තරුණයකු පැහැරගැනීමේ සිද්ධියකට – හිටපු නාවික හමුදාපති උළුගේතැන්න රිමාන්ඩ්

ඉකුත් 2010 වර්ෂයේදී අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න හෙට (30 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (28 දා) නියෝග කළේය.

හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ පෙරවරු 10.00 ට පමණ අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොල්ගහවෙල අධිකරණය වෙත රැගෙන ගොස් තිබිණි.

2010 වර්ෂයේදී පැහැර ගැනීමට ලක්වූ ශාන්ත සමරවීර නමැති තරුණයා සිවිල් පුද්ගලයෙකි. මෙම තරුණයා පැහැර ගැනීමෙන් අනතුරුව ඔහු පිළිබඳව මේ වනතුරු කිසිදු තොරතුරක් දැනගන්නට නොමැති බව විමර්ශනවලින් හෙළි විය.

තරුණයා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාව සිටි නිශාන්ත උළුගේතැන්න වෙත චෝදනා එල්ල විය.

සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා කෑගල්ල බන්ධනාගාරයේ දැඩි රැකවරණ යටතේ රඳවා තබන අතර හෙට දින ඔහු නැවත පොල්ගහවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

දිවයින

Social Sharing
නවතම පුවත්