වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? මහාචාර්ය රොහාන් සමරජීව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී. එස්. වෛද්‍ය උපාධියයි.  (පළමු ස්ථානයට පත් වන්නේ දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාවයි) කිනම් කොන්දේසි යටතේ කාට වෛද්‍යවරයකු වන්නට හැකිවේද යන කාරණය සම්බන්ධයෙන් ඇතිවූ සංග්‍රාම 1980 සිට මේ දක්වා විසඳුමකින් තොරව පවතී.

විවිධ අවස්ථාවලදී එම ගැටලුව විසඳීමට පියවර ගත් විට ඒවාට විශේෂිත අභියෝග එල්ල වූයෙන් ඒ ඒ වෙලාවට තාවකාලික විසඳුම් දෙන්නට සිදුවිය. වඩාත් මෑතකදී ලබා දුන් ඒ හා සමාන විසඳුමක් වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉල්ලා සිටින මට්ටමේ ප්‍රතිඵල ලබාගත් සිසුනට ඇතුළත්වීම සඳහා අවසර දීමට ගත් කැබිනට් තීරණයයි.

මතුපිටින් බැලූ විට පෙනී යන්නේ මෙය වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨවීම් ලිබරල්කරණය කිරීමක් ලෙසයි. එහෙත් එය ඊට වඩා ඔබ්බට ගිය කාරණයකි. එය රාජ්‍ය හිමිකාරිත්වය ඇති  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙනුවෙන් බැංකුවලට දී ඇති දැවැන්ත ණය ඇපකරවලින් භාණ්ඩාගාරය මුවා කර ගැනීමට සියල්ල පරදුවට තබාගත් අවදානම් සහගත පියවරකි. එසේ වනුයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එම ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැති බව පෙනී යන බැවිනි.

ජාතික ව්‍යාපාර කළමනාකාරිත්වය විද්‍යායතනයේ (NSBM) තවත් වෛද්‍ය පීඨයක් ඉදිකිරීමට ගන්නා තීරණය නිසා ද මීළඟ වසර කීපය තුළ දී ඒ හා සමාන ගැටලුවක් මතුවනු ඇත. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මුහුණ දී ඇති ගැටලුව අවබෝධ කර ගැනීමෙන් එවැනි ගැටලුවක් නැවත ඇතිවීම වළක්වාගත හැකිය.

ශික්ෂණ රෝහල ඉදිකිරීම සඳහා රාජ්‍ය හිමිකාරිත්වය ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් භාණ්ඩාගාරයෙන් ඇප වූ රුපියල් බිලියන 35.5ක අගයෙන් යුතු ණය 2ක් පිළිබඳව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නවතම වාර්ෂික ගිණුම් වාර්තාවේ සඳහන් වේ. මූලික ණය මුදල ආපසු ගෙවීමේ කාලය 2023 සැප්තැම්බර් සිට 2031 සැප්තැම්බර් දක්වා මාස 96කි. වසර කිහිපයකට පෙර ලංකා බැංකුවෙන් ලබාගත් භාණ්ඩාගාරය ඇප වූ ණය දෙකක් මේ වන විටත් කොතලාවල විශ්වවිද්‍යාලය ගෙවමින් සිටී. ඉන් එකක් රුපියල් මිලියන 85ක අගයකින් යුක්ත වන අතර අනෙක රුපියල් මිලියන  750ක  ණයකි.  පොලී ගෙවීම් භාණ්ඩාගාරයෙන්ම නොකඩවා කරන්නේ යයි සිතන්නේ නම් කොතලාවල විශ්වවිද්‍යාලය, රෝහල සඳහා ගත් ණය උදෙසා මසකට රුපියල් මිලියන 369.4 බැගින් ගෙවිය යුතුය. මෙම මුදල ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදනවලින් විදේශ සිසුන්ගේ ගාස්තුවලින් සහ රෝහලේ ආදායම්වලින් පමණක් ගෙවිය හැකි සෙයක් නොපෙනේ.

මෙයින් අදහස් වන්නේ 2020 ජූලි සිට 2033 සැප්තැම්බර් දක්වා භාණ්ඩාගාරය සිය ඇපවීම වෙනුවෙන් වගකීම දැරිය යුතු බවකි. එසේ නොවුවහොත් එම බර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පතුකරුවන්ට උසුලන්නට සිදුවේ. දේශීය සිසුන්ගෙන් ගාස්තු අය කර ගැනීමට අවසර දීමේ තීරණය භාණ්ඩාගාරයේ අවදානමත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව දරන අවදානමක් අඩු කිරීමේ උත්සාහයකි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගෙවීමට බැඳී ඇති ණය පියවා  දැමීමට එම මුදල ප්‍රමාණවත් නොවේ. මේ වනවිට ණය මුදලේ පොලිය ගෙවන භාණ්ඩාගාරය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව (තැන්පත්කරුවන්) වෙත ඇති අහිතකර  බලපෑම මෙයින් යම් සතුටුදායක මට්ටමක හැරෙන නමුදු එම බලපෑම ඒ නිසා ඉවත් නොවේ.

