මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණය හිමියන්ගේ විෂමජාතිත්වයයි (heterogeneity).
ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් අතර ගිජුළිහිණි අරමුදල් ආදියද තිබෙනවා. ණය අවදානම හොඳටම වැඩි වූ අවස්ථා වලදී කුණු කොල්ලයට බැඳුම්කර මිල දී ගන්නා ගිජුළිහිණි අරමුදල් විසින් ඉන් පසුව උත්සාහ කරන්නේ කෙසේ හෝ පුළුවන් තරම් වැඩි මුදලක් ආපසු ගැනීමටයි. ඔවුන්ව ස්වේච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ කර ගැනීම කළ නොහැකි තරම් අසීරු කාර්යයක්.
ලෝක මූල්‍ය වෙළඳපොළේ “ගුරුත්ව කේන්ද්‍රය” නිවුයෝර්ක් නගරය බව කිසිවෙකුට මග හැර යා නොහැකි ඇත්තක්. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රාජ්‍යයන් විසින් දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර වලින් 52%ක්ම නිකුත් කර තිබෙන්නේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ නීතිය යටතේයි. මෙම නීතිය අනුව, ඇමරිකාවේ ෆෙඩරල් රජයට වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් මත බලපෑමක් කළ නොහැකියි.
පවතින නීතිමය තත්ත්වය තුළ ගිජුලිහිණි අරමුදල් වලට හෝ වෙනත් ණයහිමියෙකුට “මස් රාත්තලම” ඉල්ලමින් නිවුයෝර්ක් අධිකරණයේ සටන් කළ හැකියි. අධිකරණයක් සාධාරණත්වය තීරණය කරන්නේ පවතින නීති රාමුවට අනුගත වන්නේද යන පදනම මතයි. ඒ නිසා, මෙවැනි ඉල්ලීමක වැඩි වාසිය ණයහිමියන්ට ලැබෙන එක නොවැලැක්විය හැකි දෙයක්.
කෙසේ වුවත්, මේ වන විට නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත්ව ඇති “ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත” සම්මත වුවහොත් එය ක්‍රීඩාවේ නීති වෙනස් කරන්නක් බවට පත් වෙනවා. පණත කලට වේලාවට සම්මත වුවහොත් එයින් ක්ෂණික හා වැඩිම වාසිය ලැබෙන්නේ ලංකාවටයි. ලංකාවට ඉතාම වැදගත් මේ පණත ගැන ලංකාවේ කිසිදු ප්‍රධාන හෝ වෙනත් මාධ්‍යයක සටහන්ව තිබෙනු මා දැක්කේ නැහැ. මට මග හැරුණා වෙන්න පුළුවන්.
තවත් මාසයකින්, එනම් ජූනි 2 දින, නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකයේ සභාවාරය අවසන් වෙනවා. මෙම පණත ඊට පෙර ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකෙන්ම සම්මත කරගෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ අත්සන ලබා ගැනීම එය ඉදිරිපත් කර ඇති ගුස්ටවෝ රිවේරා ඇතුළු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ගේ ඉලක්කයයි. එහෙත්, තවමත් මෙම පණත කාරකසභා අවස්ථාවේ සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන නිසා එය සම්මත වීමට පෙර සභාවාරය අවසන් වීමට ඉඩකඩ වැඩියි.
මේ පණත සම්මත වුවහොත් ලංකාවට ලැබෙන වාසි මොනවාද?
පණතේ ප්‍රතිපාදන අනුව, ලංකාව වැනි ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ඇති රටකට නිවුයෝර්ක් අධිකරණයෙන් දෙආකාරයක සහන ඉල්ලා සිටිය හැකි වෙනවා.
1) සමානාත්මතා පදනම මත සහනයක් ඉල්ලීම- මේ සහනය අනුව පෞද්ගලික ණයහිමියකුට ඉල්ලා සිටිය හැකි උපරිම මුදල ඇමරිකන් ෆෙඩරල් රජය විසින් ලංකාවට (හෝ වෙනත් එවැනි රටකට) ලබා දී ඇති ණය සඳහා ලබා දෙන සහනයට වඩා අඩු නොවන සහනයක් ලැබෙන මට්ටමක් විය යුතුයි. ඊට වඩා වැඩි මුදලක් ආපසු ඉල්ලිය නොහැකියි.
2) ණය ගෙවීමේ හැකියාවක් නැතිකම මත සහනයක් ඉල්ලීම- මෙය බංකොලොත් වූ සමාගමකට ලබාගත හැකි සහනයට තරමක් සමානයි. මෙම සහනය ලැබුණහොත් ස්වාධීන නිරීක්ෂකයෙකුගේ අධීක්ෂණයට යටත්ව ලංකාවට (හෝ වෙනත් එවැනි රටකට) තමන්ගේම ඒකපාර්ශ්වීය යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා, ණය ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් දෙකක අයිතිය තිබෙන ණයහිමියන්ගේ සහයෝගය ලැබුණහොත් සහ ණය ආපසු ඉල්ලා අධිකරණයට ඉල්ලීම් කරන පාර්ශ්ව වලින් 50%ක අනුමැතිය ලැබුණහොත්, එම ඒකපාර්ශ්වීය යෝජනාව බලාත්මක වෙනවා.
මේ යෝජනාවට සහයෝගය දෙන ලෙස ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින් ඇතුළු විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, රටවල් ගණනාවක හිටපු රාජ්‍ය නායකයින්, බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික නායකයින් ආදීන්ගෙන් සමන්විත පිරිසක් විසින් නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකයින්ගෙන් විවෘත ලිපියක් මගින් විශේෂ ආයාචනයක් කර තිබෙනවා. ලංකාවේ හිටපු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ නමද මෙම ඉල්ලීම කර ඇති අයගේ නම් අතර දැකිය හැකියි.
#ඉකොනොමැට්ටා