මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා කජු ගස් යට කජු වැහි වැහැලා..!

-කේ. සංජීව-

අලුත් අවුරුද්ද කිට්ටු කියන්නේ අපි කජු පුහුලම් ගිලලා මට්ටු මට්ටු කාලේ. රත්නපුරේ කියන්නේ ඉස්සර කජු ඕසෙට. ඇත්තටම අපි අවුරුද්දට කජු එකතුකරලා විකුණලා බූරු ගහන්න කැටගහන්න නොම්බර අදින්න සල්ලි එකතු කරගන්නවා. අපිට තියෙන්නේ එහෙව් කජු අතීතයක්. රබර වතු දම් යායවල් අස්සේ කජු යායවල් තිබුණා. පෙතන් කජු තිබුණා. බටු කජු තිබුණා. අප්‍රේල් මුල කියන්නෙ පූලාන් ලා පාටට හැරිලා රතුකහා වෙන කාලේ. අපි ඉතිං ඉස්කෝලේ ගිහිං ඇවිත් මුලින්ම කොරන්නේ කජු කඩන්න කන්දට නඟින එක.

අපි අපිටම නම් කරගත්ත කොලු කෙලි සනුහරේ නමට ලියාගත්ත කජු ගස් තිබුණා. ඉඳලා හිටලා ඉතිං හොරෙන් කජු ගස් සුද්ධ කරපු වෙලාවල් තිබුණා. කජු කියන්නේ නඩුවක්, කිරි ගෑවුණාම වනවෙනවා හම යනවා. අප්‍රේල් නිමාඩුව ඉවර වෙලා අපි ඉස්කෝලේ ගියේ අත්වල කකුල්වල කජු මතක සලකුණු තියාගෙන.

අපිට ඉස්සර පොඩි කාලේ කජු රණ්ඩු තිබුණා. තවත් වෙලාවක ජංගි කොටයක් විතරක් ගහගෙන එන කෙලි නංගිලා එක්ක කජු සෙනෙහස් සනහස් රහස් තිබුණා. ඒකත් හරියට කජු පුහුලන් ඔක්කාරෙට කෑවාම උගුරේ බැඳෙන ලාටුව වගේ. ඒක බැඳුනාම ඉතිං බොල් කැස්ස තියෙනවා සතියක් දෙකක්. ඒවා තමයි කජු සෙනෙහේ මතක.

සමහර කජු ළදු මතක අස්සේ තියෙන්නේ අම්මගේ කෑගැසුම් එරවුම් රැවුම් ගෙරවුම්. කජු ඇහිදින්න උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති බෑස්තිය කියන්නේ ගෙදර ගල්ෆ් යුද්දේ පටන් ගත්තාහේ. ඒත් ඉතිං අපි දූනවා ඇහිදිනවා පොලු ගහනවා. සමහර දාක හොඳම යාලුවාට පූලමක් අරන් යනෝ. සමහර දැවැන්ත ගස් තිබුණා කජු බිම හලාගෙන උදේට බලාගෙන ඉන්න. ඒ රෑට වව්ලු හොඳට ඒ ගස්වල එල්ලිලා ඉන්න නිසා. අපේ ගේ ළඟමයි තිබිණේ පාගොඩ මාමගේ හරක් ගාලා ඒක කනු උස්සපු වහලේ ටකරම් තිබ්බ හෝලෙකක් වගේ එකක්. උදේට ඉතිං හරක් මඩුවේ ඕසෙට තිබුණේ කොස් ඇට. නැත්තං කොට්ටම්බා. නැත්තං කජු.

මා වව්ල්ලු රෑ පුරාම රංචු ගැහීලා පාගොඩයගේ ගේ පුරාම කජු වැහි වැහැලා කියලා සිංදු කිය කිය ඇහිදින්නයි තියෙන්නේ. උන් එල්ලිලා එන්න එනකොට කජු පුහුලම් අරගෙන තාමයි එන්නේ. කජු පුහුලම කාලා කජු ඇටේ අපිට වීසිකරලා යන්න උන් අමතක කළේ නෑ.

ඉස්සර අපි කජු විකුනුවේ හුණ්ඩුවට. ඒ රත්නපුරේ හත්මාළුවට කජු අනිවාර්යයෙන්ම ගන්න නිසා. ඉතිං කජුවලට විශාල ඉල්ලුමක් තිබුණා. මැණික් වෙළෙන්දෝ එහෙම කජු ගත්තා හොඳ ගානට. රත්නපුරේ ටවුන් එක ගැන දන්න අය දන්නවා නැකැත් දවසේ උදේට කළින් දවසේ හවසට එළවළු ලෑල්ලට එන රතු තම්පලාවිය ගැන. මිටි මිටි ගහලා හිනාව ඉහිරන් ඉන්නේ හත්මාළුවට බහින්න. ඊළඟට කොස්ඇට ඊළඟට කිරිඅල ඊළඟට වට්ටක්කා දළු මිටි.. ඊළඟට කජු.. ඒ කොහොම වුණත් කජු කියන්නේ අද වගේ ගරු ගාම්භීර කෑමක් නෙවෙයි එදා. හැබැයි සපරුන් හැමදාම කජු උයලා කෑවා.

