අතුරුදහන්වූන්ගේ තොරතුරු සෙවීමත් අතුරුදහන්වීමට හේතුවක් වූ සමයක් – රණේ

ගාල්ල දිස්ත්‍රික්කයේ වීරපාන, ඕපාත පදිංචිව සිටි චන්ද්‍රදාස රණසිංහ 1989 වන විට විවෘත විශ්ව විද්‍යාලයේ පළමු වසරේ නීති ශිෂ්‍යයෙක්. එමෙන්ම ඔහු නව සමසමාජ පක්ෂයේ මාතර දිසා සභාවේ දිස්ත්‍රික් කමිටු සමාජිකයෙක්. එම පක්ෂයේ ශිෂ්‍ය හා තරුණ සංවිධාන ලෙස පැවති ලංකා ශිෂ්‍ය සම්මේලනයේ විධායක සභිකයෙක් ලෙසත්, ජනතා තරුණයෝ සංවිධානයේ උප සභාපති ලෙසත් ඔහු කටයුතු කළා. 1989 දෙසැම්බර් 22 වන උදේ වරුවේ දී මාතර බස්නැවතුම්පොල ආසන්න ප්‍රදේශයක දී ඔහු අතුරුදහන් වන විට ඔහුගේ වයස අවුරුදු 23ක්.

 

1984 නව සමසමාජ පක්ෂයට සම්බන්ධවීමට පෙර රණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙක්. ඔහු 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීරගේ මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධව වී කටයුතු කරනවා. රණේ පමණක් නොව ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිප දෙනෙකු හා තව ඥාතීන් පිරිසකුත් විජේවිරගේ ජයග්‍රහණය වෙනුවෙන් රණේ සමග කටයුතු කර තිබෙනවා.

ඉන් ටික කලකට පසුව ඔහු වැඩිදුර අධ්‍යාපනය සදහා මාතරට පැමිණියා. මාතරට පැමිණීමෙන් පසු කෙටි කලකින් ඔහු දැරූ දේශපාලන ස්ථාවරවල පරිවර්තනයක් සිදු වී ඔහු නව සමසමාජ පක්ෂය හා සම්බන්ධ වෙනවා. මාතරදී ඔහු සමීපව ඇසුරු කළ වැඩි දෙනෙකු නසසප සමග සම්බන්ධතා ඇති අය වීම ඊට හේතු වෙන්න ඇති.

ඉතා කෙටි කාලයක් තුළ නසසපයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වන ඔහු, 1988 පැවති පළමු පළාත් සභා මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභාව සදහා එක්සත් සමාජවාදී පක්ෂය යටතේ තරග වදිනවා. ඒ් අවධියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පළාත් සභා තහනම් කරමින්, ඡන්දය ඉල්ලීම පමණක් නොව ඡන්දය පාවිච්චි කිරීමත් දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම්කර තිබූණා. එම නියෝග කඩකරන අය සදහා මරණ දඬුවමේ සිට  විවිධාකාරයේ දඬුවම් පැමිණවීම් සිදුකරන අවධියක ජවිපෙ හිටපු සමාජිකයෙකු ලෙස ඔහු මෙසේ තරග කිරීම සුවිශේෂ කාරණයක් ලෙස සැලකිය හැකියි.

     (සූරියකන්ද සමූහමිනීවල – 1991, ශ්‍රී ලංකාව තුළ මෙවැනි සමූහ මීනීවලවල් 20ක් ඇති බව මේ වන විට සොයා ගෙන තිබේ. චෙම්මනි ඇතුළුව ඉන් 10ක්  උතුරු හා නැගෙනහිර පළාතෙනි)

ර‌ට උණුසුම් කළ 1989

1989 කාල වකවානුව විශේෂයෙන් දකුණට ඉතා බිහිසුණු යුගයක්. ඇති හැකි අය දකුණ අතහැර යන යුගයක්.  1989 නොවැම්බර් 13 රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසුව කැරැල්ල මර්දනය සදහා පොලීසිය ඇතුළු රජයේ සන්නද්ධ හමුදා ඉතා කෘර ලෙස ක්‍රියාත්මක ව යුගයක්. කැරැල්ලේ තිබූ බිහිසුණු කම හේතුවෙන්, කැරැල්ල මර්දනය සදහා භාවිතා කළ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකාවේ එවකට පැවති නීති හෝ ජාත්‍යන්තර සම්මුතීන් කිසිවක් මායිම් නොකරන තත්ත්වයකයි පැවතියේ.

ආණ්ඩුව‍ මෙන්ම විපක්ෂය නියෝජනය කළ සමහර දේශපාලන පක්ෂ නායකයින්ගේ සිට ක්‍රියාධරයන් දක්වා කැරලිකරුවන්ගේ ගොදුරු බවට පත්ව සිටි නිසා, ප්‍රධාන දේශපාලන පක්ෂ හා ඔවුන් නියෝජනය කළ වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන මෙම කැරැල්ල මර්දනය සදහා රජය යොදාගෙන ඇති කෲර ක්‍රමයන්ට එරෙහිව පියවරක් ගත්තේ නැහැ.

මේ අතර, කැරැල්ල මර්දනය සදහා පුර්ව අනුමැතියක් 1989 සැප් 13 වන දින එවකට ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා කැදවූ සර්ව පාක්ෂික සමුළුව හරහා ලබා ගැනීමට හැකි වුණා. නසසප හැර දේශපාලන පක්ෂ 22 ක් එම සමුළුවට  සහභාගී වුණා. විපක්ෂයෙන් ලැබුණු ඒ් සහාය හේතුවෙන් රජය ගනිමින් තිබූ ක්‍රියාමාර්ග තවත් දැඩි වුණා.

මර්දනය පාලනය සදහා ජාත්‍යන්තර මැදිහත්වීම

මේ අවධිය වන විට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රීය අයිතින් සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ඉතා වැදගත් ජාත්‍යන්තර සම්මුතීන් හා ප්‍රඥප්තීන් රාශියකට අත්සන් තබා තිබුණා. මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ සිට ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳව සම්මුතිය හරහා  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව සම්මුතිය ආදී ජාත්‍යන්තර සම්මුතීන් 27න් 18කට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාව ඒ වන විට අත්සන් කර තිබුණා.

නමුත්, අද වගේ තාක්ෂණයක් එදා නොතිබූ නිසාත්, ඉංග්‍රීසි භාෂාවෙන් මෙවැනි වැඩක් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසාත්, ශ්‍රී ලංකාවේ පැවති සැබෑ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව වෙත වාර්තා වී තිබුණේ ඉතා අඩුවෙන්. රජයත් රටේ තොරතුරු පිටත යැවීම වැළැක්වීම සදහා විවිධ ක්‍රියා මාර්ග ගෙන තිබුණා.

නව සමසමාජ පක්ෂය, විශේෂයෙන් එහි ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, කැරැලි මර්දනය සදහා ගෙන ගිය කෘර ක්‍රමය සම්බන්ධව දැරුවේ වෙනස් මතයක්. ප්‍රේමදාස ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සම්මේලනය ප්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතුන නසසපය නීති විරෝධී ඝාතන හා අතුරුදහන්කරවීම්වලට එරෙහිව විශාල විරෝධයක් දැක්වූවා. එමෙන්ම, අතුරුදහන්වූවන් වෙනුවෙන් කටයුතු කිරීම සදහා පක්ෂ තීරණයක් මත අතුරුදහන්වූවන්ගේ මාපිය දූ දරු සංවිධානයක් ගොඩනැගීමටත් මූලික වුණා.

පක්ෂයේ දේශපාලන මණඩලය නියෝජන කරමින් චන්ද්‍රා පීරිස් එහි ලේකම් ධූරයටත්, තම පුතාගේ අතුරුදහන්වීම සම්බන්ධව තනිවම සටනක යෙදෙමින් සිටි එජාප ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කළ විජේදාස පතිරණ මහතා එහි සභාපති ලෙස පත්කරනු ලැබුවා.

