කෘත්‍රිම බුද්ධිය නිසා මොනවා වෙයිද? …!

ලෝකය වෙනස් වීම සහ විකාශණය වීම අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියකි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ සංකල්පයන් හා නිමැවූම් බිහිවීම සහ පැවති සංකල්ප සහ නිමැවුම් ක්‍රියාවලිය නතරවීම ද සිදුවේ. වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය වෙමින් පවතින කෘත්‍රිම බුද්ධිය ( Artificial Intelligence ) , රොබෝ තාක්ෂණය, බුද්ධිමය ස්වයංක්‍රීයකරණය ( Intelligence Automation) යන තාක්ෂණයන් තුළින් අනාගත ලෝකය කෙබඳු වේද යන්න පිළිබඳ කුතුහලයක් සමාජයට එක් වී තිබේ. කාර්මික විප්ලව තුනක් අවසානයේ හතරවන කාර්මික විප්ලවය ලෙස ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් තුළින් ඇතිවන වෙනස හැඳින්විය හැකිය. ඒ අනුව මේ වන විට හතරවන කාර්මික විප්ලවය පිළිබඳව ජනතාවට ඇත්තේ කුකුසකි. ඒ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස හැඳින්විය හැක්කේ මෙම කාර්මික විප්ලවය තුළින් බිහිවන තාක්ෂණය හේතුවෙන් මානව හැකියාවන් භාවිතයෙන් සේවා සපයනු ලබන බොහෝ කර්මාන්ත සහ රැකියා සඳහා මානව සම්පත් සඳහා විකල්ප වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට ඇති හැකියාවයි. නමුත් කෘත්‍රීම බුද්ධිය සම්බන්ධයෙන් තවමත් කුතුහලය මුසු විනෝදාත්මක අත්දැකීම් පමණක් විඳීමට පෙළඹ ඇතිවා විනා ඒ පිළිබඳව විධිමත් කතිකාවතක් ඇති වී නොමැති බව පෙනී යයි.

කෘත්‍රීම බුද්ධිය යනු

කෘත්‍රිම බුද්ධිය ලොවට ආගන්තුක සංකල්පයක් නොවේ. පරිගණක ලොවට හඳුන්වා දුන් මුල් අවධියේ සිට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහසක් පරිගණක විද්‍යාඥයින් සතුව තිබිණි.ජෝන් මැකාති හෙවත් කෘත්‍රිම බුද්ධියේ පියා දක්වන අර්ථකතනයට අනුව කෘත්‍රිම බුද්ධිය යනු “ බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලියකි” යනුවෙන් පවසන ලද්දේ 1950 වසරේදී. එයින් පසුව විද්‍යාඥ ඇලන් ටියුරින් විසින් 1950 වර්ෂයේ දී ටියුරින් පරික්ෂාව හඳුන්වා දෙන ලද අතර එමගින් යම්කිසි පරිගණක වැඩසටහනක බුද්ධිමත් භාවය මනිනු ලබනවා. කෙසේ වෙතත් වර්ථමානය වන විට විශ්ලේෂණාත්මක,කළමණාකරණ, සැලසුම්, සහ යම් යම් අරමුණු වෙනුවෙන් මෙම කෘත්‍රිම බුද්ධිය භාවිතා කරනු ලබයි. එමෙන්ම, සෞඛ්‍යාරක්ෂණය, මූල්‍ය කළමණාකරණය,අලෙවිකරණය සහ දැන්වීම්කරණය වැනි ක්ෂේත්‍රයන්ට පමණක් නොව නිෂ්පාදන ක්ෂේත්‍රය තුළත් මෙම කෘත්‍රිම බුද්ධිය භාවිතා වන බව දැකිය හැකියි. කෙසේ වෙතත් මේ වන විට කෘත්‍රිම බුද්ධිය යනු බොහෝ ක්ෂේත්‍ර ආක්‍රමණය කරඇති මිනිස් ශ්‍රමය මගින් සිදු කරන බොහෝමයක් වූ වැඩ සහ රාජකාරි ඉටු කරන වැඩ පහසු කරන ක්‍රම වේදයක් බවට පත්ව ඇත.

