උඩරට කඳුකර දළුලන කවිය – එම් අනූෂන්

ලංකාවේ කඳුකරය සහ එහි ස්වභාවික පිහිටීමේ ඇති මනස්කාන්ත බව පිළිබඳ කවි ගීත සෑහෙන ප්රමාණයක් ලියවී බිහිවී තිබීම නොරහසකි. එම කවි ගීත ඔස්සේ තේ නෙලන ළඳුන් ගැන, ඔවුන්ගේ රතැඟිලි සැලෙන යුරු ගැන වර්ණිත රූපරාමු පෙළක් අපට මවා දී ඇති නමුත් ඒවා වලංගු වන්නේ සිංහල කවි ගීත සාහිත්යයේ සිට කඳුකරයේ තේ වත්තකට බසින තෙක් පමණි.
අප ඇස් වල ඇලවෙන ඒ පාරිසරික දසුන් කොතෙක් මනරම් වූවද ඉන් එහා බැලූ විට පෙනෙන්නේ වතුකරයේ ජනතාව ගෙවන දුර්වර්ණ වූ ජීවිත පේළිය යි. සාහිත්යයෙන් ද ස්වභාවික සුන්දරත්වයෙන් ද එසේ දුර්වර්ණ වූ පෙදෙස් වසාලීමට අපොහොසත් ව ඇති බව ඔබට දැනෙන්න, පෙනෙන්නට, සොයන්නට පසුගිය දින කිහිපයේ ම ඉඩ ලැබිණි යැයි සිතමි.
මම දිගහරින්නට සැරසෙන්නේ සාහිත්ය පිළිබඳ කතාවකි. ඒ වතුකරයේ ජනතාව අතරින් නැගෙන සාහිත්යය සහ ජනප්රිය සිංහල සාහිත්යය ගැනය. අපේ සාහිත්යය සහ ඔවුන්ගේ සාහිත්යය තුළ මේ මිනිස්සුන්ගේ ජීවිත දියවී ඇත්තේ මුලුමනින්ම වෙනස් ආකාරයකට ය. ඛේදවාචකයන් හට සෞන්දර්යාත්මක මුහුණුවරක් ආරෝපණය කිරීම සාහිත්යය නොවන බව මගේ හැඟීමයි. නමුත් අපට සමීප සිංහල භාෂාවේ සාහිත්යය ඉතිහාසය පුරා කර ඇත්තේ මෙය යි. සිංහල සාහිත්යය තුළ වතුකරයේ ජීවත් වන ජනතාවගේ ජීවිත වල තාත්විකත්වය ගෙනහැර දක්වන්නේ ඉතාමත් කලාතුරකින් ය. පද්මිණි ශ්රියාලතා කිවිඳිය ගේ ‘වම් ඇස’ නම් කාව්ය සංග්රහයේ අපේ රටේ බිම් අඟලක් ශීර්ෂයෙන් යුතුව එන කවි පංතිය එවැනි නිර්මාණයකි. ඔබට කියවීම පිණිස කවි පංතිය පහතින් අලවමි.
_________________________________________________
නිමිත්ත – ද්රවිඩ වතු සේවකයන් වෙත නිවාස ඉදිකර ගැනීම සඳහා පර්චස් 6 ක ඉඩම් කැබැල්ලක් ලැබුණු දා ඔවුන් සතුටින් ඉපිලෙමින් සිය අදහස් ඉදිරිපත් කරනු ගුවන් විදුලියෙන් අසා සිටියෙමි.
