ජාතික එකමුතුකමක් නැති එක රටේ සම්ප්‍රදායක් වෙලා – ආචාර්ය ජෙහාන් පෙරේරා

ආචාර්ය ජෙහාන් පෙරේරා මේ බව පැවසුවේ පසුගිය 22 වෙනි දින කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී පැවැති සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ පුහුණු වැඩමුළුවකට සහභාගි වෙමිනි. ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.

අපි හැමෝම මෙතනට එකතුවෙලා ඉන්නේ එක අරමුණක් වෙනුවෙනි. ඒ සංක්‍රාන්ති යුක්තිය ගැන වැඩ කරන්න. මේ කාලයේ අපේ රටේ බොහෝ පිරිසක් කල්පනා කරන්නේ අපි කොහොමද මේ ආර්ථික ප්‍රශ්නව වලින් ගොඩ එන්නේ කියලයි. ඒවගේම මේ දවස්වල තවත් පිරිසක් කල්පනා කරනවා මේ වසරේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ගැන. කුමන මැතිවරණයක් එයි ද කියලා උනන්දුවක් තියෙනවා.

නමුත් අප විසින් අවබෝධ කරගත යුතු යථාර්ථයක් තියෙනවා අප සමාජයේ.

1948 වසරේ දී අප නිදහස ලබන අවස්ථාවේ දී රටේ සියළු ජනකාටස් එම නිදහසට එක්සත්ව කටයුතු කළා. නමුත් 1948 නිදහස් ලංකාවේ පළමු රජය මුලින්ම කළ දෙයක් වන්නේ අවුරුදු සියයකට වඩා ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට දායක වූ වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය අහෝසි කිරීමයි. මුළු රටම නිදහස භුක්ති විඳිද්දී වතුකරයේ දෙමළ ජනතාවට පුරවැසිභාවය අහිමිවුනා. ඒ තත්ත්වය රටේ අනෙක් ජනතාවට ගැටළුවක් වුනේ නෑ.

ලංකාවේ සමාජයේ මේ තත්ත්වය දිගටම දැකීමට පුළුවන්.

ජාතික සාම මණ්ඩලය “සත්‍ය සෙවීමේ කොමිසම” ගැන අවධානය යොමු කරන්නේ අතීතයේ සිදුවුනු සිදුවීම් ගැන යම් පසුවිපරමක් කරමින් ජනතාවට සහනයක් සැලසීම සඳහායි. උතුරේ, නැගෙනහිර සිදුවන වෙන දේ ගැන අනෙක් ප්‍රදේශ වල ජනතාවට තිබෙන අවබෝධය අඩුයි. මේ දවස්වල දෙමළ පුවත්පත් වල සිරස්තල වෙන්නේ උතුරේ ආගමික සිද්ධස්ථානයන්ට ගිය හින්දු බැතිමතුන් 11 දෙනෙක් අත්අඩංගුවට ගැනීම ගැනයි. චෝදනාව වෙන්නේ පුරාවිද්‍යා ස්ථානයක් හ‍ඳුනාගත් ස්ථානයක පූජාවන් පැවැත්වීම. දකුණේ ජනතාව ඒ ගැන දන්නෙත් නෑ. නමුත් උතුරට ඒක ලොකු ප්‍රශ්නයක්. උතුරේ මිලියන දෙකක් දෙමළ ජනතාව වාසය කරනවා. අත්අඩංගුවට ගත්තේ 11 දෙනයි කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් මතුවන ගැටළුව වන්නේ තමන්ගේ ආගම නිදහසේ ඇඳහීමට නිදහස් නොමැති බවට හැඟීමක් උතුරේ දෙමළ ජනතාවට ඇතිවීමයි. ඒ වගේම එම ප්‍රදේශ වලත් විවිධ අදහස් කරන කණ්ඩායම්, බලවේග ද ඉන්නවා.

නැගෙනහිර පලාතේ ජනතාව සාම්ප්‍රදායික භාවිතා කරන ලද ඉඩම්, ගවයින්ට ආහාර ලෙස භාවිතා කරන ලද ඉඩම් පිටතින් ජනතාවට පරිහරණය කිරීම සඳහා ලබාදී තිබෙනවා. අලුත පැමිණ කණ්ඩායම් අයිතිකරුවන් ඉවත් කිරීමට උත්සාහ කරන අතර, ගවයින් මරා දමනවා. මේ ප්‍රශ්න ගැන අපේ අවධානය එතරම් යොමු වන්නේ නෑ.

අතීතයේ සිදුවනු දේවල් ගැන අපි එතරම් හිතන්නේ නෑ. අපි වෙන වෙනම හිතනවා. මෙම සාංක්‍රාන්ති යුක්තිය ගැන ව්‍යාපෘතිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අතීතයට යාම වැදගත් ඇයි කියලා. බරපතල දෙයක් සමාජයේ සිදුවුනාට පසුව ඒ තත්ත්වයෙන් මිදීමෙන් පසුව අතීතය ගැන හිතන්නේ නෑ. ඒ තත්ත්වයන්ට ස්වභාවිකවම පිළිතුරු ලැබේ යයි සිතනවා. එලෙස සිතීම දැන් අපගේ සම්ප්‍රදායක් වෙලා. මේ ව්‍යාපෘතියේ අරමුණ රටේ ප්‍රශ්න දෙස වෙනස් විදියකට බැලීමට උත්සාහ කිරීමයි.

 

අපේ රටේ විවිධ ජාතීන්, විවිධ ආගම් අදහන ජනතාවක් ජීවත් වෙනවා. මේ සියළුම දෙනා විවිධ දෘෂ්ඨිකෝණ වලින් තමයි යථාර්ථය දකින්නේ. එකට දකින්නේ නෑ. වෙනස් විධිවලින් තමයි බලන්නේ. වෙන වෙන දෘෂ්ඨිකෝණ වලින් බලනකොට එක තැනට ඒමටත් එක්සත්භාවයක් ඇති කිරීමටත් හැකියාවක් නැහැ.

Social Sharing
නවතම පුවත්