-කේ. සංජීව-
ඊයේ මම කොළඹ ආපු බස්සෙකේ වීඩියෝ එකක් දැම්මට පස්සේ ගොඩක් අය කීවේ උබලට ෆේස්බුක් එකේ ලොකු ලොකු ජල්ලි අල්ලන්න ඇහැක් වුණාට බස් එකකට නැග්ගාම මීයෝ වගේ ඔහේ යනවා කිසිම විරෝධයක් නෑ කියලා. ඒ වීඩියෝ එක ගැන මුලින්ම කියන්නම්. මම ඊයේ කොළඹ එන්න අලුත්ගමින් බස් එකකට නඟිනවා. ඒක මාතර ඉදලා එන බස් එකක්. ඒ බස් එක ඇතුල හරියට නයිට් ක්ලබ් එකක් වගේ කීවොත් හරියටම හරී. ලේසර් ලයිට් සිස්ටම් එක නිසා ඒක එහෙමයි. ඉතිං මේ ගැන මම ෆේස්බුක් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කළාම මට ආපු ප්‍රතිචාර අතර ගොඩක් දෙනෙක් කීවේ ඔය ලයිට් සිස්ටම් එක සහ කැසට් රෙකෝඩරය ඕෆ් කරන්න ඇයි කටයුතු නොකරන්නේ කියලා.
ඉතිං ඒ අයියනායකලට කියන්න තියෙන්නේ මමත් කාලයක් බස්වල අයියනායක වගේ සද්දේ දාලා කැසට් වැහුවා. පොලීසියට පැමිණිලි කරලා බස් එක මගින් නතර කළා. ඒත් මම ඒවායින් තේරුන් ගත්ත දෙයක් තමයි අපි මේ කෑගහන්නේ, වලි ඉල්ලන්නේ චූල සංස්කෘතියක් වෙනුවෙන් නේද කියලා.
ඇත්තටම බස් එකේ මේ සද්දේ වහන්න, හෝන් ගලවන්න, සීට් ගානට පටවන්න, හෙමීට යන්න, විනයක් ඇතුව රේස් යන්නේ නැතිව පාරේ යන්න, වගේ ඉල්ලීම් කියන දේවල් ඒවා සුළුතර ඉල්ලීම්. ඒක හරියට සමලිංගික විවාහ නීතිගත කරන්න එහෙමත් නැත්තං උතුරට බලය දෙන්න වගේ ඉල්ලීම්. ඒවා චූලයි. මේ රටේ මහා සම්ප්‍රදාය කියන්නේ වෙන දේකට.
මම ඊයේ දෙකක් දාලා මේ ගැන තව ටිකක් එහාට කල්පනා කළා. සිරසට 25ක් නිසා ඒකත් ආදලා මට මේක ලියන්න ඕනී කියලා හිතුවා. ඉස්සර අපේ ගමට මැණික් ගලක් හම්බවෙලා කවුරු හරි සෙට් එකක් ගෙනාවාම එදා රෑට මුලු ගමටම ඇහෙන්න ජෝතිපාල මිල්ටන් ගේ සිංදු දානවා. කවුරුත් එහෙමට විරුද්ධ වෙන්නේ නෑ. ඒ සද්දේ නිසා සමහරවිට අල්ලපු ගෙදර එවුනුත් හෙට කොහොමහරි කරලා කැසට් එකක් ගේනවා. මුල්ම කාලේ සිරිලක් ෆැන්සිහවුස් එකෙන් ගහන කවි බන කැසට් මහා හයියෙන් දාන පිස්සුවක් ආවා. ඊළඟට තමයි ඔය ජෝතිලා මිල්ටන් ලා ආවේ.
ඇත්තටම මට වෙලාවකට හිතෙන්නේ අපිත් අර දකුණු ඇමරිකන්ස්ලා වගේ ජාතියක් කියලා. බස් එක මාරාන්තික වේගෙන් යනකොට අපි මාර ආසයි. එහෙම වේගෙන් යනගමන් ඉස්සරහා බස් එකට වෙට්ටු දානවා නම් අපිට තවත් ෆන්. ඊයේ බස් එකේ එකෙක් වලියක් ඇද්දා වේගෙන් යන්නේ නෑ කියලා. පානදුරේ නතර කළාම ඌට ඌරු ජුවල්. මිනිහා මාතර ඉදම ගේම ඉල්ල ඉල්ල තමයි ඇවිත් තියෙන්නේ. අන්න ඒක මහාසම්ප්‍රදාය. අනේ හෙමින් යමු කියන අපි අයිති වෙන්නේ කූඹින්ට.
ඉස්සර අපි ගමේ කඩේ ගාව හවසට රංචු ගැහිලා ඉන්නකොට ඔන්න කවුරුහරි එකෙක් බයික් එකක ඇවිත් කියනවා, අන්න පාරවල් හතර ගාව අපේ එකෙක්ට ගහනවා යමං කියලා, ඔන්න අපි පෙරහැරක් වගේ බයික් වලින් යනවා. අපි යනකොට වලිය ඉවර වෙලා. ඒත් ඉතිං අහල කඩේක වීදුරුවක් හරි බිඳලා තමයි එන්නේ. ඊළඟට අපි ඉස්සර රෑට කඩේ ගාව ඉන්නකොට එකෙක් මහා ආතල් එකක් හොයාගෙන තිබුණා, ඒ තමයි පාරේ යන නන්නාඳුනන බයික්කාරයන්ට චූටි කෝට්ටකින් කිස් ගාලා පාරක් ගහන එක. පිටිපස්සේ ඉදගෙන යන කාන්තාවකට ගැහුවාම තමයි ඒ ආතල් එක දෙගුණ වෙන්නේ. එතනත් අනේ මේක නම් හොඳ දෙයක් නෙවෙයි කියලා හිතපු මම වගේ එවුන් වැටුණේ අර ඇමරිකාවේ හිපියන්ගේ ටයිප් එකට තමයි.
ඉස්සර අපි මළ ගෙවල්වල ගියේ ආතල් එකට. ගමේ යාළුවන්ගේ වැඩිවිය මඟුල්වලට ගියේ ආතල් එකට. එහෙම ගිහිං ඒ ගෙදරම අපි වටේ කරකෝගෙන ආතල් ගන්න තමයි අපි ට්‍රයි කලේ. ඒවා ඇත්තටම බැලුවොත් ෆිල්ම් තමයි. ