බාහු සහෝදරයා

Vikramabahu Karunaratne story

වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව…

කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන… සටහනක් ලියන්න හිතුවා. එයා තමයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.. ඔහු ගැන මම ලියන්න හිතුවේ අවුරුදු ගානකට පස්සේ අපට ඔහු අන්තිමට මුණ ගැහුණේ 2023  මේ අවුරුද්දෙ මැද ලංකාවට ගිය වෙලාවෙ family get together එකේදි .. මට හිතා ගන්න බැරිවුණා… ඉස්සර අපට මුණ ගැහෙන මොහුද මේ කියලා. ඉස්සර හමුවන විට කථා බස් කරන කොට තමන් ගැන කී කතන්දර අද ඔහුට කිසිවක් මතක නැත… ඒත් අපි ඒ දවස්වල ඔහු ජීවත් වූ කිරිබත් කුඹුර හරහා දොඩම්වලට ගියවිට තියන ඔහුගේ බිරිඳ වන නීතිඥ  මංගලිකා දොඩංවල මහත්මියට  අයත් මොළදණ්ඩ වලව්වට බොහෝ වෙලාවට යන්න එන්න පටන් ගත්තේ දැනට අවුරුදු 25 කට ඉහත අපිත් ජීවත් වුණේ පේරාදෙනිය ප්‍රදේශයේ නිසයි. අපි අවස්ථාවක් ලද වෙලාවට එහෙ ගියාම  මම හරි ආසයි ඒ දවස්වල අයියත් එක්ක කථා කරන්න.. එදා ඔහු ලොකු ආඩම්බරයකින් අප සමග කියු කථා කිසිවක් අද ඔහුට මතක නැත.. ඔහුට මතක මම මහාචාර්ය වික්‍රම බාහු කියල කියන්න විතරයි.. ඇත්තටම එදා මම අයිය ළගින් ඉදගෙන ඇහැව්ව කිසි දෙයක් ඔහුට මතක තිබුණේ නැත. ඉතිං මම කල්පනා කලා මම ඔහුගෙන්ම දැනට අවුරුදු 25කට විතර කලින් කථා බස් වලදී ඔහුගේ කටින්ම කියවුණ මට මතක තොරතුරු නැවතත් ඔහු වෙනුවෙන් අකුරු කරන්නට.. ඊට අමතරව අයිය දැන ගත්ත කාලේ මම අන්තර් ජාලය හරහා ඔහු ගේ සාකච්ඡා වලට සවන් දෙනවා.. දේශපාලනය නම් මට අරහං නිසා ඒවට නම් වැඩිය සවන් දිල නෑ.. ඒත් අයියා ලංකාවෙන් පිටවී එංගලන්තයේ ආචාර්ය උපාධිය හදාරන්න ගිය හැටි… විද්‍යාඥයන් සමග ඉගෙන ගත් කාලය හරිම වැදගත් .. මම ඒ ලිපි අන්තර් ජාලය තුලින් ඉතා ඕනෑ කමින් එදා කියවෙව්වා..

ඔන්න  ඉතින් මේ හමුවීමට  කලින් මට මතක විදියට අවුරුදු10 කට විතර කලින් අපි කොළඹ  ගිය වෙලාවක මමත් මහත්තයත් ඔහුගේ කාර්යාලයට ගොඩ වැදුණේ කාලෙකින් ඔහු මුණ නොගැසුණ බැවිනි.

කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤවීදිය බැරැක්ක පටුමඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවසකය..  කාර්යාලයට ගොඩවුණු අපි දෙදෙනා  කාර්යාලයේ පැරණි වේවැල් පුටු 2කට බරදී ඔහු එනතුරු බලාගෙන සිටියෙමු. වට පිට පරිසරය දෙස බලන විට මා හට ඔහු ගැන සිතුණා දේ ලියන්නම්.

මහා දේශපාලන ප්‍රවාහ තුළ පරඬැල් වුණු ස්වකීය සටන් සගයන් කුණු කානු පල්ලට ඇදවැටී ඉබාගාතේ ඇවිදිනා දේශපාලනික මත රට තුල පවතින කාලයේ  දශක පහකටත් වඩා ස්වකීය මතවාදය වෙනුවෙන් නොවැටී සටන් කරනා මේ විද්වත් මනුෂ්‍යයාව සමාජයක් ලෙස අප තබා ඇති තැන ගැන ඇත්තටම  මට ලොකු කලකිරීමක් ඇති වුණා. ඇත්තටම එදා

නෝම් චෝම්ස්කි, ස්ටීවන් හෝර්කින් වැනි විශ්ව කිර්තියට පත් විද්වතුන් ලාංකික විද්වතෙක් හෝ දේශපාලකයකුගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා නම් ඒ බාහු සහෝදරයා වෙනුවෙන් පමණි. අප නොදන්නාවට ඔහු ලෝකයේ ඉතා වටිනා මිනිසෙකි.

වික්‍රමබාහු කරුණාරත්න බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. ඔහු එදා ලංකාවේ ආචාර්ය උපාධිය ලබාගත් ලාබාලම පුද්ගලයා විය විද්වතුන් විසින් අයිසැක් නිව්ටන්ටත් වඩා ඉහළින් ඔසවා තැබූ මහා භෞතික විද්‍යාඥයා වන, ස්ටීවන් හෝකින් බාහු සහෝදරයා සමඟ එකම පීඨයක අධ්‍යාපනය හැදෑරූ සරසවි සගයෙකි.

එදා ඔහු මේ ඉන්නා තැන ගැන දැක්කාම මට අදහා ගත නොහැකි විය.. ඔහුගෙන්ම ඔහු ගැන දැනගත් තොරතුරු දිගින් දිගටම මගේ මනසට ගලා එන්නට විය..

ඔන්න දැන් කතන්දරේ පටන් ගන්න කලින් මම පොඩ්ඩක් ඔහුගේ දේශපාලනික නොවන ජීවිතය ගැන සඳහන් කරන්නම්.. මේ තොරතුරු රූපවාහිනී සාකච්ඡාවක ඔහුගේම කටින් පිටවුණ දේවල්.

ඔහුගේ දෙමව්පියෝ  ගුරුවරු.  පියා මුදියන්සේ කරුණ රත්න. විදුහල් පති වරයෙක්.. මව මගේ මහත්තයගෙ නැන්දා විමලා කොතලාවල. ඇයද ගුරුවරියකි.ඔහු උපදින කොට ඔහුගේ  අම්මයි තාත්තයි උගන්වල තියෙන්නේ  ඌව පළාතෙහි දුෂ්කර ගමක. ඔහු ඉපදෙන්නේ ලුණුගල ඉස්පිරිතාලෙ. ඔහුට අවුරුදු හතරේදි දෙමව්පියෝ  මාරුවක් අරන් මතුගමට ඇවිත් පදිංචි වෙනවා.  ඔහු මූලික අධ්‍යාපනය ලැබුවෙ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන්. ඒ කාලෙ හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්න කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තරග විභාගයක් තිබිලා 1953 අවුරුද්දෙ ඔහු මේ තරග විභාගයට ලියලා සමත් වුණා. ඒ වෙනකොට කොළඹ ආනන්දය රජයේ විදුහලක් නොවෙයි. පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත් ඉස්කෝලයක්.

ලංකාවේ මුල්ම වරට සිංහල භාෂාවෙන් එස්.එස්.සී ලියපු කණ්ඩායමට ඔහු අයත් වෙනවා.. සාමාන්‍ය පෙළ විදිහට තිබුණ එස්.එස්.සී වගේම උසස් පෙළ වෙනුවට තිබුණ එච්.එස්.සී විභාගත් පළමු පන්තියේ සම්මාන සහිතව ඔහු සමත් වෙනවා. ඔහු සරසවියට යන්නේ 1962දි. විභාගයේ විශිෂ්ඨ ලෙස සමත් වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට තේරෙනවා.

අවසන් වසරෙදි   පේරාදෙණිය සරසවියෙන් උපාධිය ඉහළින්ම සමත්  වෙනවා. ඔහුගේ ප්‍රතිඵල අනුව 1965දී ඔහු කනිෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට පත් වෙනවා. ඊළඟට අවසාන  උපාධි විභාගයේ විශිෂ්ඨ ලෙස සමත් වන ඔහු ට ආචාර්ය උපාධිය සඳහා විදේශ ශිෂ්‍යත්ව ක් ලැබෙනවා.  පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ලැබුණු මේ  ශිෂ්‍යත්වයට ඔහු ආචාර්ය උපාධිය හදාරන්න කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට යනවා.