හත්මාළුව

හත්මාළුව තමයි ජනප්‍රියම කජු රස. ඒක ඉතිං අවුරුද්දට එක සැරයි නෙව. ඒත් අපි කිරිකජු පොල් කිරේ පාකරවලා මාළුවට ඉව්වා. හොඳට උම්බලකඩ සුදුළූණු රතුළූණු දාලා ඒවා එව්වේ ගම්මිරිසෙන්. සුදුම සුදුයි. ගම්මිරිස් ඇට කළුවට කෑලී බෑලී වෙලා පාවුණා. කොළ මිරිස් දිගට කපලා වීසි කළා. හැබැයි කොළපාට ආරක්ෂා වෙන්ට ඕනී ඒකයි පදම. කරපිංචා උනත් එහෙමයි. චරස් චරස් ගාලා හැපුනා ලොකු ළූණු රවුම්. ඒකයි රස්නේ ප්‍රමානය. ඒක වෙන ලස්සනක් රසක් අරගෙන ආවා.. හොද්දේ කිරේ කැටිවෙන්න නොදී කජු පොඩි වෙන්න නොදී හැදිගෑවාම තමයි උපරීම රස. ඇත්තටම ඒක රත්නපුරේ ට සුවිශේෂ කෑමක්.

කිරිකජු දුමට දැම්මාම කොට්ට කජු උනා. අපි ඒවා අවුරුද්ද පහුවෙලා එන චුරු චුරු වැස්සේ ගේ අස්සට බලෙන් රිංගපු සීතලෙන් වහන් වෙන්න ළිප් බොක්කේ හැංඟුනාම ළිපට වීසි කළා. චූස් ගාලා පොඩි සද්දයක් දාලා කිරිටිකට හොඳට ගිනි ඇවිලුනාම අපි ඒක බොක්කෙන් ඇදලා අරගෙන බමරචක්‍රය වගේ බිම තියලා ගිනි පේල්ලෙන් ගහලා නටවලා කිරි කජ්ජ එළියට පැන්නුවා. සමහර වෙලාවට දාර පිච්චිලා කළුවෙලා. ඒක එතකොට මාර රහයි. අපි දැන් සැප ගනන් දීලා රෝස්ට් කජු කියලා කන්නේ අන්න ඒ රසට වඩා සසයි ඒක.

ඊළඟට ඉතිං අපි කජු ලෙලි පිච්චුවා ගංවතුරට ගෙඩ ඉගිල්ලෙන හෝහපුට්ටන්ට. ඒක ටිකක් සැර දුමක්. ඒත් ඉතිං ඇගේ පලු ආවේ නෑ ඒ දුම නිසා. ඒ කජ්ජේ තවත් ගුණයක්. පුහුලමේ නේ කජ්ජන් කියලා.

හැබැයි ඉතිං ඔය මොනා කයි ගැහුවත් අපි වැඩිම ආසාවකින් කෑවේ මොනාද ඇහුවොත් ඒ කජු පුහුලම් තමයි. ගහේ නැඟලා කට දෙපැත්තෙන් බේරෙන්න පැණි සුර සුරා කනකොට තමයි මොර හූරන්නැහේ රස වැස්සේ දිව උඩට. ගහා ඕසෙට කජු දෙනකොට පූලන් කාලා ඇතිවුණාම අපි පූලම් බැගයක් ගෙදර අරගෙන එනවා. අරං ඇවිත් රවුම් රවුම් පෙති ගහනවා. ගහලා ඒකට දානවා ලුණු වතුර පදමට. ඊළඟට දෙහි. ඊළඟට රතු මිරිස් කුඩු.

ඊළඟට ගම්මිරිස් කුඩු. ඊළඟට ඉතිං සීනි, සීනි සුඟක් හොඳට හොද්දට කලවම් කරලා අරං කන්ද නැඟලා ගලක් උඩ වාඩිවුනාම දිව්‍යලෝකේ පෙනුනා සමනැළ කන්දේ හොටේට උඩින්. ඒකයි පූලම් ආදරේ.

 

ඒත් දැන් කොළඹට ඇවිත් ඉන්න අපිට කජු හිනාවෙනවා විරිත්තනවා. අනේ අපි ඇතිවෙන්න කාලා තියෙන්නේ කියාගෙන තමයි අපි දැන් ඔය ෆුස් කැෂූස් හට්ස් ළඟින් යන්නේස්.

රබර් ගැලවිලා තේ කඳු උඩට ආවා විතරයි කජු ගහා වාෂ්ප වුණා. බලා ඉන්නැද්දි කජු සංස්කෘතිය වලපල්ලට ගියා. දැන් ඉතිං අලුත් අවුරුද්දට කජු හොයන්න අපේ අම්මලා නොවටින දුක් විඳිනවා. සමහරු කජු දාන්න බැරිනිසා හත්මාළුව නොවියා ඉන්නවා. හැබැයි ඒ කැමැත්තකින්නම් නෙවෙයි. කොරන්නම දෙයක් නැතිකමට.

Social Sharing
අවකාශය නවතම