මට මතක විදියට මෙම සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1988 අග හෝ 1989 මුල් භාගයේයි. ඉන් පසුව මුළු පක්ෂ යාන්ත්‍රණයම අතුරුදහන්වූවන් පිළිබඳව තොරතුරු රැස්කිරීමත්, එම තොරතුරු ජාත්‍යන්තර සංවිධාන වෙත  (රතු කුරුස සංවිධානය, ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් හා ඉන්ටර්නැෂනල් ඇලර්ට්) යොමු කිරීමත් සඳහා උර දුන්නා.

ඒ නිසා රට පුරා විසිරී සිටි දරුවන් අතුරුදහන් වූ දෙමාපියන් තොරතුරු ලබා දෙන්නට පටන් ගත්තා. නසසප මාතර දිසා සභාවත් මේ වැඩේට මැදිහත් වුණා. ඔවුන් එසේ අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන්ගේ නිවෙස් වෙත ගොස් තොරතුරු ලබාගෙන ඊට අදාළ විස්තර පක්ෂ කර්යාලය වෙත තැපැල් මගින් යොමු කළා. 1992 දී දින 17ක් තිස්සේ කොළඹ කතරගම පාද යාත්‍රාව සදහා සහභාගී වුණේ මේ පවුල්වල දෙමාපියන්.

මෙම තොරතුරු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන යාම සදහා පිටත් වූ එවකට විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ හා වාසුදේව නානයක්කාර දෙපල කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමක් ද මේ කාලයේ දී සිදු වෙනවා.

SHR – මානව හිමිකම් සඳහා ශිෂ්‍යයෝ

මේ හා සමාන වැඩක් මානව හිමිකම් සදහා වූ ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ගයාන් (ගැමුණු යසස් සෙනෙවිරත්න) හා රිඩච් ද සොයිසා එක්ව සිදු කරමින් සිටියා. ගයාන් ද 1989 දෙසැම්බර් 10 වන දින පැහැරගනු ලබනවා. රිචඩ් ඊට මාස දෙකක් ගතවීමටත් පෙර 1990 පෙබරවාරි 18 දින පැහැරගෙන ගොස් මරා දමා තිබුණා.

රණසිංහ සේම කැලණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ නීති ශිෂ්‍යයෙකු වූ ගයාන් මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සමාජික හා සම්බන්ධීකාරක (SHR – Student for Human Rights) ලෙස කටයුතු කළා.

ඔහු රිචඩ් ද සොයිසාගේ සමීපතම මිතුරෙක්. මේ දෙදෙනා එක්ව ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධව තොරතුරු ජාත්‍යන්තර ප්‍රජාවට ගෙන ගියා. ගයාන් විසින් සොයා දෙන තොරතුරු රිචඩ් ලෝකය පුරා විසිරී සිටින මානව හිමිකම් සංවිධාන වෙත යොමු කළා. අමතරව හබයාස්කොපුස් නඩු පැවරීම සදහා නීතිඥයින් පොළඔවා ගැනීමත් ගයාන් විසින් සිදු කළා.

එදා මේ තොරතුරු රටෙන් පිටට යාම පිළිබඳව පැවති රජය බොහෝ සෙයින් කලබල වෙලා තිබුණෙ. ලංකාවේ සැලකිය යුතු පිරිසක් කැරල්ලට විවිධාකාරයෙන් සහාය දක්වා, එය අසාර්ථක වනු දුටු විට එම කැරල්ල මර්දනය සදහා රජය ගෙන තිබූ පියවර සම්බන්ධව නිහඬ අනුමැතිය ලබා දීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියා.

ගයාන්ගේ අතුරුදහන්වීමෙන් දින 12කට පසුවයි, රණේ අතුරුදහන් වෙන්නේ (1989/12/22). රණේ අතුරුදහන්වෙනකොට අතුරුදහන් වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ විස්තර ඇතුළත් ලේඛණා කිහිපයක් ඔහුගේ  අතේ තිබිල තියෙනවා. ඊට අමතරව පළාත් සභා අපේක්ෂකයින් වෙත රජය විසින් නිකුත් කළ රිවෝල්වරයකුත් ඔහු අතේ තිබිල. ඒ නිසා වෙන්න ඇති ඊට දින දෙකකට පසුව (දෙසැම්බර් 24) රාජ්‍ය අරක්ෂක අමාත්‍යංශයේ ජයලත් නැමති පුද්ගලයෙකු නව සමසමාජ පක්ෂ කාර්යාලයට කතා කර රණසිංහට ලබා දී ඇති ආයුදය පරිහරණය ගැන විමසීමක් කර තිබෙන්නෙ. එතනින් පසුව කිසිදු තොරතුරක් රණේ ගැන ලැබෙන්නෙ නැහැ.

1990 අප්‍රේල් 26 දින වාසුදේව නානයක්කාර පාර්ලිමේන්තුවේ දී මේ ගැන ප්‍රශ්න කරනවා. හමුදා පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක දී මාතර නැවතුම්පොළ ආසන්නයේදී රණසිංහ අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව වෑන් ඒකකට දමාගෙන යනු දුටු අය සිටින බවත්, ඉන් පසුව ඔහු මාතර පොලීසියේ රඳවාගෙන සිටි බවත් ඔහු ප්‍රකාශ කරනවා.

නැවතත් 1991 පෙබරවාරි 19 වන දින වාසුදේව නායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් ඔහු මාතර පොලීසියේ රඳවාගෙන සිටි බවට ඇසින් දුටු සාක්ෂි ඇති බවත්, එම තොරතුරු ලබා දීම සදහා රහසිගත අපක්ෂපාතී කමිටුවක් පත්කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා එවකට රජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා. නමුත් ඒ සතිදෙක ගතවීමට මත්තෙන්  (1991 මාර්තු 02) රංජන් විජේරත්න දුරස්ථ පාලක බෝම්බ ප්‍රහාරයකින් මිය යනවා.

මාතර පොලීසිය, හමුදා සම්බන්ධීකරණ නිලධාරී, මාතර පොලිස් අධිකාරී, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය, ජනාධිපති ඇතුළු රාජ්‍ය ආයතන සියල්ලටම පැමිණිලි කර තිබුණත්, ඒ් සියලු ආයතන රණසිංහ අත්අඩංගුවට ගෙන නොමැති බව පවසනවා.

 

අතුරුදහනකරවීම් හා නැවත ඇති නොවීම සම්මත කළ නීති හා යාන්ත්‍රණයන්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මූතීන් ගණනාවක අත්සන්කරු වී ඉන් ඇතැම් සම්මුති අපේ නීති පද්ධතිය වෙත ගෙනවිත් තිබුණත්, අතුරදහන්කරවීම්වලට එරෙහිව පැවති නීති ඉතා දුර්වල මට්ටමකයි පැවතු‌නේ. එ් නිසා අතුරුදහන්කරවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් හෝ අපරාධ වරදක් ලෙස සැලකුවේ නැහැ.

ඒ හේතුව මත අතුරුදහන්කරවීම්ෙවලට එරෙහිව නෛතික පියවර ගැනීමේ දී ගැටලු ගණනාවකට මුහුණ දුන්නා. එකල අතුරුදහන්කරවීම්වලට එරෙහිව ගත හැකිව තිබුණේ එක් ක්‍රියාෙමාර්ගයක් පමණයි. ඒ රිට් හේබියස්කෝපුස් නඩුවක් ගොනුකිරීමයි. හේබියස්කෝපුස් නඩුවක් යනු නීති විරෝධීව රඳවාගෙන සිටින පුද්ගලයෙකු නීතිය ඉදිරියට පමුණුවන ලෙස කරන ඉල්ලීමක්. අනීතිකව රඳවාගෙන සිටින පුද්ගලයාට හෝ ඔහුගේ සමීපතමයෙකුට මෙම ඉල්ලීම කළ හැකියි. නීති විරෝධී රඳවා තබාගැනීම් පිළිබඳව මෙවැනි නඩු රැසක් එකල ගොනු කර තිබුණා.

