අනගාරික ධර්මපාල, නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර – වික්ටර් අයිවන්

ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසුව සිංහල බෞද්ධයින් කෙරෙහි චින්තනමය වශයෙන් ලොකුම බලපෑම කල චින්තකයා ලෙස සැළකිය හැක්කේ නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර නොව අනගාරික ධර්මපාල ය. අනගාරික ධර්මපාල සමඟ සසඳන විට නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර වැඩි උගත්කමක් ඇති අය වූහ. ඒ දෙදෙනාට අනාගාරික ධර්මපාලට වඩා දේවල් විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ද තිබුණි. එවැනි සීමිත කම් තිබියදීත් අනගාරික ධර්මපාල සිංහල බෞද්ධ චින්තනය කෙරෙහි ඇති කරන ලද බලපෑමේ තරම නලින් ද සිල්වා හා ගුණ්දාස අමරසේකර සිංහල බෞද්ධ චින්තනය කෙරෙහි ඇති කරන ලද බලපෑමට වඩා ඉතා විශාල වී යැයි කිව හැකිය. ධර්මපාල තුමාගේ දේශපාලන සිහිනය පළමු වරට සැබෑ වූයේ ඔහු ජීවතුන් අතර නොසිටි 1956 දීය. එම වර්ෂයේ පැවති පාරිමේන්තු මැතිවරණයෙන් සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බණ්ඩාරණායකගේ මහජන එක්සත් පෙරමුණ හිමි කරගත් මැතිවරණ ජයග්‍රහනය කෙරෙහි අනගාරික ධර්මපාල සමාජ ගත කර තිබූ චින්තනය බලපෑවේය.

1956 සැමරීමට නියමීත 2500 බුද්ධ ජයන්තිය ඉලක්ක කරගෙන රට පුරා තිබෙන පන්සල් යොදා ගනිමින් බෞද්ධ අයිතිවාසිකම් දිනාගැනීම සදහා හැම ගමකම බෞද්ධ සමිති ගොඩ නගන වැඩසටහනක් ද, යටත් විජිත යුගයේදී බුද්ධ සාසනයට සිදුවී තිබුණ විනාශයත් නිදහසින් පසු පවතින තත්වයත් සොයා බලා වාර්තා කිරීම සඳහා බෞද්ධ තොරතුරු කොමිසන් සභාවක්ද පත් කර තිබූ අතර ප්‍රාදේශීය මට්ටමෙන් භික්ෂුන් වහන්සේලා එකතු කොට ප්‍රාදේශිය සංග සභා ගොඩනගන ක්‍රමයක්ද ක්‍රියාත්මක කර තිබුණි. සමස්ථ වැඩසටහනේ අරමුණ වූයේ බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බෞද්ධයින්ට බර තබන ලද ආණ්ඩුවක් පිහිටුවීමය. එම දැවැන්ත වැඩසටහනේ මහ මොළකරුවන් ලෙස ක්‍රියා කර තිබුනේ හේන්පිට ගෙදර ඥාණසීහ හිමි, එන්. කියු. දියෙස් (නීතිඥ ගෝමින් දයා ශ්‍රී ගේ පියා) හා මහාචාර්‍ය ගුණපාල මලලසේකර යන තිදෙනාය. ඒ තිදෙනාගේ එම වැඩසටහන හා එය ක්‍රියාවට නඟා තිබුණු සුවිශේෂ ස්වභාවය ගැන හොදම විශ්ලේෂනය ලියා තිබෙන්නේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්‍ය හෝවාඩ් රිගින්ස් විසින් ඔහුගේ “Ceylon: Dilemmas of a New Nation” යන කෘතියෙනි. 1960 පළ වූ එම කෘතියේ පිටපතක් මගේ පොත් එකතුවේද තිබුණි. මා පරණ පොතක් ලෙස එය මිලදී ගත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් මත ජනමාධ්‍ය විෂය හදාරන්නට 1993 එක්සත් රාජධානියට ගිය කාලයේදී එම රටේ පරණ පොත් සඳහාම තිබෙන නගරය වූ Hay on Wye වලට ගිය අවස්ථාවකදීය.

