳහා ස්වාධීන විශේෂ උපදේශකයකු ඇතුළු කැපවූ අධිකරණ යන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනි හිමාලි අරුණතිලක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ අධ්යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව තිබේ.