මේ ගැටලුව සම්බන්ධව ජාත්‍යන්තර අවධානය යොමු වී තිබීම නිසා 2006 දෙසැම්බර් 20 බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සදහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය ඉදිරිපත් වුණා.

අතුරුදහන්කරවීම් සම්බන්ධව වසර කිහිපයක් සිට වාර්තා තබා තිබූ ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් තැබීමෙන් වැලකී කට්ටි පනිමින් හිටියා. ඒ තත්ත්වය වෙනස් වුණේ යහපාලන රජය පැමිණීමත් සමගයි. 2015 දෙසැම්බර් 10  දින මෙම ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තැබුවා. පසුව 2018 මාර්තු 21 දින බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව අතුරුදහන්කරවීම ශ්‍රී ලංකාව තුළ ද අපරාධ වරදක් බවට පත් වුණා.

අතුරුදහන්කරවීම්වලට එරෙහි නීති සම්පාදනයට අමතරව, එය නැවත ඇති නොවීම සදහාත්, සිදුවූ සිද්ධීන් සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම, සත්‍ය දැනගැනීම හා යුක්තිය ඉටුකිරීම සඳහාත්, ශ්‍රී ලංකාවේ අතුරුදහන්කරවීම් සම්බන්ධව තොරතුරු සොයාගැනීම හා අදාල පවුල් වෙත හානි පුර්ණය වැනි කාරනා වෙනුවෙන් විද්‍යානුකූල යාන්ත්‍රණයක් හදුන්වා දීමටත්, ඒ සදහා අවශ්‍ය නෛතික පියවරයන් ගැනීමට රජයට සිදු වුණා.

ඒ අනුව පහත නීති හා යන්ත්‍රණයන් ශ්‍රී ලංකා රජයට මේ වන විට ස්ථාපිත කර තිබෙනවා.

  • 2016 අගෝස්තු 23 OMP හෙවත් අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බලන කාර්යාලය (2016 අංක 14 දරණ අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා වූ කාර්යල පනත) පිහිටුවන ලදී. එයට 18,000කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. හමුදාවේ සාමාජිකයන් 3000කට වැඩි පිරිසක් ඒ අතර වේ.
  • 2018 ඔක්තෝබර් 22 – හානිපූරණ කාර්යාලය (2018 අංක 34 දරණ හානිපූර්ණය සදහා වූ කාර්යල පනත)
  • 2024 ජනවාරි 23 – ONUR – ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය  (2024 අංක 1 දරන ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත)

රණසිංහ අතුරුදහන්වීමෙන් දශක තුනකට වැඩි කාලයක් ගතව හෝ මෙවැනි නීති හා යාන්ත්‍රණයන් බිහිකර ගැනීමට හැකි වීම ඔහුට කරන ගෞරවයක් ලෙස සටහන් කළ හැක. එමෙන්ම, මෙම යාන්ත්‍රණ ස්ථපිත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ අතුරුදහන්කරවීම් පසුගිය අවුරුදු කිහිපය තුළ වාර්තා නොවීම අතුරුදහන් කරවීම්වලට එරෙහි අරගලයේ සිටි සියලු දෙනාගේම යම් කිසි ජයග්‍රහණයක් ලෙස සැලකියි හැකිය.

එහෙත්, මෙය ස්ථිර ජයග්‍රහණයක් දක්වා පරිවර්තනය කිරීමට නම්, ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම්වලින් තොරව මානව හිමිකම් අගයන හා සුරකින, සත්‍යය හා යුක්තිය වෙනුවෙන් සැබවින්ම පෙනී සිටින ජන සමාජයක් ලංකාව තුළ නිර්මාණ කර ගැනීමට අපට සිදු වනු ඇත.

පිලිප් දිසානායක

2025.08.05

 

 

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග