ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් වී ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට නව පනත් අටක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

“ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටට මහත් පිළිකාවක් බවට පත්වෙලා තිබෙනවා. කිසිම නීතියක්, නියාමනයක් නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. පිළිගත් මූල්‍ය ආයතනවලින් ජනතාවට ණයක් ගන්න අපහසුයි. ඒවායේ නීතිරීති වැඩියි. ජනතාව වැඩි වශයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගන්නේ ඒ නිසයි. මහ බැංකුව වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදුකරන බරපතළ දේ තවදුරටත් සිදුකිරීමට ඉඩදෙන්න බැහැ. ඒ නිසා මේවා පාලනය කිරීමට නව නීති පනත් ගෙන ඒමට ද කටයුතු කරනවා.”

Social Sharing
නවතම පුවත්