යාපනයේ පවුල් 1500 ක් යුද්ධයෙන් පසු තවමත් අවතැන්…

පසුගිය අප්‍රේල් 18 වන දා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා ඇත්තේ එහි සම සභාපතිවරුන් වන උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් සහ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීමේ දි උතුරේ දියත් කළ යුද්ධය අවසන්ව වසර පහළොවකට පසුවත්, යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පවුල් එක්දහස් පන්සීයකට වැඩි පිරිසක් උන්හිටි තැන් අහිමිව සිටින බව හෙළි වී තිබේ. ඒ අතරින් පවුල් 10 ක් තවමත් සුබසාධන මධ්‍යස්ථාන තුළ දිවි ගෙවන බව සඳහන් වී ඇත.

එම රැස්වීමට එක්ව සිටි යාපනය, වැඩ බලන දිස්ත්‍රික් ලේකම් මර්දලිංගම් ප්‍රදීපන් ආණ්ඩුකාරවරියට දැනුම් දී ඇත්තේ යාපනයේ දිස්ත්‍රික්කයේ  අවතැන්ව සිටින පුද්ගලයන් 4567 දෙනෙකු වෙනුවන් තවමත් කිසිදු දෙයක් රජය විසින්  සිදු කර නොමැති බවයි.

“පවුල් 1512කට අයත් පුද්ගලයන් 4567ක් ඉන්නවා. ඉන් පවුල් 10ක් සුබසාධන මධ්‍යස්ථාන වලත්, පවුල් 1502ක් නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වලත් රැඳී ඉන්නවා. එයාලට මුකුත් කරලා නැහැ. ඔවුන් නැවත පදිංචි කළ යුතුයි.”

නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වසර තුළදී අවසන් කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව එම කටයුතු අවසන් කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ආණ්ඩුකාරතුමිය දන්වා තිබේ.

මෙතෙක්, නැවත පදිංචි කර නොමැති පුද්ගලයන් යළි පදිංචි කරවීමට අවශ්‍ය වැඩ පිළිවෙලක් මෙන්ම මේ වන විට නැවත පදිංචි කර සිටින ජනතාවගේ නිවෙස්වලට අවශ්‍ය විදුලිය ලබාදීම ඇතුළු අනෙකුත් පහසුකම් කවරේද යන්න සම්බන්ධයෙන් සොයා බලා ඒවා ලබාදීමට ද වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ආණ්ඩුකාරවරිය වැඩ බලන දිස්ත්‍රික් ලේකම්ට එහිදි උපදෙස් ලබා දුන් බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට දැනුම් දුන් ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් පවසා ඇත්තේ රජය ක්‍රියාත්මක කරන සින්නක්කර ඉඩම් හිමිකම් ලබාදීමේ උරුමය වැඩසටහන කඩිනම් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. මැයි මාසය අවසන් වන විට උතුරු පළාතේ 60,000කට ඉඩම් හිමියන් වෙත උරුමය ඔප්පු ලබාදීමට නියමිත බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ නළ ළිං ඉදිකිරීම වහා නතර කරන ලෙස දන්වා ඇති බවත් එහි දී ආණ්ඩුකාරවරිය සදහන් කළ බව  උතුරු පළාත් සභාවේ නිල වෙබ් අඩවිය පවසයි.

නිසි භූගත ජල සමීක්ෂණයකින් තොරව ඇතැම් පෞද්ගලික ආයතන නළ ළිං හාරන බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී චෝදනාවක් එල්ල වු අතර ඒ සම්බන්ධයෙන් අදාළ රජයේ දෙපාර්තමේන්තු වෙත උපදෙස් ලබා දුන් ආණ්ඩුකාරවරිය නීති කඩ කරන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් බවත් උතුරු පළාත් සභාව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

Social Sharing
අවකාශය නවතම පුවත්