කෘත්‍රිම බුද්ධිය සහ ශ්‍රම වෙළඳපොළ අනාගතය

ඒ අනුව, මෙම කෘත්‍රිම බුද්ධියේ ආගමනයත් සමග ශ්‍රම වෙළඳපොළතුළ පැවැත්ම සහ මිනිස් ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම අඩු වීම හේතුවෙන් එය මිනිසාට කෙසේ බලපාන්නේ ද යන්න පිළිබඳව විමසා බැලිය යුතුය. මෙහිදී ගොඩනැගෙන කතිකාව වන්නේ නැගී එන තාක්ෂණික ක්‍රමවේද හරහා පවත්නා රැකියා අහිමිවීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගැනීමයි. තාක්ෂණික ශක්‍යතාව,පිරිවැය කාර්යක්ෂයතාවය,යටිතල පහසුකම්වල සුලභතාවය යන සාධක මත කම්කරුවාට යම් ක්ෂේත්‍රයක් ස්වයංක්‍රීයකරණය තුළින් ඇතිවිය හැකි බලපෑම පදනම් වේ. උදාහරණ ලෙස ,

· ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා යොමුවීම බෙහෙවින් අඩුවීමේ ප්‍රතිපලයක් ලෙස කෘෂිකර්මාන්තයට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගැනීම හේතුවෙන් ඉහළ වානිජ වටිනාකමක් හිමිවීමට සහ අඩු මිනිස් ශ්‍රමයක් තුළින් වැඩි ඉපැයීමක් සිදු කිරීමට හැකිවනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය වශයෙන් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන ‌කම්කරු ප්‍රජාව සඳහා බලපෑමක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනී. නමුත් ස්වයංක්‍රීය කරණය සිදුකළ නොහැකි කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් හි කම්කරු ශ්‍රමය හිඟවීම හේතුවෙන් ගැටළු උද්ගත වීමේ හැකියාවක් ද පවතී. උදාහරණ ලෙස තේ කර්මාන්තයේ තේ දළු කැඩීම සඳහා මිනිස් ශ්‍රමය අතිශය වැදගත් කාර්යය භාරයක් ඉටු කරයි.

· ඉදිකිරීම් අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉදිකිරීම් සඳහා ස්වයංක්‍රීය කරණය භාවිතා කිරීමේ හැකියාවක් පවතින අතර ඒ සඳහා වන ආයෝජන සඳහා විශාල මුදලක් වැයවීම වැනි කරුණු හේතුවෙන් ස්වයක්‍රීය ක්‍රමවේදයන් සඳහා යොමුවීම මන්දාගාමී වී තිබෙන බවක් දැකිය හැකිය.

· ප්‍රවාහන ක්ශේත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ඉතාමත් ඉක්මනින් ස්වයංක්‍රීයකරණය සිදු වන ක්ෂේත්‍රයක් වනු ඇති බවට නිගමනය කළ හැකිය. නමුත් ඒ හරහා සිදුවන රැකියා අහිමිවීමට සාපේක්ෂව ඉල්ලුමට සාපේක්ෂව සිදුවිය යුතු භාණ්ඩ ප්‍රවාහන හා ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම සඳහා ඉදිරි කාලය සඳහා නව රැකියා බිහිකිරීමට හැකි වනු ඇත. නමුත් අනාගතවාදීව බැලීම තුළින් පැහැදිලිවන කරුණ වන්නේ මෙම ක්ෂේත්‍රයන් තුළින් නිර්මාණය වන රැකියාවන් ප්‍රමාණය බෙහෙවින්ම අවම වන බවයි.

· පරිගණක සහ දත්ත කළමණාකරණය වැනි ක්ෂේත්‍රයන්ට අදාළ රැකියා අවස්ථා පුළුල් වනු ඇත්තේ කෘත්‍රිම බුද්ධිය අදාළ කාර්යයන් සිදු කිරීම සඳහා කෙතරම් කාර්යක්ෂමව ක්‍රියාකලද අත්‍යවශ්‍යම දෙයක් වන සවිංඥානිකත්වය නොමැති වීමයි. එබැවින් අදාළ කෘත්‍රිම බුද්ධිය මෙහයවීම සඳහා මානව දායකත්වය අත්‍යාවශ්‍ය සාධයක් වන අතර ඒ සඳහා පරිගණක සහ දත්ත හැසිරවීම සම්බන්ධයෙන් නව රැකියා වෙළඳපොළක් නිර්මාණය වනු ඇත.

· රාජ්‍ය අංශයේ රැකියා සඳහා මෙම කෘත්‍රිම බුද්ධියේ බලපෑම අවම වීම සඳහා වන හේතු ලෙස,

– ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය පුළුල් වීම,

– ඉලක්කගත ක්‍රියාමාර්ග අනුගමනය නොකරනු ඇතැයි උපකල්පනය කල හැකි වීම,

– නිළධාරීවාදය,

– විධිමත් අධ්‍යාපනික සහ ක්‍රමවත් පුහුණුවක අවශ්‍යතාවය පැවතියද ඒ සඳහා යොමුවනු ඇතැයි සිතිය නොහැකි වීම,

– තාක්ෂණය සම්බන්ධව පවතින ජනප්‍රිය මත සහ ඒ පිළිබඳව විශ්වාසයක් නොමැති වීම.

යනාදී කරුණු මත රාජ්‍ය සේවය සඳහා ස්වයංක්‍රීය ක්‍රම වේදය හඳුන්වා දීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. මන්ද යත් විද්‍යුත් පාලන ක්‍රමෝපායයන් පිළිබඳ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් අධ්‍යාපනික සහ ක්‍රමවත් පුහුණුවක අවශ්‍යතාවය වැදගත් වන අතර එය මගින් සාර්ථක බාවය තීරණය වනු ඇත.

රැකියාවේ තත්වය

ස්වයංක්‍රීකරණයත් සමග රැකියාවල ස්වභාවය සහ පැවැත්ම සම්පූර්ණ වශයෙන් වෙනසකට භාජනය වනු ඇත. ඒ සඳහා පාලකයින් සහ ජනතාව සූදානම් වියයුතුය. විශේෂයෙන් රැකියා සඳහා කෘත්‍රිම බුද්ධිය ආදේශ වීමත් සමග සේවකයින් හට හිමිවන ප්‍රතිලාභ සහ ආරක්ෂව අහිමිවී යනු ඇත. මේ සඳහා යෝජනා කළ හැක්කේ තරුණු ප්‍රජාව අදාළ වෙනස්කම් සඳහා දැන් පටන්ම සූදානම් කරවීමයි.

· නිපුණතා පදනම්කරගත් රැකියා සඳහා තරුණ ප්‍රජාව උනන්දු කරවීම සිදු විය යුතුය. පෙර පැවති පූර්ණ කාලීන රැකියා ක්‍රමවේදයෙන් බැහැරව අර්ධකාලීන සහ කොන්ත්‍රාත් මත පදනම් වූ රැකියා සඳහා යොමු වීම,

· අන්තර්ජාලය පදනම්කරගත් රැකියා සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම,

· කුසලතා පරතරය සහ භාෂා භාවිතාවේ ඇති ගැටළු අවම කරගැනීම සඳහා කටයුතු කළ යුතුය.

· රජය විසින් ප්‍රාදේශීය අසමනතා ඇති නොවන ආකාරයට සෑම ප්‍රදේශයකටම එක ලෙස පැතිරීගිය සංවර්ධන ක්‍රමෝපායන් දියත් කළ යුතුය.

සාරාංශය

තාක්ෂණය දියුණුවීම තුළින් සැමට එකලෙස ගමන්කළ හැකි සංවර්ධන මාවතක් තැනීමක් නොවන බව මූලික වශයෙන් වටහාගත යුතුව ඇත. මෙම තාක්ෂණික අංශයන් තුළින් වඩාත් හොඳින් සංවර්ධනය කළ හැකි රැකියා හඳුනා ගැනීම තුළින් සහ එම රැකියා තුළින් රැකියා හිඟය සඳහා පිළියම් සෙවීමට උත්සහ කිරීමට අනාගතවාදී වේ. විශේෂයෙන් වේගවත් වයස්ගත ජනගහනයක් කරා ගමන් කරනු ලබන ශ්‍රී ලංකාව වැනි රටකට එය වඩාත් වැදගත් වනු ඇත. විශේෂයෙන් තිරසර නිෂ්පාදන හා සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළයාම හේතුවෙන් නව රැකියා සඳහා ඇති ඉඩකඩ විවර වනු ඇත.සංචාරක, සෞඛ්‍ය, ආපනශාලා, පරිගණක වැනි ක්ෂේත්‍රයවල නව රැකියා අවස්ථා පුළුල් වනු ඇතැයි උපකල්පනය කළ හැකිය. එබැවින් අනාගතයට බියවී සැඟවී යාම නොව අනාගතය දැක ඒ සඳහා විසඳුම් සහ විකල්ප ගොඩනැංවීම සිදු කිරීම තුළින් සාර්ථක අනාගතයක් නිර්මාණය කරගැනීමට හැකිවනු ඇත.

උපුටාගැනීම – onetext

Social Sharing
අවකාශය නවතම