ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය ලබන සැප්තැම්බර් 3 දා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය මේ මස 03 වැනිදා ජයවර්ධනපුර රෝහල පාරේ පිහිටි ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පවත්වන බව ශ්‍රීලනිපයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

“එක්වෙමු වෙනසකට සැරසෙමු” යන තේමාව යටතේ මෙවර සංවත්සරය පස්වරු 2.00ට පවත්වන අතර, පක්ෂයේ ප්‍රධානීන්, දිස්ත්‍රික්, ආසන සංවිධායකයන්, කාන්තා සංවිධානය, තරුණ සංවිධානය ඇතුළු පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් මෙය පවත්වන බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු ආසන සංවිධායකයන්ගේ ඉල්ලීම අනුව මෙවර සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය. සංවත්සරය හෙට්ටිපොළදී පැවැත්වීමට තීරණය කර තිබුණ ද පවතින තත්ත්වය හමුවේ කොළඹදී පැවැත්වීමට තීරණය කළ බව ද හෙතෙම පැවසීය.

පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගැළපෙන දේශපාලන පක්ෂවලට ආරාධනා කළ බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පක්ෂ සංවත්සරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පක්ෂ මූලස්ථානයේදී ඊයේ (31) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කරනවා. ශ්‍රීලනිපය කියන්නේ දිගු ඉතිහාසයක් ඇති පක්ෂයක්. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 සැප්තැම්බර් 03 වැනිදා පක්ෂය ආරම්භ කළා. පක්ෂය ආරම්භ කිරීමෙන් පසුව පැවැති පළමු මැතිවරණයේදී මන්ත්‍රීවරු නව දෙනකු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඒ වගේම 1956දී මහජන එක්සත් පෙරමුණ සමඟ සන්ධානගත වුණා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සියලු බලවේග ඒකරාශි කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළා. එදා පැවැති ආර්ථික දේශපාලන තත්ත්වයන් සලකා බලමින් අපේ පක්ෂය කටයුතු කළා. ඒ වගේම අපගේ පක්ෂය යටතේ නායකයන් බොහෝ පිරිසක් බිහිවුණා. ශ්‍රීලනිපය කියන්නේ රට වෙනුවෙන් අතිවිශාල සේවාවක් ඉටුකළ පක්ෂයක්. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළේ එතුමාගේ මූලිකත්වයෙන්. එම ගිවිසුමට බොහෝ දෙනා විරුද්ධ වුණා. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම සම්බන්ධයෙන් අදටත් විවිධ ආකාරයේ විවේචන තිබෙනවා. එම ගිවිසුම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා නිසා එම ගිවිසුම ගිනි තබා විනාශ කරන්න බණ්ඩාරනායක මහතා කටයුතු කළා. එම ගිවිසුම ක්‍රියාත්මක වුණා නම් ප්‍රභාකරන් කෙනෙක් බිහිනොවන බවයි මගේ විශ්වාසය.

ඒ වගේම මැදි පිළිවෙත අනුගමනය කළ සහ අදටත් අනුගමනය කරන පක්ෂය ශ්‍රීලනිපයයි. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පක්ෂය භාර ගනිමින් වගකීම් ඉටුකරන්න පටන් ගත්තා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ විදෙස් සබඳතා ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වුණා. වාම, ප්‍රගතිශීලි මැදි වැඩපිළිවෙළක් එතුමිය විසින් අනුගමනය කළා. බමුණු කුලය බිඳ දමමින් කටයුතු කරන්න ඇයට හැකි වුණා. ඒ වගේ දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙනවා. කොහොම වුණත් විවිධ වකවානුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දීම වෙනුවෙන් විවිධ නායකයන් පත් වුණා. ඉදිරියේදී මොන මැතිවරණයක් පවත්වයිද කියා නිශ්චිත අදහසක් අපට නැහැ. නමුත් මොන මැතිවරණයක් පැවැත්වුවත් ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් ශක්තිමත්ව ඉදිරිපත් වීමේ හැකියාව අපට තිබෙනවා. ඕනෑම මැතිවරණයකට අපි ශක්තිමත්ව පෙනී සිටිනවා. අපගේ කඳවුර සමඟ එකට කටයුතු කළ හැකි සියලු දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරියේදී සන්ධානගත වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ පක්ෂවල ප්‍රධානීන් සමඟ මේ වන විට සාකච්ඡා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා, පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහත්වරුන් ඇතුළු පක්ෂයේ ආසන සංවිධායකයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Social Sharing
නවතම පුවත්