දැන් ගිය දේ ගියාවයි. දැන් කළ යුත්තේ නැවත ගෙවිය  හැකි යයි නොපෙනෙන අධ්‍යාපන විද්‍යායතන  සඳහා ගන්නා ණය උදෙසා භාණ්ඩාගාරය සිදු කරන ඇපවීම් නවතා දැමීමය. එයින් අදහස් වනුයේ ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයට භාණ්ඩාගාරයෙන් ඇප වන ණය තවදුරටත් නොලැබෙන බවයි.

මේ වන විට ලංකා බැංකුවෙන් ලබාගත් භාණ්ඩාගාරය ඇප වූ රුපියල් බිලියන 6.7ක ණය ශේෂයක් එම විද්‍යායතනය ගෙවමින් සිටී. එය 2026 වනවිට සම්පූර්ණයෙන් ගෙවා නිම කළ යුත්තකි.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙත ලබා දුන් රු. බිලියන 2.5 ණය මේ හා සැසඳූ විට කුඩා ණයකි. එම ශික්ෂණ රෝහලේ ඉගැන්වීමට කිසිදු අයකු නොවීම නිසා එහි වර්තමාන හිමිකරුවන ලංකා බැංකුව කනස්සල්ලට පත්ව සිටී.

 

කෙටිකාලීන විසඳුම

දැරිය හැකි මිලකට වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා බලගතු මධ්‍යම පන්තියෙන් ඉහළ ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වනවිට වෛද්‍ය/සෞඛ්‍ය විද්‍යා පීඨ 12ක් පිළිගැනීමට ලක් කොට තිබෙන අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉන් එකකි. එය මේ දක්වා දේශීය සිසුනට විවෘතව තැබීම හෝ සන්නද්ධ හමුදාවන්ට ඇතුළත් කර ගැනීම සිදු නොවීය. සයිටම් (SAITM) වෙතින් ඉදිරිපත් වූ ඉල්ලුම් පත්‍ර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන්  ප්‍රතික්ෂේප  වූයේ ඊට ශික්ෂණ රෝහලක් නොතිබුණු නිසාය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ඒ නිසාම භාණ්ඩාගාරය විසින් නැවත ගෙවනු ඇතැයි යන විශ්වාසය පිට රුපියල් බිලියන 35ක දැවැන්ත ණයක් ලබා ඉස්තරම් තත්වයේ ශික්ෂණ රෝහලක් ඉදිකළ බව පෙනී යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ඉල්ලා සිටින මූල්‍ය ශික්ෂණය ඔස්සේ එම සැලසුමට බාධා එල්ලවී ඇත. වර්තමාන වාතාවරණය යටතේ ශ්‍රී ලංකාවේ  හෝ වෙනත් රටක සිසුන්ගෙන් ගාස්තු අය කිරීමට එරෙහිවීම අතාර්කිකය. අතීතයේ ගත් වැරැදි තීරණ දැන් නිවැරදි කර ගත නොහැකිය. දැන් කළ හැක්කේ ඇති විය හැකි හානිය අවම කර ගැනීම පමණකි.

එම අතීත තීරණවල ප්‍රතිඵලයක් ලෙස සිදුවන අලාභවලින් බදු ගෙවන්නන්  සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත්කරුවන් හැකිතාක් දුරට මුදාගත යුතුවේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යම් ආකාරයක ණය ගෙවිය හැකි තත්වයකට පත්කොට එහි කළමනාකාරිත්වයට ආදායම් උපයන්නට ඉඩහැර වියදම් කපා හරින්නට අවස්ථාව දී බදු ගෙවන්නන් පිට පැවරී ඇති බර අඩු කිරීම වඩාත් නුවණට හුරුවේ.

වේගයෙන් වැඩිවන ශ්‍රී ලාංකීය වයස්ගත ජනතාව සුව කිරීම උදෙසා වෛද්‍යවරුනට ස්ථිරසාර පුහුණුවක් ලබාදීමේ ගැටලුවට පිළියම් ලබාදීම මදකට නවතා මහජන මුදල් වැයකොට අලුත් වෛද්‍ය පීඨ ඉදිකිරීම නවතා දැමිය යුතුය. මහජන මුදල් ඇද නොගන්නා විදේශ ආයෝජන ඇතැම් අලුතෙන් ආරම්භ කරන කිසිදු වැඩසටහනක් ඒ නිසා වැළකෙන්නේ නැත.