ලෙච්චමීට කන්මනීට සිංදු ලියපු මහත්තැන්ල
අපේ කඳුළු කතිරවලට මාරු කරපු මහත්තැන්ල
අත උඩින් ම කාසිවලට අපි විකුණපු මහත්තැන්ල
ලැයින් කාමරේ සිව් කොන ඇහින් නොදුටු මහත්තැන්ල
මොට්ටැක්කිලි හිස ඔසවා අරුණෝදය ඇස් අරින්ඩ
ඉස්සර අපි අවදිවෙලා පාන්දරින් එළි බහින්ඩ
දුවගෙන දුවගෙන යනකොට තේ ගස් යට වාඩිවෙන්ඩ
වළිකුකුළොත් හිනා වුණා ලැජ්ජයි ඇත්තට කියන්ඩ
පරම්පරා දහ දොළහක් අපි හිරේට නියම වෙච්ච
අල්ලක් වැනි හුණ්ඩුව තුළ ලට්ට ලොට්ට ගොඩ ගැහිච්ච
රෑ අඳුරේ කසුකුසුවෙන් අම්ම අප්පා හති වැටිච්ච
හැටි ඇහුණත් නෑහුණ සේ දවස් ගණන් නෑ ගෙවිච්ච
අයිය, අප්පා කාමරයෙන් එළියට යනකල් ඉදලා
මාරු කරන්නෙ ඇඳුමක් හොඳටම කල් යල් බලලා
අසං වසං කළ යුතු දේ ගෑණු අපිට ගොඩ ගැහිලා
දොට්ට පිලට යන්නෙත් අපි කළුවර වෙනකම් ඉදලා
මහ වැස්සට පොඩි උන්ටික අරන් දුවල ඉස්කෝලෙට
පෑව්වාම යළි එන්නෙත් අපිට උරුම මේ ස්වර්ගෙට
අපේ බිමෙන් බිම් අඟලක් අපිටම යැයි තියා ගන්ට
දුන්න පිනෙන් මහත්තයෝ ඔබ මතු බුදු බව ලබන්ඩ
_________________________________________________
වතුකරයේ ජනතාව මුහුණ දෙන අටෝරාසියක් ගැටළු අතරින් එක් පදාසයක් පද්මිණි ශ්රියාලතා කිවිඳිය අපට අනාවරණය කරන්නේ එලෙසිනි. මට අනුව මෙම නිර්මාණය ආනන්දයෙන් ප්රඥාවට රැගෙන යන කවි පංතියක් නොවේ. මෙහි ඇත්තේ ආනන්දයක් නොලබන ජීවත වල කඳුළු කතාවකි. අනන්ත අප්රමාණව මේ බිමේ ඇති එවැනි කඳුළු කතා අපිට සමීප නොවන්නේ සංස්කෘතික සහ භාෂාමය මායිම් නිසාවෙනි.
කෙසේ නමුත් දැන් මම ඔබට කියන්නට යන්නේ හැටන් කොටගල වතු යායේ දළු ලා වැඩෙන තරුණ කලාකරුවකු පිළිබඳවය. පසුගිය දින කිහිපය උඩරට වතුකරයේ ජනතාව සමඟ ගෙවා දැමීමට හැකි විය. එය විවිධාකාරයේ හමුවීම් ජීවිතයට මුණගැස් වූ දින කිහිපයකි. එම් අනූෂන් නැමති කලාකාමී තරුණයා මට හමුවන්නේ ඔය අල්ල පනල්ලේ දී ය. මස්කෙළිය බ්ලූම්ෆීල්ඩ් දෙමළ මහා විද්යාලයෙන් අධ්යාපනය ලත් අනූෂන් ඔහුගේ පාසල් ජීවිතය තුළ කෙටි නාට්ය කිහිපයක් නිර්මාණය කර ඇති අතර ඒවා විවිධ ඇගයීම් වලටද පත් වී ඇති බවට මතක් කර දුන්නේය. 2019 වසරේ දී “මනිදම් එංගේ” නමින් කෙටි නාට්යයක් නිර්මාණය කරමින් අනූෂන් අසන්නේ මනුෂ්යත්වය කොහේද කියා ය. ඉන් අනතුරුව “කඩන්දෝඩුම් නෝඩිගල්” යනුවෙන් කෙටි නාට්ය එකතුවක් ද ඔහු නිර්මාණය කර ඇත.