ඒ අතර අපට මුණ ගැහෙන වෙලාවටත් එංගලන්ත ජීවිතය ගැන මහත් ආඩම්බරෙන් ඒ කාලෙ කියල තියනවා. මමත් ඉතිං අනුන්ගේ දේවල් හොයන්න ලියන්න හරි ආසයි.. ඒ අනුව එකතු කර ගත් තොරතුරු 2012 අවුරුද්දෙත් මම ඔහු ගැන ලීවා.. අන්තර් ජාලය පුරාවට ඇත්තේ ඔහුගේ ම දේශපාලන  තොරතුරු

කතන්දර  පමණයි. ඒ අතර මමත් අයිය ගැන ලියල තියනවා. ඉතිං ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යත්වය ඔහුට  ලැබුණේ වර්ෂ 1967දී.

කේම්බ්‍රිජ් එකට යන ඕනෑම කෙනෙක් යන්නෙ කොලේජ් එකකට. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කොලේජ් එකක් කියන්නෙ සරසවි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික නොවන ජීවිතය කළමනාකරණය කරන තැන. ඔවුන්ගේ ඉගෙන ගන්නා විෂයන් ගැන , සමාජ ජීවිතය ගැන, ක්‍රීඩා හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන, සොයා බලන ශිෂ්‍ය නිවාසය. කේම්බ්‍රිජ් සරසවියෙ කොලේජ් එක කියන්නෙ නේවාසිකාගාරයකට වඩා වැඩි තැනක්.

ශිෂ්‍යයෙක් අධ්‍යාපනය ලබන තැන ඩිපාර්ට්මන්ට් එක. වික්‍රම බාහු කරුණාරත්නගේ  ඩිපාට්මන්ට් එක තමයි ඇප්ලයිඩ් මැතමැටික්ස් ඔෆ් තියරිටිකල් ෆිසික්ස්. සිංහලෙන් කියනවා නම් න්‍යායාත්මක භෞතික විද්‍යාවේ ව්‍යවහාරික ගණිත අංශය. ඔහුගේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි ස්ටීවන් හෝකින් හිටියෙ. ඔහු යනකොට හෝකින් පර්යේෂණ ශිෂ්‍යයෙක්. ඔහුත් පර්යේෂණ ශිෂ්‍යයෙක් විදිහට සම්බන්ධ වුණේ. ඒ අතර

යුනිවර්සිටි එකේ තිබුණ කොලේජ් ඔෆ් ආර්ට් ඇන්ඩ් ටෙක්නොලොජි කියලා තැනක්. එතන හවස හා සෙනසුරාදා පන්ති තියනවා. ඒවට ගොඩක් අය යනවා.  ඔහුත් මූර්ති කලාව පුළුවන් නිසා  එතන පොටරි ඇන්ඩ් මොඩලින් කියන ක්ලාස් එකට සෙනසුරාදා  අමතරව ගොස් ඇත.. ඒ පොටරි ක්ලාස් එකට චාල්ස් කුමාරයත් සමග එකට මොහු ඉගෙන ගෙන ඇත. .. චාල්ස් කුමාරය එන පොටරි ක්ලාස් එකට ළමයි සිය ගණන් එන්න පොරකනවා. චාල්ස් කුමාරය එක්ක පොටරි කළා කියලා කියන්න කැමති හින්ද වෙන්න ඇති. යුනිවර්සිටි එකේදිත් මොහු නිතරම  ගොඩක් වෙලාවට චාල්ස් කුමාරයා සමග  සම්බන්ධතා පවත්වා ඇත.. ඔහු එන්නෙ ආරක්ෂකයොත් එක්ක ලු. සුප්‍රකට තාරකා විද්‍යාඥ ශ්‍යාමන්, ලෝ ප්‍රකට මහාචාර්ය ඩවුටි ඒ කාලෙ කේම්බ්‍රිජ් එකේ හිටියාලු. ජාන විද්‍යාව සම්බන්ධ විශිෂ්ටම පර්යේෂණ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කෙරෙමින් තිබුණෙ  මොහු අධ්‍යාපනය හදාරන වකවානුවෙ ලු

