විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!

තමාට එරෙහිව සමගි ජනබල පක්‍ෂය විසින් කථානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් තමාට සහාය පළ කිරීමට එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඊට හේතු ලෙස ඔවුන් පැවසුවේ එම විශ්වාස භංගයට අදාළ කරුණු සියල්ල අසත්‍ය බවට මේ වනවිට විද්‍යාත්මකව ඔප්පු කර තිබීම යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

විශ්වාසභංගයට ඇතුළත් කර ඇති ප්‍රධාන චෝදනා වන බාල ඖෂධ ගෙන්වීම සහ ඖෂධ අසාත්මික වීම නිසා රෝගීන් මිය යෑම යන කරුණු මේ වනවිට ජාත්‍යන්තරව පිළිගත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද සහභාගිත්වයෙන් පත්කර ඇති තාක්ෂණික කමිටු විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද එබැවින් චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ම තමාට දැනුම් දුන්නේ යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

එබැවින් තමා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් විශ්වාසභංග යෝජනාව විවාද කර ඡන්දය විමසීම සඳහා කථානායකවරයාගෙන් දින ලබාගන්නා ලෙස බවද ඇමැතිවරයා කීවේය.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළවිට ඊට ප්‍රමුඛත්වය දීම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය බවත් විපක්‍ෂ නායකවරයා එම සම්ප්‍රදාය කඩකරමින් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට කල් මරමින් සිටින බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.

තමා මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන ඨ – 20 සමුළුවට සහභාගි වී සිටින බවත් එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවට මේ වනවිට ලොව බිලියන 08ක් වූ ජනගහනයෙන් සියයට 20කට ඖෂධීය නාමයෙන් ඖෂධ නිෂ්පාදනය කරන රට බවට පත්ව ඇති බව සඳහන් කළ බවත් ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකාවට ද දැනට ඖෂධීය නාමයෙන් ආනයනය කරන ඖෂධවලින් සියයට 90ක් ම ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බව ඔහු සඳහන් කළේය.

එබැවින් ගුණාත්මක බවින් තොර ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය ආනයනය කර ඇති බවට විපක්‍ෂය කරන චෝදනා අසත්‍ය බවට ඔප්පුවන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

Social Sharing
නවතම පුවත්