ගෝඨාභයගේ ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් පසු මට එම ජනාධිපතිවරණය පෙනුණේ 56 බණ්ඩාරණායක ගේ ජයග්‍රහනය සදහා යොදාගත් එම වැඩපිළිවෙලට සමාන වැඩපිළිවෙලක් වඩා විශාල හා ප්‍රශස්ථ අකාරයකට ගෝඨාගේ ජනාධිපතිවරණය සදහා ද යොදාගෙන තිබෙන බවය. මංගල සමරවීර මිය යන්නට මාස තුනකට පමණ පෙර මා බලන්නට මගේ නිවසට පැමිණි දෙවැනි ගමනේදී ගෝඨාභය ජනාධිපතිවරණය සදහා යොදාගත් වැඩපිළිවෙල 56 මැතිවරණය සදහා යොදාගත් වැඩපිළිවෙලට සමාන බව පෙන්වීම සදහා මා ලඟ තිබු රිගින්ස් ගේ එම පොත මංගලට පෙන්වන්නට මට සිදුවිය. ඔහු එය කියවා ආපසු දීම සඳහා මගෙන් ඉල්ලා ගත්තේය. ඔහුගේ මරණය නිසා මට ඒ පොත නැවත ලබා ගැනීමට නොහැකි විය. මම මාගේ “පන්සලේ විප්ලවය” පොතේ (එහි ඉංග්‍රීසි සංස්කරණයක් – Revolt in the Temple – 2009 දී පළවිය) 56 පෙරළිය ගැන ලියා තිබෙන්නේ රිගින්ස් ගේ පොතෙන් ලබාගත් තොරතුරුද ඇතුළත් කෙරෙන අකාරයටය. සිංහල බෞද්ධ අපේක්ෂා සපුරා දීම සදහා 56 දී එම වැඩසටහන සකස් කල මහ මොළ කාරයින් තිදෙනා බලයට පත් කිරීම සඳහා මුලදී තෝරාගෙන තිබුනේ S.W.R.D. බණ්ඩාරණායක නොව ඩඩ්ලි සේනානායක ය. මහාචාර්ය කේ. එම්. ද සිල්වා ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සදහන් කර තිබෙන ආකාරයට එම වැඩසටහනේ මහමොළ කරුවන් තිදෙනාට ඩඩ්ලි පෙනුනේ බෞද්ධ හදවතට වඩාත්ම සමීප නායකයා ලෙසය. ඒ වන විට ඩඩ්ලි 53 හර්තාලය නිසා තමන් දැරූ අගමැති තනතුර අතහැර ක්‍රියාකාරි දේශපාලනයෙන් තාවකාලිකව ඉවත් වී පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් නිහඬ ජීවිතයක් ගෙවමින් සිටියේය. ඩඩ්ලි හමුවන්නට ගිය ඥානසීහ හිමියන් හා එන්. කියු. දියෙස් ඔවුන් ක්‍රියාවට නගන්නට සැලසුම් කර තිබුණ සිංහල බෞද්ධ වැඩසටහන ඔහුට විස්තර කොට එම වැඩසටහනේ නායකත්වය භාර ගන්නා ලෙස ඩඩ්ලි ගෙන් ඉල්ලා සිටියේය. ඒ ගැන විස්තරයක් හේන්පිට ගෙදර ඥානසීහ හිමිගේ ස්වයං චරිතාපදානයේ සදහන් වේ. එහෙත් ඩඩ්ලි ලංකාවේ සියළු ජාතිකයින් එකට එකතු කරන වැඩසටහනකට මිස සිංහල බෞද්ධයින්ට පමණක් සීමාවූ වැඩසටහනකට තමන්ට එකඟ විය නොහැකි බව කීවේය. ඒ දෙදෙනා බණ්ඩාරණායක වෙත ගියේ ඉන් පසුවය. බණ්ඩාරණායක ඒ වන විට සිටියේ එජාපයෙන් ඉවත්ව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සීමාවු දේශපාලන අර්ථයෙන් දුර්වල තත්වයකය. තමන් වෙත ඉදිරිපත් වී තිබෙන සිංහල බෞද්ධ වැඩසටහන තමන්ට බලයට පත් වීම සදහා යොදා ගත හැකි හොඳ මෙවලමක් බව තේරුම් ගත් බණ්ඩාරනායක එම වැඩසටහනට නායකත්වය දීමට සපුරා එකඟ විය. ඉන් පසු L. H. මෙත්තානන්දගේ සිංහල පමණක් භාෂා ප්‍රතිපත්තියද බණ්ඩාරණායක එම වැඩසටහනේම වැදගත් අංගයක් බවට පත් කර ගත්තේය. අවසානයේ දී සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂය යන වාම පක්ෂ දෙක හැර සිංහල ජනතාව අතර වැඩ කල අන් සියළු දේශපාලන පක්ෂ එම සිංහල බෞද්ධ වර්ග වාදි රළ පහරේ කොටස් කරුවන් බවට පත් විය. එම වැඩසටහන බණ්ඩාරණායකට අති විශාල මැතිවරණ ජයග්‍රහනයක් ලබාදීමට හේතු වුවද එය සමහර දේවලින් ඉදිරිගාමි තවත් සමහර දේවලදී පසුගාමි හා අවසාන විග්‍රහයේදී රට ලොකු අගාධයකට රැගෙන ගිය දේශපාලන පෙරළියක් ලෙස ද සැළකිය හැකිය. එම පෙරළිය අගමැති බණ්ඩාරනායක ගේ ජීවිතය ද බිලිගත්තේය. එය නිදහසින් පසුව ලංකාවේ සිදුවූ ප්‍රථම දේශපාලන ඝාතනය ලෙස සැළකිය හැකිය. දෙමළ ජනයාට ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීමට හේතුවූ එම වැඩසටහන රට කෙරෙහි ඇති කල බලපෑම ඉතාමත් විනාශකාරි විය. ලංකාව මහා අගාධයකට තල්ලුවී යාම ආරම්භ වන්නේ එතැන් සිටය.