විසිපහකට වඩා  නොඅඩු දක්ෂ කණ්ඩායමක් හිටියත් එකිනෙකාගේ පර්යේෂණ එකිනෙකට වෙනස් වී ඇත. හෝකින්ගේ කණ්ඩායම වෙනම කොටසක ඔවුන් විශ්වය සම්බන්ධ පුළුල් ක්ෂේත්‍රයක පර්යේෂණ කළ අයලු. ඒ කාලයේ  ඔහුගේම කණ්ඩායමේ පර්යේෂණ සගයෙක් තමයි ලාංකිකයෙක් වූ ආචාර්ය ශාන්ත ද අල්විස්. ඔහු  මේ වනවිට ඉන්නෙ ඇමරිකාවෙ ලු. ඔහුගේ අදටත් වික්‍රම බාහුගේ යාළුවකු වන ඔහුත් විශිෂ්ට විද්‍යාඥයෙක්. හෝකින්, ශාන්ත අල්විස් ඔහු එකම කණ්ඩායමේ නොවුණාට එයාල ගොඩක් ලගින් ඇසුරු කලා කියල ඔහු දවසක් කීවා මට මතකයි. මොහුගේ පරික්ෂණ   ධවනි තරංගවලට බාධක ඇතිවන ආකාරය ගැන තමයි මොහු ඇතුළු  කණ්ඩායම පර්යේෂණ කරල තිබුණේ. මොහුගේ කණ්ඩායම භාරව හිටියෙ ආචාර්ය ක්ලෙමෝ. ආචාර්ය ක්ලෙමෝ   ලෝකයේ සුප්‍රකට තාරකා විද්‍යාඥයෙකි.

සූර්යයාගෙන් පිටවන වලාකුළු වගේ දෙයක් තියනවා. ඒවා පාවෙලා යනවා. එහි ඇතිවන යම් යම් තරංගවලින් පිපිරීම් ප්‍රමාණයක් ඇති වෙනවා. මොවුන් ඒ පිපිරීම් ගැන පරීක්ෂණ කළාලු. ඒක නිශ්චිත විෂයයක්. හෝකින්ස්ලාගෙ පර්යේෂණ ක්ෂේත්‍රය ඊට වඩා විශාල ලෙස පැතිරිලා තිබුණා ලු . ඔවුන් විශ්වයේ විවිධ පැතිවලට බලපාන කරුණු ගැන පර්යේෂණ කළා.

අපේ රටේ ශාන්ත ද අල්විස් හෝකින්ගේ සමීප මිතුරෙක් බවත් ඔහු පැවසුවා . මොවුන් කණ්ඩායම් කීපයක හිටියත් ඔහුගේ ඩිපාර්ට්මන්ට් එකේ හිටපු මේ විද්‍යාඥයන් 25 දෙනා අතරෙ සමීප සම්බන්ධකම් තිබුණාලු, ඔවුන් හැමෝම හැමදාම එකට හම්බවෙලා කතාබහ කරනවා ලු ශාන්ත ද අල්විස් හෝකින්ගේ මිතුරෙක් වීම නිසාම අපි අතර හොඳ සබඳතාවක් ගොඩනැඟෙනවා. හෝකින් ගෙ අසනීපය ගැනත් ඔහු දවසක් කථා කරනවා..

ඔහු දන්න කාලෙ හෝකින් හොඳට හිටියාලු. ඇවිද්දා ලු. හොඳට කතාබහ කළාලු. ඔහු ගොඩක් කඩා වැටිලා රෝද පුටුවක යන තත්ත්වයට පත්වුණේ අවුරුදු දෙකක් ඇතුළතදී ලු. එයා රෝද පුටුවකට වැටුණෙ වික්‍රම බාහු බලාගෙන ඉද්දිලු.. ඒ වෙනකොට ඔහුගේ බිරිද ජේන් තමයි එයාව රෝද පුටුවෙ තියලා තල්ලු කරගෙන ආවෙ කියනවා. ඇය සාමාන්‍ය උපාධියක් කල අයෙක් ලු  ඇය ඔහු හා විවාහ ගිවිසගෙන තිබුණේ ඔහුගෙ බරපතළ රෝගී තත්ත්වය ගැන දැනගෙන. ඇයට හෝකින් වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න සිද්ධ වුණා.

හෝකින්ගේ විශිෂ්ඨතම චරිත ලක්ෂණය :

හෝකින් ප්‍රියමනාප කෙනෙක්. ඔහු තුළ කිසිම කුහකකමක් තිබුණෙ නෑ. යමක් ඇහුවොත් වුවමනාවෙන් කියලා දෙන්න හදනවා. එයාගෙ අදහස පැහැදිලි කරනවා. හිනාවෙන්න පුළුවන් දේවල් කියනවා. ඔහුගෙ තිබුණ විශේෂම ලක්ෂණය තමයි ලේසියෙන් කෙනෙක්ව හිනස්සවන්න හැකි වීම. ඔහු විටෙක හාස්‍යයෙන් පිරුණු කෙනෙක්.

ඒවගේම හෝකින් කැමැති වුණේ නෑ එයාට අමාරුකම් තියනවා කියලා පෙන්වන්න. ඔහු හැම වෙලාවෙම කිව්වෙ මට ප්‍රශ්නයක් නෑ කියලා. ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න ඔහුට හැකි වුණා. ඔහුගෙ දර්ශනයත් හැදෙන්නෙ එහෙමයි. “ඔබ මනුස්සයෙක් නම් ඔබ නො පසුබස්නා වීර්යයෙන් යමක් කළ යුතුයි. ඔබ ලෝකයට වටිනා කෙනෙක්. ලැබුණු ජීවිතේ පුළුවන් තරම් ප්‍රයෝජනයට ගන්න”. ඔහු හැම විටම කිව්වෙ ඒක.

ඒ කාලෙත් හෝකින් දෙවියන් ගැන සැක පහළ කළා. පර්යේෂණ තුළත් ඔහු එය ගොඩනැඟුවා. අවසාන කාලයෙදී ඔහු මුළුමනින්ම දෙවියන්ව ප්‍රතික්ෂේප කළා. ඔහු ගොඩනඟපු දර්ශනය බෞද්ධ දර්ශනයට අතිශයින් සමීප වුණාලු.

එක් කාරණාවක් කියන්නම්.

විශ්වය කියන්නෙ ඉමක් කොනක් නැති එකක් නොවෙයි:

මෑත කාලයේදී විශ්වය පිළිබඳ ඇති වූ මතය තමයි එහි සීමාවක් තියනවා කියන එක. ඒත් විශ්වය පුළුල් වෙනවා, පැතිරීගෙන යනවා, කියලා ඔවුන් කීවා. ඒ නිසා අපි අතරෙ දුරස් භාවය වැඩි වෙනවා කියලා ඔවුන් කීවා. ඒ මතවාදය අනුව විශ්වයට සීමාවක් තියනවා. එහෙම නම් විශ්වය කියන්නෙ ඉමක් කොනක් නැති එකක් නොවෙයි. විශ්වයේ විකාශනයෙන්මයි විශ්වය ඇතිවෙන්නෙ.

විශ්වය තුළම තිබෙනවා කළු කුහර. ඒ කළු කුහරය තුළට ද්‍රව්‍ය ගමන් ගන්නවා. ඒ ගමන් කරන ද්‍රව්‍ය නැවත එන්නෙ නෑ. හෝකින් මේ විෂය සම්බන්ධව විශේෂ පර්යේෂණ කළා. ඔහු කිව්වා කළු කුහරයත් මේ විශ්වයේම ද්විත්වතාවක් කියලා. ඒක තියෙන්නෙ කොහෙද කියලා ඔහු ගණිතමය සිද්ධාන්ත හරහා පෙන්නුවා. ඔහුට අනුව කළුකුහරයෙන් අර්ථවත් වෙන්නෙ අඳුරු විශ්වයක්. ඒකට ඇතුළුවන ද්‍රව්‍ය නැති වෙන්නෙ නෑ. ඒවා අඳුරු වෙනවා.

හෝකින් කිව්වෙ හැම දෙයකම ප්‍රතිවිරුද්ධ දෙයක් තියනවා කියලා. ආලෝකවත් විශ්වයේ ප්‍රතිවිරුද්ධත්වය තමයි අඳුරු විශ්වය. අඳුරු විශ්වය හා ආලෝකවත් විශ්වය එකට බැඳිලා තිබෙන්නෙ. මේ ද්විත්ව විශ්වය පැතිරෙනවා නම් ඒ පැතිරෙන්නෙ කොහෙද. අපේ විශ්වය වාගේ විශ්ව අනන්ත ප්‍රමාණයක් තියන මහා විශ්වයක් තුළ. එහි ඉමක් නෑ. බුදුන්වහන්සේ කිව්වා ලෝක විෂය අචින්ත්‍යයි කියලා. විශ්වයේ ස්වරූපය ගැන හෝකින් පෙන්නපු මේ සංකල්පය බෞද්ධ දර්ශනයට සපුරා එකඟයි.