 

ස්ථිර සාර විසඳුම

2023  දී අධ්‍යාපනය උදෙසා වැය කළ ප්‍රාග්ධන මුදල්වලින් සියයට 53 වියදම් කරන ලද්දේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලටය. භාණ්ඩාගාරයෙන් ඇප වන ලදුව මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය උදෙසා අලුත් මණ්ඩපයක ගොඩනැගිලි ඉදිකිරීමට දෙනු ලැබූ බැංකු ණය සහ ජාතික කළමනාකාරිත්වය විද්‍යාතනයටත් (NSBM) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයටත් (KDU) දෙනු ලැබූ  ණය මෙම ගණනයට එක් කොට නැත. මේ මුදල් සියල්ල විශ්වවිද්‍යාල ගොඩනැගිලි  උදෙසා වැය කිරීම. පාසල් අධ්‍යාපනයේ සහ වෙනත් සෑම අංශයකින්ම සම්පත් ඉවත ගැනීමකි. තෘතීය අධ්‍යයන අවස්ථා පුළුල් කළ යුතු, නමුත් මෙතරම් පිරිවැයක් දරා එය කළ යුතු නොවේ.

තෘතීය අධ්‍යාපනය උදෙසා රාජ්‍ය ආයෝජන සීමා කිරීමට වෙනත් විකල්ප නොමැත. තවදුරටත් රාජ්‍ය නොවන සම්පත්, රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ලෙසින් ඉවහල් කරගත නොහැකිය. මේ අවස්ථාවේ රට අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා මූල්‍ය ශික්ෂණය ඉතා වැදගත්ය.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය වනුයේ විමධ්‍යගතවූ දිරිගැන්වීම පදනම් කරගත් විසඳුමකි. ඒ ඔස්සේ බදු ගෙවන්නන්ගේ මුදල් වඩාත් විශ්වාසදායී, ශක්තිමත් පදනමකින් වඩාත් සාධාරණ ලෙස භාවිතාවේ යෙදවිය හැකිවේ.

 

බොහෝ රටවල වෛද්‍ය අධ්‍යාපනය සම්පාදනය කරන්නන්ගේ ස්වාධීන ආයතනයකින් වෛද්‍යවරු සුදුසුකම් ලබති. ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාදාමය ඉටු කරනුයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන  ඒකකයෙනි (AU-SLMC)  Accreditation Unit – Sri Lanka Medical Council)  ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට බලය පැවරෙන මාර්ග දෙකම නියාමනය කෙරෙනුයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙනි.

පළමු මාර්ගය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් (MBBS) එම්.බී.බී.එස්. උපාධිය ලබා ගැනීමයි. මීට ඉසෙඩ් ලකුණු (Z-Score)  පදනම් කරගත් මධ්‍යගත ඇතුළත්වීමේ කොටසට අයත් නොවූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද ඇතුළත් වේ. බොහෝ රටවල කෙරෙන්නා සේ සියලු වෛද්‍ය පීඨවලට තම තමන්ගේ ඇතුළත් කර ගැනීමේ විධි කළමනාකරණය කිරීමේ නිදහස මෙහි නැත. අනුමත කරනු ලැබූ පීඨවලින් උපාධිය ලබන සිසුන්ට පළාත්බද ලියාපදිංචිය ලබාගෙන වසරක සීමාවාසික පුහුණු කාලය ඇරඹිය හැකිය.

දෙවැනි මාර්ගය ඇත්තේ විදේශ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා, ශ්‍රී ලංකා  වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකයෙන් පවත්වන ERPM විභාගයට පෙනී සිටින උපාධිධාරීන්ටය. මෙම විභාගය සමත් වන සිසුනට පළාත්බද ලියාපදිංචිය ලබාදී සීමාවාසික පුහුණුවකට අනුයුක්ත කෙරේ. නියම වශයෙන්ම පළමු මාර්ගය වඩා ආකර්ෂණීය වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකයට අදාළ වන්නේ සුදුසුකම් ලත් මහාචාර්යවරුන් පුහුණුව ලබා දෙන්නේද යන්න හා එම පුහුණුව ලබාදෙන ශික්ෂණ රෝහලේ ගුණාත්මක භාවයයි. මෙම අවශ්‍යතා සපුරා ගැනීම ඉහත කී ලෙස වඩාත් වියදම්කාරී වේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් සයිටම් (SAITM) වෛද්‍ය විද්‍යාලයත් ලබා ඇති දැවැන්ත ණය මුදලින් වෛද්‍ය උපාධිය සඳහා වැය වෙන අධික වියදම පෙනී යයි. එම වියදම දෙවැනි වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල එම උපාධිය සඳහා වැය කරන මුදලට පමණි.