ඒ දක්වා සියළු දේශපාලන පක්ෂ වලට සිංහල හා දෙමළ ජනයාගේ පිළිගැනීමට හේතුවූ සාධාරණ භාෂා ප්‍රතිපත්තියක් තිබුණි. බණ්ඩාරණායක 56 මැතිවරණයේදී එයින් ඉවත් වී සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරු වූ විට එජාපය ද පරණ භාෂා ප්‍රතිපත්තිය අතහැර සිංහල පමණක් ප්‍රතිපත්තියකට මාරු විය. එක භාෂාවක් රටවල් දෙකක්ද භාෂා දෙකක් එක රටක්ද ඇති කිරීමට හේතුවනු ඇති බවට තර්ක කල සම සමාජ පක්ෂයද ඉන් අවුරුදු අටකට පසුව තමන් එතෙක් පෙනී සිටි ප්‍රශස්ථ භාෂා ප්‍රතිපත්තිය අත් හැර සිංහල පමණක් ප්‍රතිපත්තිය පිළිගන්නා තැනකට තල්ලු විය. රෝහණ විජේවීර ද දෙමළ ජනයාට භාෂා ප්‍රශ්නයේදී කිසියම් ප්‍රමාණයක සහන ලබාදීම සඳහා ඇති කල දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනතට එරෙහිව 1966 ජනවාරි 8 වනදා පැවති දෙමළ විරෝධි පෙළපාළියට උද්‍යෝගිමත් ලෙස සහභාගි විය. එන්. ශන්මුගදාසන්, විජේවීරව චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපන ලද්දේ එම දෙමළ විරෝධි පෙළපාළියට සහභාගිවීමේ චෝදනාව යටතේය. ඉන්පසු විජේවීර ගොඩ නගන ජනතා විමුක්ති පෙරමුණ සිංහල තරුණ පරපුර දෙමළ විරෝධි ආකල්ප සහිත පරපුරක් බවට පත් කිරීම සඳහා ලොකු කාර්‍යභාරයක් ඉටු කලේය. සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කරන අතර අඩුම තරමින් දෙමළ ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ගනු දෙනු කරන්නට ඉඩ දෙන ප්‍රතිපත්තියක් වත් අනුගමනය කලේ නම් ඉන් සිංහල භාෂාවේ පැවැත්මට හෝ ගෞරවයට කිසිදු හානියක් ඇති නොවනවා පමණක් නොව එසේ වී නම් වෙනම දෙමළ රාජ්‍යය ක් සඳහා කෙරෙන ප්‍රචණ්ඩ අරගලයක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේම ජේවීපී දෙවැනි කැරැල්ලක්ද ඇති නොවන්නට ඉඩ තිබුණි. දෙමල ජනයා වෙනම රාජ්‍යක් සඳහා සටන් කරන තැනකට තල්ලු වී යන තත්වයක් ඇති වූ විට ඊට මුහුණ දීම සදහා අනගාරික ධර්මපාලගේ පරණ සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදය ප්‍රමාණවත් නොවූ අතර එල්ල වී තිබුණ නව අභියෝගයන්ට ගැලපෙන වඩා සටන්කාමි සිංහල බෞද්ධ වර්ගවාදි දෘෂ්ටිවාදයක් තනාගැනීම අවශ්‍ය විය. නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර යන දෙදෙනා විසින් එක ආකාරයකට හෝ තවත් ආකාරයකට පුරවන ලද්දේ එම දෘෂ්ටිවාදි හිඩැසය.