සුප්‍රසිද්ධ “ප්ලාස්මා ෆිසික්ස්” සඟරාව: මම ඔහුගේම කට්න් පිටවු හෝකින්ගේ චරිතය ලියා දැක්වුයේ ඇත්තටම මොහු ඇසුරු කල මහා විද්‍යාඥයා ගැන දැන්වීමටත් මොහුත් එදා ඔහුගේ ඝණයටම වැටුණු දක්ෂ පුද්ගලයෙක් බව දැන්වීමටයි. ඔය විදියට ඔහු දවසක් මේ

හෝකින්ගේ චරිතය බොහෝ වෙලාවක් වර්ණා කලා මට මතකයි…

ඔහු ආචාර්ය උපාධිය නිම කර කේම්බ්‍රිජ් සරසවියෙන් පිට වුණා අවුරුදු තුනකින්.  ආචාර්ය උපාධි නිබන්ධනය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් මුද්‍රණය කරන සුප්‍රසිද්ධ “ප්ලාස්මා ෆිසික්ස්” සඟරාවෙ පළ වුණා.

පස්සෙ ඔහු ලංකාවට ආවා. අවුරුදු 18ක් විශ්විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. 1978 දී යූ.එන්.පී ආණ්ඩුව ඔහු සරසවියෙන් ඉවත් කළා. එතකොට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ. අවුරුදු 40කට පස්සෙ රනිල් වික්‍රමසිංහ අගමැතිගෙ ආණ්ඩුව යළිත් ඔහු සේවයේ පිහිටෙව්වා. විශ්වවිද්‍යාලයෙන් ඉවත් කර  සිටි වකවානුවේ විවෘත විශ්වවිද්‍යාලයේ උපදේශකවරයෙක් විදිහට ඔහු වැඩ කළා. පර්යේෂණ කණ්ඩායමක් එක්ක බුදු දහමේ දර්ශනවාදය පිළිබඳ පර්යේෂණයක් කළා. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ බුදුදහම, විද්‍යාව හා මාක්ස්වාදී දර්ශනය. මේ දර්ශනවාද තුනෙන්ම ලෝක විෂය පිළිබඳ ඉදිරිපත් කරලා තිබෙන්නෙ එකම කරුණු. ඔහු මේ සම්බන්ධව නිබන්ධනයක් ඉදිරිපත් කළා.

මේ අදහස පදනම් කරගෙන මහාචාර්ය වයි. කරුණාදාස හා සමග මේ වනවිටත් ඒ පිළිබඳව තවදුරටත් හදාරමින් ඉන්නවා. ඒ හැදෑරීම පදනම් කරගෙන ෆිලෝසොෆි ඔෆ් බුඩිසම් ඇන්ඩ් සයන්ස් කියන පර්යේෂණ කෘතිය ගොඩනන්වනවා.

නැවත හෝකින් ජීවමානව සිටි කාලයේ ඔහු වෙනුවෙන් එක් අවස්ථාවක පෙනී සිටියා. ඔහුට කැනඩාව සරසවියකින් විශේෂ දේශනයකට ආරාධනා ලැබුණා. සියල්ල සැකසෙමින් තිබෙද්දි කැනඩාව ඔහුගේ වීසා නැවැත්තුවා. ඒ ඔහු කොටි සංවිධානය එක්ක සම්බන්ධකම් තියන පුද්ගලයෙක් කියලා. ඔහුට ආරාධනා කළ පාර්ශ්වය මේ සම්බන්ධව ලෝකය තුළ සංවාදයක් ඇති කළා. අනතුරුව ලෝක විද්වතුන්ගෙ අත්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සමට ස්ටීවන් හෝකින් අත්සන් කළා. නෝම් චොම්ස්කි අස්සන් කළා. කැනඩා රජයට විරුද්ධව ඒ සංවිධානය නඩු කියලා කැනඩා රජය පැරදුණා.

පස්සෙ කැනඩා එම්බසියෙන් ඔහුව හොයාගෙන ගෙදරට ගිහින්.  සොරි කියලා කැනඩාවට යන්න වීසා අනුමත කළා කියන පණිවුඩය කිව්වා. එවිට ඔහු ඒ අයට කියලා යැව්වා “උඹලගෙ ජරා රටට මට ආයෙ කිසි දවසක එන්න ඕන නෑ කියලා.”

බාහු සහෝදරයා

අප විශ්වාස කරන පරිදි ඔහු අපට ශ්‍රී ලාංකිකත්වයේ චමත්කාරය කියා දෙන දර්ශකයක්ය. ඔහු ස්ටීවන් හෝකින්ලා සමඟ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කළේය. සූර්ය තරංග පිළිබඳ කළ ඔහුගේ පර්යේෂණයට අදාළ ආචාර්ය උපාධි නිබන්ධනය කේම්බ්‍රිජ් සරසවියෙන් ප්‍රකාශයට පත් කළේය. අනතුරුව ඔහු ලංකාවට ආවේය. කේම්බ්‍රිජ් සරසවිය ස්ටීවන් හෝකින්ව නිවුටන්ටත් ඉහළින් තබා සම්භාවනාවට ලක් කළේය. රෝද පුටුවට සීමා වුණු ඔහු වෙනුවෙන් ඉන්ටෙල් සමාගම විශේෂ පරිගණකයක් නිර්මාණය කර ඔහුගේ විශ්මිත දැනුම අවසාන මොහොත වනතුරු ලෝකයට ලබා ගන්නට කටයුතු කළේය. බාහුගේ සමකාලීන ශ්‍රී ලාංකික සගයා ශාන්ත ද අල්විස් ඇමෙරිකාවට ගියේය. ඔහු මේ වනවිට ඇමෙරිකාවේ විශිෂ්ට විද්‍යාඥයෙක්ය.

ලෝකය පිළිගත් විද්‍යඥයෙක් ලෙස ලංකාවට පැමිණි ආචාර්ය වික්‍රමබාහු 1978 දී පේරාදෙණිය සරසවියෙන් ඉවත් කර දැම්මේය. ඉන් අනතුරුව ඔහු අවුරුදු හතළිහක් පූර්ණකාලීනව වාමාංශික දේශපාලනය කළේය. ඉඩ ලැබෙන අතරේ පර්යේෂණ කටයුතුවල නිරත විය. දශක හතරකින් අනතුරුව එනම් බාහුට අවුරුදු හැත්තෑවත් ඉක්ම ගිය පසු ඔහුව යළි හිඟ වැටුප් සහිතව සේවයේ පිහිටෙව්වේය. දැන් ආචාර්ය වික්‍රමබාහු මහාචාර්ය වික්‍රමබාහුය. හැබැයි මහාචාර්ය වික්‍රමබාහු දැන් පෙන්ෂන්ය.  මම ඔහු ගැන අසා දැන සිටි තොරතුරු මේ අයුරින් ගොනු කරන්නට සිතුවේ අද ඔහුට හැම දෙයම අමතක වී ගොසිනි.. මම මේ සටහන නැවත ලියන්නට හේතුව එදා අවසාන වතාවට party එකේදී ඔහු ලග ඉඳගෙන කථා කල මාව වත් ඔහු හැදුණුවේ නෑ. ඔහුට ඔහු එදා අප සමග ආසාවෙන් කීව ඉහත මා ලිව කිසි දෙයක් මතක නැත. ඔහුට මතක තිබුණේ මම “මහාචාර්ය වික්‍රම බාහු ” යන වචනය පමණි. ජීවිතය එයයි..  මේ වන විට අසනීප තත්වයෙන් සිටින ඔහුට නිරෝගි සුව ප්‍රාර්ථනා කරමින් ඔහු වැනි උගතකු රට වෙනුවෙන් මොන යම් ක්‍රමයකින් හෝ සේවයක් කිරීමට ඉදිරි පත් නොවීම අද ද මට ප්‍රෙහේලිකාවකි. එහෙත් ඔබ රටේ සදා අමරණියයි

 sandya kotalawala ගේ පිටුවෙන් උපුටා ගැනීමකි

Social Sharing
අවකාශය නවතම විශේෂාංග