පාසල් අධ්යාපනයෙන් පසු උඩරට වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් දිගින් දිගටම ලියූ එම්.අනුෂාන් කවියා 2021 වසරේ උඩරට වතු කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් සිය දෙවැනි සාහිත්ය කෘතිය වන “මලයිකුරුවියින් අදංගම්” ඉදිරිපත් කළේ ඔවුන්ගේ කඳුළු කතා විස්තර කරමිනි. මෙම කවි පොත උඩරට පමණක් නොව දෙමළ බස කතා කරන බොහෝ අය අතර ඉහළ ප්රතිචාරයක් ලබා ඇති අතර අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සිදු කළ හඬ නැඟීමක් ලෙස ඔවුන් අර්ථකථනය කර ඇත. 2021 වසරේ ප්රකාශයට පත් කරන ලද මෙම ග්රන්ථයේ දෙවන මුද්රණය පාඨක ප්රසාදය නිසාවෙන් මේ වන විට සකස් වෙමින් පවතින බව අනූෂන් පැවසීය.
         
ඒත් සමඟම අනූෂන් පිළිබඳ ව ගෙනෙන්ට සුබ ආරංචියක් ඇත. ඔහු ගේ කෙටි කවි ගොමුවක් කවි එකතුවක් ලෙස අගෝස්තු මාසයේ එළිදැක්වීමට නියමිත ය. “සිරගිරුන්දල්” නමින් යුත් එම කාව්ය සංග්රහය ශ්රී ලංකාවේ විවිධ සමාජ ස්ථරවල ජීවත් වන දමිළ ප්රජාව මුහුණ දෙන ගැටලු ධීවරයින් මුහුණ දෙන ජීවනෝපාය ගැටලු, නොසලකා හරින ලද වැඩිහිටි ප්රජාවගේ දුක්ඛිත තත්ත්වය, උතුරු හා නැගෙනහිර පළාත්වල සහ එම ප්රදේශයන් හි සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ තත්වය පිළිබඳව අවධානය යොමු කර ඇත. අප සමාජයෙන් නැඟිය යුතු නිවැරැදි හඬක් ලෙසින් මහත් බලාපොරොත්තු ඇතිව එළිදක්වන මෙම කෘතිය අගෝස්තු 27 වැනිදා පෙරවරු 9.30ට උඩරට ජ්යෙෂ්ඨ ලේඛක රත්න එම් සිවලිංගම් මහතාගේ ප්රධානත්වයෙන් බ්ලූම්ෆීල්ඩ් විද්යාලයීය ප්රධාන ශාලාවේදී එළිදැක්වීම විශේෂත්වයකි.
කෙසේ හෝ අනූෂන් ලා ඔවුන්ගේ ප්රශ්න දෙසට සමාජ සහකම්පනය සහ අවධානය යොමු කර ගැනීම ඉතාමත් සාධනීය කාරණාවකි. ඔහු කරන මේ මැදිහත්වීම මඟින් වතුකරයේ ජනතාව පෙළන දහසකුත් ජීවන ගැටලු පිළිබඳව සමාජය සවිඥානික වෙතැයි අපට කිසියම් බලාපොරොත්තුවක් ගොඩ නගා ගහ හැක. ප්රශ්නය තිබෙන්නේ වෙන තැනකය. සිංහල සාහිත්යය විසින් උඩරට වතු කම්කරුවන් ගේ ජීවිත වල තැවරූ අයිසින් තට්ටු අනූෂන් ට තනියම සෝදා යවන්නට නොහැකිය. එසේ නම් අප කළ යුත්තේ අනූෂන්ගේ සාහිත්යය භාවිතාව කියවීමට පටන් ගැනීමයි. භාෂාව හරස් වෙන්නෙ මෙන්න මෙතැනදීය. භාෂාවේ නොදැනුවත්කම පිළිබඳ වරදකාරි හැඟීමක් ඔබට මට දැන් දැනෙන්නට පුළුවන. නමුත් එයට වගකිව යුත්තේ අනූෂන් ලා වත් ඔබ මමවත් නොවේ, ඉතිහාසය පුරා සංහිඳියාව සහ සංස්කෘතික සංකලනය ප්රතික්ෂේප කළ මිනිසුන්ය.
-සමුදු බස්නායක-
Social Sharing
අවකාශය නවතම පුවත්