වෙනම දෙමළ රාජ්‍යක් වෙනුවෙන් එල්ටීටීඊය කරන ලද ප්‍රචණ්ඩ අරගලය සාකච්ඡා මගින් විසඳාගත නොහැකි තරමේ අන්තවාදයකට යොමුවී තිබුන තත්වයක් තුළ එය යුද්ධමය වශයෙන් පරාජය කල යුතුව තිබුණි. එම අභ්‍යන්තර යුද්ධය නලීන් ද සිල්වා හා ගුණදාස අමරසේකර වැනි නව සිංහල බෞද්ධ සටන්කාමි දෘෂ්ටිවාදයන්ගේ පහස ලබා ගනිමින් යුද්ධ හමුදාව යොදා ගනිමින් ජය ගැනීමට සිංහල බෞද්ධ ජාතිවාදි බලවේගයන් සමත් වුවද රටට ලොකු කළු පැල්ලමක් ඉතිරි නොවන ලෙස එම යුද්ධය අවසන් කිරීම සඳහා වන නුතනවාදි ප්‍රවේශයක් ඔවුන්ගේ සිංහල බෞද්ධ සටන්කාමි දෘෂ්ඨිවාදයන්ට නොතිබුණි. අභ්‍යන්තර යුද්ධයේ ජයග්‍රහණයත් සමග යුද්ධය නිසා දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබුණ ප්‍රශ්න ගැන සොයා බලන අතර රටේ ඇතිවී තිබුන මහා ලේ වැගිරීම් කෙරෙහි බලපෑ වර්ග කුල හා ආගම් ප්‍රශ්නය විසදාගැනීමට හේතුවන, දූෂණය හා වෙනත් විවිධ හේතු නිසා ජරාජීර්ණ වී තිබූ රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරගන්නා තැනකට යාමට සමත් වී නම් ලංකාව බංකොලොත් තත්වයකට ඇද නොවැටෙන්නට ඉඩ තිබුනා සේම මේ වන විට ලංකාවේ තත්වය ඉතා ශක්තිමත් හා යහපත් වන්නටද ඉඩ තිබුණි. මෙම ලක්ෂණය එම දුෂ්ඨි වාදි බලවේගයන් 2009 දී ජයගත් අභ්‍යන්තර යුද්ධයට පමණක් නොව 1956 යේ බණ්ඩාරනායකගේ මැතිවරණ ජයග්‍රහනයටද ආවේණික බරපතල සීමාසහිත කමක් වී යැයි කිව හැකිය.

මේ අවස්ථා දෙකෙදීම සිංහල බෞද්ධ දෘෂ්ටිවාදීන් දකින්නට සමත් වුයේ එවේලේ ලබන ජයග්‍රහණය ගැන පමණය. එම ජයග්‍රහණය දීර්ග කාලින වශයෙන් සිංහල ජනයාට සේම රටටද ඇති කරන්නට නියමීත ප්‍රති විපාක ගැන සලකා බැලීමක් සිදු නොවීය. මේ අවස්ථා දෙකේම සිංහල බෞද්ධ බලවේගයන් තමන්ට ලැබෙන වාසි වලට සීමා නොවී රටේ ජීවත්වන අනෙක් වර්ග හා ආගම්වලටද යුක්තිය ඉටුකරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ නම් අනෙක් වර්ග හා ආගම් වලින් සිංහල බෞද්ධයින්ට ලොකු පිළිගැනීමක් හා ගෞරවයක් හිමිවන්නට ඉඩ තිබුනා සේම එම ප්‍රවේශය ලංකාවේ ජීවත්වන වර්ග හා ආගම් අතර සමගිය ඇතිකරන විශේෂ වශයෙන් සියළුම වර්ග හා ආගම්වලටත් පොදුවේ රටේ දියුණුවටත් බලපාන වැදගත් සාධකයක් වන්නට ඉඩ තිබුණි. නලින් හා අමරසේකරට වැරදුන ප්‍රධානම තැන ලෙස සැළකිය හැක්කේ ද එයයි. ඒ දෙදෙනාගෙන් අභාව වාචක අත්දැකීම් වලින් රටට ඉගෙන ගත හැකි ලොකුම පාඩම වන්නේද එයයි.

දැන් මම නලින්ද සිල්වාට හා ගුණදාස අමරසේකරට මට තිබුන සම්බන්ධය හා ඒ දෙදෙනා ගැන මට තිබෙන අත්දැකීම් ගැන කෙටියෙන් අදහස් පලකිරීමක් කරමි. ගුණදාස අමරසේකර මගේ උනන්දුවට හේතුවී සිටි ලේඛකයෙකු විය. ඔහුගේ “අබුද්දස්ස යුගයක්” හා “අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?”යන රචනා දෙක මගේ විශේෂ උනන්දුවට හේතුවූ රචනා දෙකක් ලෙසද සැලකිය හැකිය. මා බන්ධනාගාරයේදී ලියා නිදහස්වු පසුව පළකල මගේ “71 කැරැල්ල” පොත ගැන “තරුණයෝ” පුවත් පතට (1979 දෙසැම්බර් 16)” මෙවැනි පරපුරක් බිහිවුයේ කෙසේද” යන හිසින් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පිටුවකටත් වඩා දීර්ග විචාරයක් ගුණදාස අමරසේකර ලියා තිබුණි. සාහිත්‍ය තලයේ ඔහු වැනි දැවැන්තයකු මගේ ඉල්ලීමක් පවා නැතිව මගේ එම පොත ගැන එවැනි දිර්ග විචාරයක් ලිවීම මා තුල ලොකු සොම්නසක් ඇති කිරීමට හේතුවූ බව අමුතුවෙන් කිව යුතු නැත. මා රාවය සඟරාව ආරම්භ කිරීමට මුලික වැඩ කටයුතු කරමින් සිටි කාලයේදී බොරැල්ලේ ගුණදාස අමරසේකර වැඩ කරන ස්ථානයට ගොස් ඔහු හමුවී කිසියම් දීර්ග කථාබහක යෙදුණු බව මතකය.

රාවය සඟරාවේ දෙවැනි කලාපයේ (1986 සැප්තැම්බර්) අමරසේකරගේ සම්මුඛ සාකච්චාවක් “මීට වඩා අබුද්දස්ස යුගයක් තවත් නැහැ” යන හිසින් පළවූ අතර එම සම්මුඛ සාකච්ඡාව කර තිබුනේ චන්ද්‍රරත්න බණ්ඩාරය. එය පළවීමෙන් පසු ඒ.ටී. ආරියරත්නගේ කැඳවීමක් අනුව රෑ හතට පමණ මොරටුවේ දම්සක් මන්දීරයේ එතුමාගේ නිදන කාමරයද සහිත පුද්ගලීක කාර්‍යාල පරිශ්‍රයට යන්නට මට සිදුවිය. එම ස්ථානය මට නුපුරුදු තැනක් නොවීය. වෙනත් දිනවල මේ ස්ථානයට ගිය විට සාමාන්‍යයෙන් සිදුවූයේ මා සර්වෝදයට දිනාගැනීම සඳහා කෙරෙන සාකච්ඡා ය. කවර මට්ටමකින් වත් සර්වෝදය විමුක්ති දායක සමාජ ව්‍යාපාරයක් ලෙස මට පෙනුනේ නැති අතර මා තුළ පැවති එම හැඟීම මා සර්වෝදයේ නිර්මාතෘ වරයා සමඟද නොසඟවා ප්‍රකාශ කර තිබුණි. මාගේ ප්‍රතිචාර ඔහු ගේ කෝපයට හේතු නොවූ බවද කිව යුතුය. ඒ නිසා ඔහුට ඔහු ගේ අරමුණ ජයගැනීම සඳහා මා සමඟ තර්ක කරන තැනකට යන්නට සිදුවූ අතර ඒ නිසා මටද මගේ අස්ථානය වෙනුවෙන් ඔහු සමඟ තර්ක කරන්නට සිදුවිය. එහෙත් අචාර්‍ය ආරියරත්නගේ එදින කතාව ඊට මුලු මනින් වෙනස් එකක් විය. ඔහු ගුණදාස අමරසේකර ගැන ඉතාමත් රළු පරුෂ විවේචනයක නිරත වෙමින් තරුණ පරපුරේ මනස් දූෂ්‍ය කල මෙවැනි පුද්ගලයෙකුට රාවය සඟරාවෙන් ලොකු වැදගත් කමක් දීම තමන්ට අනුමත කල නොහැකි බව ද කීවේය. එම කලාපයේම සිරිමා බණ්ඩාරනායකගේද සම්මුඛ සකච්චාවක් පලවී තිබුන අතර ඇයට සම්මුඛ සාකච්ඡාවක් දීමද ඔහුගේ බලවත් විවේචනයට හේතු විය. ඔහු පැය භාගයකට වැඩි කාලයක් ඔහු ගේ විවේචනය කරන ලද අතර ඔහු ගේ මුහුණේ ද්වේශය හා ක්‍රෝධය උතුරා යන තත්වයක පැවතුනි. මට කතා කිරීමට අවස්ථාව ලැබුණු විට මගේ අදහස කෙටියෙන් හා ස්ථීර සාරව ප්‍රකාශ කලෙමි. මා ඔබතුමා දරන පටු අදහස්වලට අනුරූප ලෙස රාවය පවත් වාගෙන යාමට සූදානම් නැති බව ස්තීර ස්වරයකින් කියා සිටිමින් හෙට දිනම රාවය වසා එහි යතුරු ඔහු වෙත එවන බවද කියා මම නැවතුම් ගෙන සිටි රත්මලානේ විශ්ව ලේඛා ආයතනයේ මගේ කාමරයට ගියෙමි. එදින රාත්‍රියේම එකල සර්වෝදයේ බලවත් චරිතයක් වු හර්ෂ නවරත්න මගේ කාමරයට පැමිණ කලබල වී තින්දු නොගන්නා ලෙස ඉල්ලා සිටිමින් මගේ සිතැඟියාවන්ට අනුව සඟරාව පවත්වාගෙන යනවාට ආරියරත්න සර් විරුද්ධ නැති බව කියා සිටියේය.

ගුණදාස අමරසේකර ගේ මේ සම්මුඛ සාකච්ඡාව පළවී ටික කලකට පසුව විශේෂඥ දන්ත වෛද්‍ය වරයෙකු ලෙස සේවය කිරීම සඳහා ඔහු සෞදි අරාබියේ රෝහලක වැඩ කරන්නට ගියේය. එහි සිටියදී ඔහු මා ඇමතුවේ තැපෑලේන් එවන ලියුම් මගිනි. ඔහු එහි සිටියදී ලියා එවන ලද දිග ලියුම් තුනක් මතක සටහනක් ලෙස මා ලඟ තිබෙන්නේය. ඔහුට මා පෙනෙන හැටි සේම නලින් ද සිල්වා පෙනෙන හැටිද ඉන් එක ලියුමක සටහන් කර තිබේ. ඔහු සෞදි අරාබියේ සිටියදී විටින් විට ලංකාවට එන විට ඔහුගේ නාවල කොස්වත්ත නිවසේ ඔහු කැමති කිහිප දෙනෙකු කැඳවා සාකච්ඡා පවත්වන ක්‍රමයක් ද ක්‍රියාත්මක විය. නලින් ද සිල්වා, අජිත් සමරනායක, ගෙවිඳු කුමාරතුංග එම සාකච්ඡාවට බොහෝ විට සහභාගි වූ අය වුහ. දයාසේන ගුණසිංහ හා දොස්තර රංග වික්‍රමසිංහද එවැනි සමහර අවස්ථාවලට සහභාගි විය. මේ හැම සාකච්ඡාවකදීම පාහේ ගුණදාස අමරසේකර ඔහු ගෙනා විස්කි බෝතලකින් සාකච්චා කරුවන්ට සංග්‍රහ කලේය. ඔහු ගේ බිරිඳ චන්ද්‍රා අපට අවශ්‍ය කරන කටගැසුම් වැනි දේ හදා දුන්නේය. නලින් හා ගෙවිඳු මත් පැන් නොබොන අය වූහ. අමරසේකර, නලීන් හා මා අතර එක කරුණකදී කිසියම් ප්‍රමාණයක පොදු බවක් තිබුණි. ඒ ජාතිකත්වය ගැනය. එහෙත් ඒ ගැන අප තිදෙනා අතර තිබුනේ එක නිර්වචනයක් නොව නිර්වචන තුනකි. නලීන්ට අනුව ලංකාවේ ජාතිකත්වය සකස් වන්නේ සිංහල බෞද්ධ සාරයෙනි. මට අනුව එය සකස් වන්නේ ලංකාවේ ජීවත්වෙන සියළුම වාර්ගිකයින්ගේ හා ආගමීකයින්ගේ සාරයෙනි. ගුණදාස අමරසේකර මුලදී සිටියේ ඒ මත දෙක අතර එහාට මෙහාට පාවෙන තත්වයකය. ලංකා සමාජයේ ප්‍රධාන සංරචකය සැදී ඇත්තේ සිංහලයන් ගෙන් හා බෞද්ධයන් ගෙන් වන නිසා සිංහල බෞද්ධ නොවන අන් සියළු දෙනා සිංහල බෞද්ධයින්ට අනුකූල විය යුතුය කියන අදහසක්ද නලීන්ට තිබුණි. මේ සදහා ඔහු යොදා ගත්තේ ප්‍රධාන සංරචකය පිලිබඳ තර්කයයි. සමාජය වර්ගය හා ආගම අනුව වැඩි ගොඩවල් වලට බෙදා දැක්වීම යුක්ති සහගත නම් ඒ සදහා ඒ දෙකට අතිරේකව කුලය යොදා නොගන්නේ ඇයි දැයි මා නලීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. ඒ ප්‍රශ්නයේ යටි පෙළ වහා තේරුම් ගත් ගුණදාස අමරසේකර හඬනඟා සිනාසුනා මට මතකය. මගේ තර්කය වුයේ වැදගත් වන්නේ වැඩි ගොඩ නම් වර්ගයට හා ආගමට සීමා නොවී කුල ය අනුව ද එම ගොඩ ගැසීම කල යුතු බවය. එවිට නියම සිංහලයා හැදෙන්නේ සිංහල බෞද්ධ හා ගොවිගම යන සාධක තුනම එකට එකතු වීමෙනි. මා එසේ කීවේ ඒ විදියට සිංහල ජාතිය වර්ග කලහොත් නලින් ද සිල්වා එම කුලකයට ඇතුලත් නොවන බව පෙන්වා දීම සඳහාය.

අපි පුද්ගලයින් කිහිප දෙනෙකුට සීමාවු එවැනි සාකච්චා වලදී කෝපයට හේතු විය යුතු ප්‍රශ්න කිරීම් වලදී පවා නලීන් බලවත් ලෙස කෝපයට පත්වූ අවස්ථා මා දැක නැති බවද කිව යතුය. තමා ඉටු කරමින් සිටින කාර්‍යභාරය ගැන ගුණදාස අමරසේකරගෙන් පවා තමන්ට නිසි ඇගයීමක් ලැබුණේ නැතැයි කියන හැඟීමක් ඒ කාලයේදී ද නලීන් තුළ තිබුණේය. එය මැරෙන තෙක්ම ඔහු තුළ පැවති හැගීමක් බව මට තේරුම් ගියේ නලීන් ඔහුගේ මරණයට පෙර ලියා තිබෙන අවසන් ලිපිය කියවන අවස්ථාවේදීය. මා ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී ලංකාව මුහුණදී තිබූ අර්බුදය විග්‍රහ කරන පොතක් “අර්බුදයේ ගමන් මග” (1988) නමින් ලියා පළ කලෙමි. එය ලොකු පාඨක හා විචාරක ප්‍රතිචාරයක් ලැබුණු පොතක් විය. ගුණදාස අමරසේකර ද මේ පොත ගැන සඟරා පිටු දෙකහාමරක් තරම් දිර්ග විචාරයක් නලින් ද සිල්වාගේ සංස්කාරත්වයෙන් පළවු කාලය සඟරාවට (1988 අගෝස්තු) ලීවේය. එහි මෙසේද සඳහන් විය. “පසුගිය දශක කිහිපය තුළ මෙරට දියත් කරන ලද සමාජ ආර්ථික ප්‍රවනතා විවේචනයට ලක්කරන සිංහලෙන් ඉංග්‍රීසියෙන් ලියා ඇති නිබන්ධන සියල්ලම පාහේ මා විසින් කියවා ඇත. වික්ටර් අයිවන්ගේ මේ කුඩා විචාර ග්‍රන්ථය – “අර්බුදයේ ගමන් මග” ඒ සියල්ල අභිබවා සිටින විශ්ලේෂනයක් බව මගේ අවංක හැඟීමය.” මගේ එම පොත ගැන ගුණදාස අමරසේකර ලියන ලද එම විචාරය පවා නලින් ද සිල්වා ගේ සතුටට හේතු නොවු බව කාගෙන් හෝ මට ඒ කාලයේදී ම අසන්නට ලැබී තිබුණි. මගේ පොත ගැන ලොකු ප්‍රශංසාවක් සමග දීර්ග විචාරයක් ලිව් අමරසේකර තමන්ගේ පොත් සම්බන්ධයෙන් එසේ නොකලේ ඇයි කියන ප්‍රශ්නය ඔහුට තිබුණා විය යුතුය.

