සෝමේ මාමාට සෙනෙහසින්..

සිංහබාහු ළමා චිත්‍රපටිය බලන්න අම්මාත්, මාත් අද හවස ගියෙමු. ඒ  හරි ම උනන්දුවකින් ය. ඒ උනන්දුව ඇති වූයේ සෝමේ මාමා කවදත් හදන්නෙ ළමා චිත්‍රපටි නිසාත්, මං ඒවා බලන්නට මාර ම ආසා නිසාත් ය.

හැබැයි චිත්‍රපටිය පටන් ගන්නට කලින් මගෙ හිතේ පොඩි දෙගිඩියාවකුත් තිබ්බේ ය.

ඒ, ලොකු අය කියන විදියට අයියා නංගි අතර සිදුවෙන ව්‍යභිචාරී නීති කැඩෙන සංවාස, පරම්පරා ගැටුම, පිය පුතු අරගලය, විමුක්තිය වෙනුවෙන් මානවයා තුළ නොනිවී දැල්වෙන අධිෂ්ඨානය වගේ අපිට නොතේරෙන බැරෑරුම් වැඩිහිටි මාතෘකා තියෙන සිංහබාහු පුරාවෘතය ළමා චිත්‍රපටියක් කරන්න සෝමෙ මාමාට පුළුවන් වේවි ද කියා ය.

හැබැයි ඇස්වහක් කටහක් වදින්නට එපා ය.. චිත්‍රපටි බැලීමට එන ළමයින්ගේ මුදලටත්, කාලයටත් උපරිම සාධාරණයක් කරමින් සෝමේ මාමා අමු වල් සිංහබාහු කතාවෙන් අපූරු ළමා චිත්‍රපටියක් බිහි කර තිබේ.

අතිසුන්දර පසුතලවලින් චිත්‍රපටිය ආරම්භ වෙද්දි පොඩි අපි ලොකු සහනයක් ලබා ගත්තෙමු. සංගීතයෙ මිහිරියාවත් ඊට හරි ම ලස්සනක් එකතු කර තිබුණි. ඇත්තෙන් ම කියනවා නං සිංහබාහු බොහෝ රූපරාමු බලන්න හිතෙන ඒවා ය.

මොනව වුණත් ආචාර්‍ය සෝමෙ මාමා ළමා චිත්‍රපටි හදන්න හරි ම දස්සයා ය. කොච්චර දස්සයි ද කියනවා නං (විචාරක මාමලා කියන විදියට) අන්තිම වනචර අදහස්වලින් මෙහෙයවුණු, සදාචාර විරෝධී සිංහබාහු පුරාවෘතය පවා ළමා මනසට ගැලපෙන්න සදාචාරවත් කළා කියන ඒක ලේසි වැඩක් නොවේ ය.

සිංහබාහුවලිනුත් ළමා චිත්‍රපටියක් කළා කියන්නෙ සෝමෙ මාමාට ඕනෙ නං වැල පත්තරේකින්, ළමා චිත්‍රපටි හදන එක වුණත් මහ කජ්ජක් නොවේ ය.

විශිෂ්ට ළමා සිනමා කෘතියක් හදන්න, සිංහබාහුවයි, සීවලීවයි ලේ නෑයො නොකරන්න සෝමේ මාමා ගත්ත මහන්සියට අපි ණය ගැති ය, “ව්‍යභිචාර වරද” කියලා අපට නොතේරෙන එකකින් සිංහල ජාතිය බේරගන්න සෝමෙ මාමයි, රේණුකා නැන්දයි අරන් තියෙන මහන්සිය මාර යි.

හරි නං සෝමෙ මාමා ව ජාතියේ පියා කරන්නට වුණත් වටිනවා ය.

සෝමෙ මාමේ චිත්‍රපටිය මල් හතයි ය. හැබැයි සුප්පා ඇන්ටිගෙයි, සීවලී අක්කගෙයි කකුල් වැහෙන්න දිග ජීන්ස් දෙකක් ඇන්දුවා නම් සිංහබාහු තවත් ලමා කරන්නට තිබුණා ය.

ඒ වගේ ම මාමේ පොඩි ප්‍රශ්නයක් අහන්න ද..? අර සුප්පා ඇන්ටි ව වතුරෙන් ගොඩගන්න වෙලාවෙ වල් දෙබස් ටිකයි, අයියයි අක්කයි ගල් ගුහාවේ තනිවෙච්ච වෙලාවෙ දෙබස් ටිකයි චිත්‍රපටියට දැම්මේ මාමා නෙවෙයි නේ ද..? මාමා කළා නං ඒ වගේ වල් කතා ළමා චිත්‍රපටියකට නොදාන බව අපිට විශ්වාස ය.

හැබැයි මාමේ ඒ ටික මරු. ඒ වගේ වල් කෑලි ටිකක් තව වැඩි කරලා මීටත් වඩා වල් ළමා චිත්‍රපටියක් අනාගතේ මාමා හදල එවන තුරු ඇඟිලි ගනිමින් සිටිමි.

මාමාට බුදු සරණයි.

ශාන් දැල්කදුරආරච්චි ගේ මුහුණ පොතෙනි,

Social Sharing
අවකාශය නවතම පුවත්