මුදල් අයකර නොගන්නා රෝගීන් අතර ඇති රෝග පරාසය සීමාවීමත් මුදල් අය නොකරන රජයේ රෝහල්වලට ප්‍රවේශය ලබාගැනීමත් දැන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට ගැටලුවක් වී තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකයේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් ලෙස යථාර්ථවත් කිරීම පළමුවෙන්ම කළ යුතු වැදගත් කාර්යයකි. SAITM පළහිලව්වෙන් පෙනී ගියේ එම ප්‍රතිසංස්කරණ කිරීමකින් තොරව වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම උදෙසා රාජ්‍ය නොවන සම්පත් යොදවා ගැනීමට දරන උත්සාහය අසාර්ථක වන බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් වේවා, ඒ සඳහා බලය පැවරී ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් හෝ NSBM  වෙතින් වේවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීම  අතිශය වියදම්කාරී වේ . රාජ්‍ය සෞඛ්‍ය රැකවරණ පද්ධතිය තුළ සේවාවේ යෙදීමෙන් වෛද්‍ය අධ්‍යාපනය ලැබූවන්ගෙන් එම වැය අය කර ගත නොහැකි වාතාවරණයක් තුළ  සෘජුව හෝ වක්‍රව (වෛද්‍ය අධ්‍යාපනය සඳහා) ඒ සඳහා බදු මුදල් යෙදවීම හෝ පොලී ගෙවීම් ලෙස හෝ ඒ සඳහා ඇපවීම හෝ පල රහිත වන තරමට එය වියදම්කාරී කටයුත්තකි.

රාජ්‍ය මුදල් යොදවන වෛද්‍ය පීඨයත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, NSBM ආදි සියල්ලේ අධ්‍යාපනය ලැබූවන්ට  ඉහළ අධ්‍යාපනය ලබාදීම පිළිබඳ ගැටලුවට විසඳුමක් අවශ්‍ය වේ. ඇතැමුන්ට ශිෂ්‍යත්ව ලැබිය හැකි වන අතර ඒ ඔස්සේ රාජ්‍ය සෞඛ්‍ය රැකවරණ පද්ධතිය තුළ අනිවාර්ය සේවාවේ යෙදිය යුතු බවට එයින් වගකීමට බැඳීම් නිර්මාණය වේ. එය දුරස්ථ වන තරමට ආපසු ගෙවීම් වේගවත් වනු ඇත. යම් අවස්ථාවක පුහුණුව ලත් වෛද්‍යවරයාට රාජ්‍ය සේවාවෙන් නික්ම යන්නට හෝ රටෙන් නික්ම යන්නට අවශ්‍ය වුවහොත් ඔහු විසින් ගෙවිය යුතුව තිබෙන ඉතිරි මුදල් රජයට ගෙවා යා යුතුය. චැනල් කිරීමේ ඉඩ ප්‍රස්ථා වැඩි වශයෙන් ඇති ස්ථාන කරා ඔවුන්ට යන්නට අවශ්‍ය වූ විටද එම ක්‍රමයම ඉවහල් කරගත යුතුවේ. ශිෂ්‍යත්ව ලැබූවන්ට හෝ නොලැබූවන්ට භාවිතා කළ අනුපාතයට වගකීමෙන් බැඳීම පවත්වා ගතයුතු වේ.

ශිෂ්‍යත්ව හා උසස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරුන් යොමු කිරීමේදී වගකීමේ බන්ධනයෙන් තබා ගැනීමෙන් තොරව, විදේශ රටවල වෛද්‍යවරුන්  පුහුණු කිරීම උදෙසා බදු ගෙවන්නන්ගේ මුදල් යෙදවීම අර්ථ විරහිතය. එම වැය කිරීම ඒකාබද්ධ අරමුදලෙන් කළත් භාණ්ඩාගාර ඇපවීම් ඔස්සේ කළත්  එම මුදල් වෛද්‍ය අධ්‍යාපනය සඳහා නොයොදවන බවට වග බලාගත යුතුය. කොතලාවලට ආරක්ෂක විශ්වවිද්‍යාලයට රු. බිලියන 35 ලබාදීමේදී සිදු කළ ඇපවීමේ වගකීම භාණ්ඩාගාරය දරන්නේ නම් එවිට ගාස්තු නොගෙවන රෝහල්වලට සහ මාර්ග නඩත්තුවට අයවැය  ඔය්සේ වෙන් කරන මුදල් කපා හැරීමට ඊට සිදුවේ. එවැනි සම්පත් නාස්තියකින් රටට ලැබෙන්නේ කුමක්ද?

 

2024 අප්‍රේල් 17 වැනිදා Daily FT පුවත්පතේ පළවූ Broadening medical education: who’s paying and for what? ලිපියේ පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ

උපුටා ගැනීම – ලංකාදීප

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග