මහා පරිමාණ ව්‍යාපෘතිවලින් 82%ක තොරතුරු දීලා නෑ- වෙරිටේ රිසර්ච් කළ පරියේෂණයකින් හෙළිවේ!

විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු වලින් වැඩි කොටසක් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

එම ආයතනය මෙසේද කියයි

මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව කළ එම පර්යේෂණයට අනුව 2022 වසරේ ක්‍රියාත්මක වෙමින් පැවැති ව්‍යාපෘති 60 ක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් 82% ක්ම ප්‍රසිද්ධ කර නොතිබිණි. 2023 වසරේ ක්‍රියාත්මක වෙමින් පැවැති ව්‍යාපෘති 60කට අදාළ තොරතුරුවලින් 75%ක්ම ප්‍රසිද්ධ කර නැත.

පර්යේෂණයෙන් අනාවරණයව ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ තොරතුරුවල භාෂා විෂමතාවයයි. සිංහල සහ දෙමළ භාෂාවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව තොරතුරු දැන ගැනීමේ පනතෙන් නියම කර ඇතත් වැඩිමනන් තොරතුරු ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. 2022 වසරේ ආවරණය කෙරුණු ව්‍යාපෘතිවල තොරතුරු වලින් 18%ක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇතත්, සිංහල භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ 5%ක ප්‍රමාණයක් පමණි. දෙමළ බසින් ප්‍රසිද්ධ කර ඇත්තේ 4%ක ප්‍රමාණයකි.

මෙම ප්‍රවණතාවය 2023 වසරේදීත් දැක ගැනීමට හැකි අතර, තොරතුරු වලින් 25%ක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසිද්ධ කර තිබුණත් සිංහල සහ දෙමළ භාෂාවලින් ප්‍රසිද්ධ කර තිබුණේ තොරතුරු වලින් 8%ක් පමණි.

පර්යේෂණයෙන් 2022 වසරේ අදාළ කාලය ඇතුළත ආවරණය කර ඇති ව්‍යාපෘති 60හි මුළු වටිනාකම රුපියල් ටි්‍රලියන 1.08කි. 2023 වසරේ ආවරණය කර ඇති ව්‍යාපෘති 60හි මුළු වටිනාකම රුපියල් ටි්‍රලියන 2.54 කි. නව ව්‍යාපෘති 23කින් සහ 2022 වසරේ සිටම ක්‍රියාත්මක වෙමින් තිබූ පැරණි ව්‍යාපෘති 37කින්, 2023 වසරේ ව්‍යාපෘති 60 සමන්විත වේ.

Social Sharing
නවතම පුවත්