මේ දෙදෙනාම නාම ධාරීන් වුවද ඒ වන විට පාලන තලයේ දේශපාලන නායකයින් සමඟ ඔවුන්ට සම්බන්ධයක් නොතිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව හා විරුද්ධ පක්ෂයේ නායිකාව වූ සිරිමා බණ්ඩාරණායක හමුවීමට මේ දෙදෙනාට අවශ්‍ය වී ඒ සදහා අවස්ථාවක් සූදානම් කර දෙන ලෙස ඔවුන් දෙදෙනා මගෙන් ඉල්ලා සිටියහ. මා ඒ ගැන බණ්ඩාරණායක මැතිණිය හමුවී සාකච්චා කල විට ඇයද එවැනි හමුවකට ලොකු කැමැත්තෙන් පෙන්වමින් ඔවුන් දෙදෙනා හමුවීමට දිනයක් හා වේලාවක්ද ලබාදුන්නේය. ඒ ගමනට මා ද සහභාගි විය යුතු බව ඒ දෙදෙනාගේම ඉල්ලීම වූ නිසා මම ද ඔවුන් දෙදෙනා සමග එහි ගියෙමි. බණ්ඩාරනායක මැතිණිය ඒ දෙදෙනාව මහත් උනන්දුවෙන් පිළිගෙන ඔවුන් සමහ පැයක් තරම් වන දීර්ග කථා බහක යෙදුනේය. මා ඔවුන් දෙදෙනාට කථා කරන්නට ඉඩදී ඔවුන් ගේ සංවාදය නරඹන්නෙකු ලෙස ක්‍රියා කළෙමි. ඒ හමුව ඔවුන් දෙදෙනාට ආස්වාදජනක හමුවක් වු බව පෙනෙන්නට තිබූ අතර ආපසු එන විට මම ඔවුන්ට ඒ ගැන විහිළු කල බවද මට මතකය.

චන්ද්‍රිකා කරලියට ඒමත් සමග ඒ දෙදෙනා උග්‍ර දෙමළ විරෝධි ස්ථානයකට මාරුවූ අතර ඒ සමග අප අතර තිබුන සම්බන්ධයේද බිඳ වැටීමක් ඇතිවිය. ඒ සමඟ ඔවුන් දෙදෙනාම විවේචනය කරන තැනකට යන්නට මට සිදුවිය. නලින් සමඟ නම් ප්‍රසිද්ධ වාද විවාදවල පැටලෙන්නටද සිදුවිය. මේ දෙදෙනාම ලොකු ධාරිතාවක් තිබුණු වර්ණවත් පුද්ගලයින් දෙදෙනෙකු ලෙස සැළකිය හැකිය. ඔවුන් දෙදෙනාටම ආවෙණික දුර්වල තාවය වුයේ ලංකාවේ සිංහල බෞද්ධ ජනයාට ගැලවීම උදාකරගත හැකි හරි මාර්ගය පෙන්වාදීමට ඔවුන් දෙදෙනාම අසමත් වීමය. ලංකාවේ සිංහල බෞද්ධ ජනයාගේ දියුණුව රඳා පවතින්නේ වර්ගවාදි ආගම් වාදි කට්ටිවාදි ක්‍රියා මාර්ගයක් තුළ නොව රටේ සියළු වර්ග හා ආගම්වල ජනයාට සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙන අතර දීර්ග කාලීන සමගියක් හා සහජීවනයකයක් ඇති කරගැනීමට හේතුවන ආකාරයට ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමෙනි. නලින්ද සිල්වා හා ගුණදාස අමරසේකර පෙන්වා දෙන ලද වර්ගවාදි හා කට්ටිවාදි මාර්ගය විනාශකාරි වූයේ සුළු වර්ග හා සුළු ආගම් වලට පමණක් නොවේ; එය සිංහල බෞද්ධයන් කෙරෙහිද ඉතාමත් විනාශ කාරි ලෙස බල පෑවේය. ඔවුන්ට දියුණු වීමට තිබෙන මාර්ග අහුරා ඔවුන් එක තැන පල්වෙන තැනක තැබීමට හේතු විය. දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ සිංහල හා දෙමළ සමාජයේ පවතින කුල භේදය අහෝසි කොට සියළු වර්ගවලට හා ආගම් වලට අයත් ජනයා සමගි කිරීම වෙනුවෙන් හා ලාංකේය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටින දෘෂ්ටිවාදි නායකයන්‍ ය.

වික්ටර් අයිවන් මහතාගේ මුහුණු පොතෙනි,

Social Sharing
අවකාශය නවතම විශේෂාංග