බාහිර මැදිහත් වීම් ප්‍රතික්ෂේප කරනවා, රටේ ප්‍රශ්න විසඳිය යුත්තේ දේශීය යන්ත්‍රණයකින්

vijitha herath geneva

ස්වෛරී රටක් ලෙස නැඟී සිටි­මින් දේශීය යන්ත්‍රණ හරහා පම­ණක් වග­වීමේ ක්‍රියා­ව­ලි­යට කැපවී සිටින බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමි­කම් කවු­න්සි­ලය හමුවේ අව­ධා­ර­ණය කරයි.

මේ සඳහා පිට­තින් පැමි­ණෙන කිසිදු යන්ත්‍ර­ණ­ය­කට එකඟ නොවන අතර එවැ­න්නක් සිදු­වන්නේ නම් රටේ ජාතීන් අතර බෙදී­මක් ඇති­වන බව ද එම­ඟින් රජය ගෙන­යන ජාතික ඒකාබද්ධ ක්‍රියා­ව­ලි­යට දැඩි බල­පෑමක් එල්ල වන බව ද විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

ස්විට්ස­ර්ල­න්තයේ ජිනීවා නුවර දී ඊයේ (08) ආරම්භ වූ ජගත් මානව හිමි­කම් කවු­න්සි­ලයේ 60 වැනි සැසි­වා­රය අම­ත­මින් විදේශ ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. ශ්‍රී ලංකාවේ මානව හිමි­කම් තත්ත්වය සම්බ­න්ධ­යෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් මහ කොම­සා­රි­ස්ව­ර­යාගේ වාර්තා­වට ප්‍රති­චාර දක්ව­මින් ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වා­දීන් සමඟ ගැටු­මේදී සිදු වූ බව පව­සන මානව හිමි­කම් උල්ලං­ඝ­න­යන් විම­ර්ශ­නය කිරීම සඳහා වන ඕනෑම බාහිර මැදි­හ­ත්වී­මක් හෝ යන්ත්‍ර­ණ­යක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන අතර මහ කොම­සා­රි­ස්ව­ර­යාගේ වාර්තාවේ සඳ­හන් නිර්දේශ හා නිග­මන පිළි­ගත නොහැකි බව සඳ­හන් කරන විදේශ ඇමැ­ති­ව­රයා බල­යට පත්වී­මෙන් පසු, වත්මන් ජාතික ජන බල­වේ­ගය (NPP) ප්‍රමුඛ රජය සියලු ශ්‍රී ලාංකි­ක­යන්ගේ ආර­ක්ෂාව සහ සමෘ­ද්ධිය සහ­තික කිරීම සඳහා පිය­වර ගණ­නා­වක් ගෙන ඇති බවත් එබැ­වින්, නව රජය ලබා ඇති ප්‍රග­තිය පිළි­ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යෙන් ඉල්ලා සිටින බවත් පැවැ­සීය.

වග­වීමේ යන්ත්‍ර­ණ­යන් ඇතු­ළුව සිය­ලුම ශ්‍රී ලාංකි­කයන්ට පොරොන්දු ඉටු කිරීම සඳහා යම්කිසි කාල­යක් අවශ්‍ය බව පැවසූ විජිත හේරත් මහතා විශ්ව­ස­නීය දේශීය ක්‍රියා­ව­ලීන් හරහා වගවීම ඉදි­රි­යට ගෙන යාමට රජය කැපවී සිටින අතර ශ්‍රී ලංකා අධි­ක­ර­ණ­වල මෑත කාලීන තීන්දු මඟින් ශ්‍රී ලංකා අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය පෙන්නුම් කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

රජය විසින් පොලී­සි­යට පූර්ණ ස්වාධී­න­ත්ව­යක් ලබා දී ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාර සහ මාධ්‍ය­වේ­දීන්ට එරෙහි ප්‍රහාර ඇතුළු දිගු කලක් පුරා පැවැති නඩු රැසක විම­ර්ශන නැවත ආරම්භ කර ඇති බව පැවසූ ඒ මහතා ඉඩම් විශාල ප්‍රමා­ණ­යක් නිද­හස් කර තිබෙන බව ද නිද­හස් කිරී­මක් කළ නොහැකි අව­ස්ථා­වල දී නීත්‍ය­නු­කූල හිමි­ක­රු­වන්ට ප්‍රමා­ණ­වත් වන්දි මුද­ලක් ලබාදෙන බව ද පැවැ­සීය.

