රටෙන් සොරකම් කළ මුදල් ආපසු ගෙනෙන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

අල්ලස් හෝ දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කොට පිටරට හෝ මෙරට හෝ සඟවා ඇති මුදල් සොයා නැවත ලබා ගැනීම සඳහා සකස් කළ නව නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.

අල්ලස් හෝ දුෂණ වැනි ඕනෑ ම අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන මෙම නව නීති කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කැබිනට් මණ්ඩලයට පසුගිය දා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

කැබිනට ඇමතිවරුන්ගේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කොට ඇති එම පනත ඉදිරි කැබිනට් රැස්වීමක දී අනුමත කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සොරකම් කළ දේපළ සොයා ගැනීමට සහ ඒවා පවරා ගනීමට වත්මන් නීතියේ නොතිබූ ප්‍රතිපාදන හඳුන්වාදීම නව පනතේ අරමුණ වී තිබේ.

පනත සමග කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති වාර්තාවේ මෙයින් ආමන්ත්‍රණය කෙරෙන ප්‍රධාන කරුණු පිළිබඳ සංක්ෂිප්ත සාරාංශයක්, යෝජිත නීති සැලැස්මක් සහ නීත කෙටුම්පත යනාදිය අඩංගු වේ.

මෙම සමස්ත ලේඛනයම තැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තහවුරු කොට තිබේ.

The Proceed of Crime Act (POCA) (අපරාධ වලින් හිමි කරන්නා දේපළ පිළිබඳ පනත) ලෙස හඳුන්වා ඇති මෙම නීතිය මගින් අපරාධ වැළැක්වීම, දේපළ සුරක්ෂිතව තබාගැනීම, නීති විරෝධී දේපළ අහිමි කිරීම හා අපරාධ වලින් ලබාගත් දේපළ රාජසන්තක කිරීම ආදිය උදෙසා ප්‍රතිපාදන ඇතුලත් වෙයි.

මෙතෙක් පැවති නීති ප්‍රතිපාදන අනුව පුද්ගලයකු නීතිමය වශයෙන් වරදකරු නොකර අයතා ලෙස ඉපයූ මුදල් පවරා ගත නොහැකි ය.

නව පනතින් යම් පුද්ගලයකු වරදකරු කිරීමෙන් අනතුරුව හෝ ඔහු වරදකරු කිරීමකින් තොරව හෝ අපරාධයකින් හිමි කරගත් දේපළ රාජසන්තක කිරීම උදෙසා ද ප්‍රතිපාදන සපයා ඇත.

මෙසේ අපරාධකරුට අහිමි කරන දේපළ ආරක්ෂා කිරීම, කළමනාකරණය හා සුරක්ෂිත කරණය සම්බන්ධව කටයුතු කිරීමට අපරාධ දේපළ කළමනා කරණය කිරීමේ අධිකාරිය නම් නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර තිබේ.

මෙම නව නීතියෙන් අපරාධයට ගොදුරු වූවන්ට සිදු වූ හානි ප්‍රතිපූර්ණය කිරීමේ ප්‍රතිපාදන ද යෝජනා කර තිබේ.

විදේශයන් හි සැඟ වූ දේපළ සොයා ගැනීමට සහ ඒ සඳහා ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ද නව පනත මගින් සපයා ඇති බව කියති.

පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

උපුටා ගැනීම – යුක්තිය

Social Sharing
නවතම පුවත්