ඉන්දියාවේ විප්ලවීය විනිසුරු කේ.චන්දෘ කියන්නෙ ලෝක නීති ක්ෂේත්‍රයේ බිහි වූ විරළ චරිතයක්. මනා ආදර්ශයක්.
සුප්‍රසිද්ධ ඉන්දියානු චිත්‍රපටයක් වන Jai Bhim (2019) චිත්‍රපටය හැදුනේත් ඔහුගේ ජීවිතය ඇසුරින්. ඔහු විනිසුරුවරයෙක් වෙන්න කළින් නීතීඥයෙකු ලෙස ගෙවූ ජීවිතය තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. අපි මේ කතා කරන්නෙ නම් චිත්‍රපටයේ නොපෙන්වූ කොටස.
ඉන්දියාව කියන්නෙ නීති ක්ෂේත්‍රය තුළ බොහෝ අකටයුතුකම් තියෙන රටක් බව අපි සිනමාපට ආදියේදි ඕනෑ තරම් දැකලා තියෙනවා. නමුත් නීති ක්ෂේත්‍රයට බිහි වූ බොහෝ මානවහිතවාදීන්ට නිජබිමක් උනේත් ඉන්දියාව ම තමයි.
ජායි භීම් චිත්‍රපටයට පාදක වෙන්නෙ ඉන්දියාවෙ කුලහීන මිනිස්සුන්ව අනීතික ව අත්අඩංගුවට ගැනීම, පොලිස් භාරයේදී පහර දී මරා දැමීම ගැන. ඒ වගේ ම නොකළ වැරදි සඳහා මේ අය ව හිරබාරයට පත් කරලා පොලිසිය අපරාධ වහන ආකාරය ගැන. මේ නොපනත්කම්වලට එරෙහි ව සටන් කළ අභීත නීතීඥයා තමයි K.Chandru.
1958 මැයි 8 වැනිදා උපත ලබන චන්දෘ පසුකාලීන ව ඉන්දියානු මානව හිමිකම් නීතිය තුළ කැපී පෙනෙන නීතීඥයෙකු බවට පත් උනා. මානව හිමිකම් නඩු දහස් ගානකට ඔහු පෙනී හිටියෙ නොමිළයේ. එක ම රුපියලක්වත් නොගෙන ඔහු ඒ සියලු ම නඩු ජයග්‍රහණය කෙරුවා. විනිසුරුවරයෙක් ලෙස විශ්‍රාම ගනිද්දි ඔහුගේ ජීවිතය හරියට අම්බෙඩ්කාර්ගෙ ජීවිතය වගේ විප්ලවීය විලාසිතාවක් උනා.
චන්දෘගෙ උපන් ගම උනේ තමිල්නාඩුවේ ශ්‍රී රංගම් ගම්මානය. ඔහු අධ්‍යාපනය ලබන අවධියේදී ‘ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට්’ පක්ෂයේ ක්‍රියාධරයෙක් උනා. ඒ හින්දා ම චෙන්නායි හි පිහිටි Loyola කොලීජියෙන් ඔහුව නෙරපා දැම්මා. ඒ උද්භිත විද්‍යා උපාධියේ දෙවැනි වසරෙදි. පසුකාලීන ව Bar and Bench සමඟ කරපු සම්මුඛ සාකච්ඡාවකදී තමයි ඔහු මේ කතාව කියන්නෙ.
Madras Christian කොලීජියෙන් සිය උපාධිය සම්පූර්ණ කරගන්නා චන්දෘ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණකාලීනයෙකු ලෙස දේශපාලනය තෝරාගන්නවා.
මේ කාලයේදී වියට්නාම යුද්ධයට එරෙහිවත් චන්දෘ ඉන්දියාව තුළ සිසු විරෝධතා සංවිධානය කෙරුවා.
එක කාලයක් ඔහු ඉන්දීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉහළ පෙළ නායකයෙක්. මේ කාලෙදි “ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනගොස් බෙංගාල බොක්කට විසිකළ යුතු” බවට කළ ප්‍රකාශය ඉතා විවාදාපන්න උනා. ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ මානව හිමිකම් ආරක්ෂා කරන්න පුලුවන් වෙන්නෙත් මේ ව්‍යවස්ථාවෙන් ම හින්දා එය රැකීමට සිදුවන බවයි ඔහු පසුව කිව්වෙ.
කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස ඉද්දි තමයි ඔහු ඉන්දීය නීති විද්‍යාලයට ඇතුළත් වෙන්නෙ. ඒ 1973 දි. ඔහු නීතියට යොමු වෙන්න හේතු උනේ එකල Anna University ය තුළ ශිෂ්‍ය නායකයෙකු රජය විසින් මරා දැමීම. ඊට එරෙහිව චන්දෘ තමාට හැකි සෑම අරගල ක්‍රියාමාර්ගයක ම නිරත උනා.
ඔවුන් ඒ සිදුවීමේදී නඩු මඟටත් බැස්සා. එහිදී හමුවන මහාධිකරණ විනිසුරුවරයෙකු තමයි චන්දෘට කියන්නෙ ඔය තරම් විප්ලවීය වෙනස්කම් කරන්න නම් නීතිය හදාරන්න කියලා. මේ ප්‍රකාශය එක්තරා අභියෝගයක් බවට පත්කරගෙන තමයි චන්දෘ ඒක බාරගත්තෙ.
නීති අධ්‍යාපනය හමාර කරපු චන්දෘ වසර කිහිපයක් නීති ආයතනයක සේවය කෙරුවා. 1988 දි ඉන්දියාවෙ කොමියුනිස්ට් පක්ෂය එක්ක ඔහු ගැටීමක් ඇතිකරගත්තා. ඒ ගැටීමට ශ්‍රී ලංකාවත් සම්බන්ධයි.
1988 දි ඉන්දියාවෙ හමුදාව ලංකාවෙ ජාතික ප්‍රශ්නයට සන්නද්ධව මැදිහත් උනා. සාම සාධක හමුදාවක් ලංකාවට එව්වා. ඔවුන් උතුරේ යුද්ධ කෙරුවා. ලංකාවෙ දේශපාලනයට ඉන්දියාව මැදිහත්වෙන එකට චන්දෘ දැඩිව විරුද්ධ උනා. ඔහු කොමියුනිස්ට් පක්ෂයට කිව්වා ඒකට විරුද්ධ වියයුතු බව. හැබැයි ඒකෙ ප්‍රතිපලයක් ලෙස චන්දෘ ව පක්ෂයෙන් නෙරපා දැම්මා.
ප්‍රාණ පරිත්‍යාගී ව ජීවිතය කැපකළ පක්ෂය ම ඔහුට අකුල් හෙළුවා. ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය මේ ඉන්දීය ආක්‍රමණයේදී හිටියෙ රජිව් ගාන්ධි එක්ක. පාලක පක්ෂයට හිතවත් ව. චන්දෘ වගේ ක්‍රියාකාරී කෙනෙක් ඊට විරුද්ධ වීම ඔවුන් දැක්කෙ තර්ජනයක් ලෙස.
“මම තවදුරටත් කොමියුනිස්ට් පක්ෂයේ හෝ වෘත්තිය සමිතියේ නීතීඥවරයා නොවේ. මට ලෝකයේ ඔනෑම කෙනෙකුගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට තවදුරටත් බාධා නැත“
පක්ෂයෙන් ඉවත්වීම ගැන ඔහු එහෙම කිව්වා.
තමාගේ නීතීඥ ජීවිතය වගේ ම පෞද්ගලික ජීවිතය සපුරාම හැඩගැසුනේ කාල් මාක්ස්, ලෙනින් සහ අම්බෙඩ්කාර්ගේ ඉගැන්වීම් මත බව චන්දෘ පුවත්පත් සාකච්ඡා කිහිපයක නැවත නැවත කියා තිබෙනවා.
හැබැයි චන්දෘගේ වෘත්තීය ජීවිතය මේ කියපු අයගෙනුත් එහාට ගියා. තමිල්නාඩුව පුරාත්, ඉන් පිටතත් ඉන්න කුලහීන, පහළ පාංතික, කම්කරු ජනතාවගේ කුළ ප්‍රශ්න, පරිසර ගැටළු, සූරාකෑම් ආදී සෑම ගැටලුවකදී ම නොමිලේ නීති සහාය දෙන්න චන්දෘ තීරණය කෙරුවා.
පසුකාලීන ව චන්දෘගේ දේශපාලනය උනේ පීඩිත මිනිස්සු වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම.

