ඇමරිකාවේදී මට නොමිලේ නවාතැන් ලැබුන නිවස අයිති මම වැඩ කරන සමාගමේ ම පුරෝගාමී සේවයක් ඉටුකළ මහත්මියකට. ඇය නමින් කැත්ලින්. ඇය 14 වසරක සිය සේවය නිමාකරේ පසුගිය මැයි 31 වෙනිදා. දෛවෝපගත විදිහට මම සේවය ආරම්භ කරෙත් එදාමයි. දැන් ඇය ඇයට අයත් අක්කර 160ක වපසරියකින් යුත් අප වෙසෙන නිවස වටා ගොවිපොළේ දෛනික රාජකාරි සමග දිගටම වගාව, සත්ව පාලනය සමග සිය විශ්‍රාම දිවිය ගතකරමින් ඉන්නවා.
ඇමරිකාවේ සෘතු බේදයක් තියෙනවා. මේ මොහොතේ වසන්ත කාලේ. වසරේ අග හිමෙන් වැසෙන සීත සෘතුව. සීත සෘතුවේ වගාව අතිශය අභියෝගයක්. නමුත් මේ අය කවදාවත් හාමතේ හිටියේ නෑ.
ඊයේ දවසේ අපි වෙසෙන සුවිසල් නිවසේ කාමරයකට හදිසියේ ඇතුළු වුනා. මගේ ඇස් අදහා ගන්නට නොහැකි තරම් ආහාර ප්‍රමාණයක් එහි අනාගතය වෙනුවෙන් පරිරක්ෂණය කරලා තිබුනා. කැත්ලින් ආහාර පරිරක්ෂණයේ කෙළ පැමිණි කාන්තාවක්. ඒ ගැන මම ඇමරිකාවට පැමිණීමට කලින් දැනගෙන හිටියා ඇයගේ ඊමේල් පණිවිඩයක් මඟින්. ඒත් ඒ හැකියාව මේ තරම් කියලා මම හිතුවේ නෑ. තක්කාලි, අර්තාපල්, බෝංචි, කැරට්, බීට්, බණ්ඩක්කා, ඇපල්, සුදු ළූණු ඇතුළු විශාල ප්‍රමාණයක් විවිධ ආකාරයට පරිරක්ෂණය කරලා බෝතල් වල අසුරලා. තක්කාලි, බණ්ඩක්කා වේලලා. චිප්ස් වගේ කන්න මටත් ලැබුනා ටිකක්. කවදා කාපු බණ්ඩක්කද මෙහෙම කියලා හිතුනා. පුදුම රහයි.
ලංකාවේ එළවළු මිළ පහුගිය දවස්වල ඉහළ ගිය විදිහ කාගෙත් ඉහමොළ රත්කරා. හැම අවුරුද්දෙම එහෙම කිහිප වතාවක් මිළ සෑහෙන වැඩිවෙනවා. ඒ වගේම කාලයකට පහළ යනවා. ඒ කාලෙට දඹුල්ල පිරී ඉතිරෙනවා. වැඩි හරිය නගර සභාවෙන් අරන් යනවා. සමහරවිට අලින්ගේ ආහාර වෙනවා. මම දන්නවා ලංකාවේ ආහාර පරිරක්ෂණයේ යෙදෙන අය ඉන්නවා. විවිධ අත්හදා බැලීම් එක්ක වාණිජව අපනයනය සඳහාත් ඒවා නිෂ්පාදනය කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. එක අතකට ආහාර තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙක් විදිහට මම ලැජ්ජා වෙනවා මේ ගැන ප්‍රායෝගිකව යමක් නොකිරීම ගැන. කොහොම වුනත් දැන් මම කැත්ලින්ගෙන් මේ ගැන ඉගෙන ගන්නවා. වවන විදිහ, හදන විදිහ වගේම කන විදිහත්. අනාගතය වෙනුවෙන් !
මම
සංජන රවිඳු
ඇමරිකා එක්සත් ජනපදයේ සිට