ඊට අම­ත­රව මහ­ජ­න­තාව අතර විශ්වා­සය ගොඩ­නැ‍ඟීම සඳහා රජය මාර්ග විවෘත කිරීම, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය, ජීව­නෝ­පාය සහාය සහ කර්මාන්ත ප්‍රව­ර්ධ­නය ඇතුළු පිය­වර රැසක් ගෙන තිබෙන බව ද දූෂණ විරෝධී ව්‍යාපා­රය නව නීති මඟින් ශක්ති­මත් කොට ස්වාධීන විම­ර්ශන සහ නඩු පැව­රීම් මඟින් තීර­ණා­ත්මක වර­ද­ක­රු­වන් බවට පත් කිරී­මට හැකිව තිබෙන බව ද කීවේය.

රජය ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත අව­ලංගු කර නව ත්‍රස්ත විරෝධී නීති හඳුන්වා දීමේ ක්‍රියා­ව­ලි­යක යෙදී සිටින අතර මාර්ග­ගත ආර­ක්ෂණ පන­තට උප­දේ­ශන හරහා සංශෝ­ධන සකස් කර­මින් පව­තින බව ද දේශීය සංහි­ඳියා යන්ත්‍ර­ණ­යන්හි ස්වාධී­න­ත්වය සහ අවශ්‍ය මූල්‍ය හා මානව සම්පත් වෙන්කි­රීම් සහ­තික කිරී­මෙන් රජය අඛ­ණ්ඩව ශක්ති­මත් කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

සත්‍යය සහ යුක්තිය සඳහා ඇති අයි­ති­යට ගරු කර­මින්, අධි­ක­රණ අධී­ක්ෂ­ණය යටතේ සිදු කෙරෙන චෙම්මනි සොහොන් භූමියේ කැණීම් සඳහා අවශ්‍ය සම්පත් රජය විසින් වෙන්කර තිබෙන අතර සත්‍යය සහ සංහි­ඳියා කොමි­ස­මක් පිහි­ටු­වීමේ අර­මු­ණින් තව­දු­ර­ටත් උප­දේ­ශන සිදු­වෙ­මින් පව­තින බව ද සංහි­ඳි­යාව සහ සහ­ජී­ව­නය පිළි­බඳ ජාතික ප්‍රති­ප­ත්ති­යක් සහ ක්‍රියාකාරී සැලැ­ස්මක් සකස් කිරීමේ යෝජ­නාව අමාත්‍ය මණ්ඩ­ලය විසින් අනු­මත කරන ලද බව ද විදේශ ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

චූදි­ත­යෙ­කුට එරෙ­හිව මූලික සාක්ෂි තිබේ නම් පම­ණක් නීති­ප­ති­ව­රයා අධි­චෝ­දනා ගොනු කිරී­මට කැමති වනු ඇති අතර, එම නිසා වාර්තාවේ නීති­පති කාර්යා­ලය පිළි­බඳ නිෂේ­ධ­නා­ත්මක නිරූ­ප­ණය සාධා­ර­ණී­ක­ර­ණය කළ නොහැකි බව කී ඇමැ­ති­ව­රයා

නීති­ප­ති­ව­රයා නඩු පව­ර­න්නන්ගේ අභි­ම­තය අසී­මිත බල­යක් නොවන අතර එය අධි­ක­රණ සමා­ලෝ­ච­නයේ පූර්ණ බල­යට යටත් වන බව ද යෝජිත සංශෝ­ධන දක්වා ඇති පරිදි නිද­හස් කිරී­ම්ව­ලට සම්බන්ධ නොවන බැවින් වාර්තාවේ සංශෝ­ධිත පුද්ග­ලික දත්ත ආර­ක්ෂණ පනත පිළි­බඳ සඳ­හන වැරදි බව ද පැවැ­සීය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් පිළි­බඳ මහ කොම­සා­රිස් වොල්කර් ටර්ක් මහතා ජිනීවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලයේ 60 වන සැසි­වා­ර­යට මානව හිමි­කම් පිළි­බඳ මහ කොම­සා­රිස් කාර්යා­ලයේ වාර්තාව ඉදි­රි­පත් කළේය.

වාර්තාව හරහා, මානව හිමි­කම් කොම­සා­රිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකා රජ­යෙන් ඉල්ලා ඇත්තේ චෝදනා එල්ල වන මානව හිමි­කම් උල්ලං­ඝ­නය කිරීම් සහ ජාත්‍ය­න්තර මානු­ෂීය නීතිය කඩ කිරීම් සම්බන්ධ නඩු කට­යුතු සඳහා ස්වාධීන විශේෂ උප­දේ­ශ­ක­යකු ඇතුළු කැපවූ අධි­ක­රණ යන්ත්‍ර­ණ­යක් ස්ථාපිත කරන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝ­ජිත හා තානා­ප­තිනි හිමාලි අරු­ණ­ති­ලක සහ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය සහ මානව හිමි­කම් පිළි­බඳ අධ්‍යක්ෂ ජන­රාල් දයානි මෙන්ඩිස් මහ­ත්මීන් ද මේ අව­ස්ථා­වට එක්ව තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර

https://www.dinamina.lk

Social Sharing
අවකාශය නවතම