නිදහස් පක්ෂ ප්‍රධානීන්ට වාරණ නියෝග 3ක් – හිටපු සභාපති මෛත්‍රීටත් තවත් අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය.

එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කරනු ලැබීය.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝග නිකුත් කළේය.

මෙම වාරණ නියෝග මැයි මස 08 දක්වා බලපැවැත්වෙන බවත් නියෝගවල සඳහන් වෙයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් දා වාරණ නියෝගයක් නිකුත් කළ බව පැවසීය.

ඉන් අනතුරුව පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කළ බවත් ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකාර දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් පක්ෂයේ විධායක සභාව නමැති රැස්වීමක් ඉකුත් 21 වනදා කැඳවා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත්කර ගැනීමට කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩබලන සභාපති පත්කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි විධායක සභා රැස්වීමක් කැඳවීමට වැඩබලන මහලේකම්වරයාට බලයක් නොමැති බවත් සඳහන් කළේය.

වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කළ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන බවත් ඔහු  මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කර ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා විජයදාස රාජපක්ෂ මහතා මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරන අයෙකු බැවින් ඔහුට නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් සඳහන් කර සිටියේය.

විජයදාස රාජපක්ෂ මහතා මාසයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව සඳහන් කර තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයකුගේ පක්ෂ සාමාජිකත්වය ස්ථිර වන්නේ එය ලබාගත් දින සිට මාස 06ක් ගතවීමෙන් පසුව බවත් ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයක් නොමැති බව පෙනී යන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අනතුරුව ඉහත නියෝග නිකුත් කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ දින (24) තවත් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Social Sharing
නවතම පුවත්