මේ ගමනේ කූටප්‍රාප්තියක් තමයි 1993 දී සිදු වූ තමිල්නාඩු කුලහීන ජනයා අනීතිකව අත්අඩංගුවට ගැනීම සහ පොලිස් භාරයේ දී වධබන්ධනය කොට මරාදැමීමේ සිදුවීම. මෙහිදී යුක්තිය ඉටු කරවාගැනීමට රටවටා සංචාරය කරමින් ස්වාධීන පරීක්ෂණයක් කොට චන්දෘ විසින් ගත් වෙහෙස තමයි Jai Bhim චිත්‍රපටයේ පෙන්වන්නෙ.
තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා චන්දෘට ප්‍රසිද්ධියේ ම කිව්වෙ “ත්‍රස්ථවාදී නීතීඥයා” කියලා.
2006 දී ඉන්දීය මහාධිකරණයේ අතිරේක විනිසුරුවෙකු ලෙස පත්වන චන්දෘ 2009 වසරේ සිට මහාධිකරණ විනිසුරුවෙකු ලෙස කටයුතු කෙරුවා. එහි දී වෙනස්කොට සැළකීම, කුලහීන ජනයා පහත්කොට සැළකීම, කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් ආදී මානව හිමිකම් ක්ෂේත්‍රය ආවරණය කරමින් ආන්දෝලනාත්මක නෛතික කාර්යභාරයක් කරන්න චන්දෘ සමත් උනා.
එතුමාගේ නඩු තීන්දු කිහිපයක් ම ගැන Nuwan Ishara Mahagamage පිටුවෙ මීට කළින් ලියා තියෙනවා.
සාමාන්‍යයෙන් ඉන්දීය මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ජීවිත කාලයේ දී අධිකරණ තීන්දු 15000 ක් පමණ ලබාදෙන බවයි කියන්නෙ. නමුත් K.Chandru සිය වෘත්තීය ජීවිතය අවසන් කරන විට අධිකරණ තීරණ 96000 ක් ලබා දී තිබීම ම ඔහු තවත් ‘එක් පුද්ගලයෙකු නොව විශිෂ්ටයෙකු බව’ සනාථ කරවන්නක්.
ඉන්දීය අධිකරණය තුළ දී, “ස්වාමීනී“ (My Lord) යැයි තමා ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ පළමු විනිසුරුවරයාත් ඔහු. 2013 වසරේදී විනිසුරු ධූරයෙන් විශ්‍රාමගත් කේ.චන්දෘ සිය නිළ රථය භාර දී දුම්රියක නැඟී සිය නිවෙසට පිටත් උනා. ඉන්දීය ඉතිහාසයේ දී සේවා කාලය අවසන් කිරීම හේතුවෙන් ලබාදෙන සමුගැනීමේ සාදය සහ රාත්‍රී ආහාර වේල ප්‍රතික්ෂේප කළ විනිසුරුවන් කිහිප දෙනා අතරට එදා ඔහුගේ නමත් එකතු උනා.
විශ්‍රාම දිවියේ දී චන්දෘ විසින් ලබාදුන් බොහෝ පුවත්පත් සාකච්ඡාවල ඔහු සඳහන් කරන පොදු කරුණ තමයි සිය අභීත නඩු තීරණ, අවදානම්සහගත නීතීඥ දිවිය සහ දේශපාලනික දැක්ම හැඩගැස්වූයේ අභීත ඉන්දීය මහජන නායකයා වන බී.ආර්.අම්බෙඩ්කාර්ගේ දර්ශනය බව. කුලහීන ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් වූ චන්දෘගේ කැපකිරීම් ඉන්දීය අධිකරණ ඉතිහාසය තුළ තවමත් විටින් විට අධිකරණ පූර්ව නිදර්ශන ලෙස සඳහන් වෙනවා.
“That is one thing I learnt. Never be afraid. I have faced threats but ultimately you can’t die every day.”
– K’Chandru –
අපට වෙන කවරදාටවත් වඩා මේ මොහොතේ කේ.චන්දෘලා ඕනෑකර තිබෙන බව අවසන් වශයෙන් සඳහන් කරන්න ඕන.

(පහළ ඡායාරූපයේ හරි මැද ඉඳගෙන ඉන්නෙ කේ.චන්දෘ විනිසුරුතුමා )
– ©️ Nuwan Ishara Mahagamage –
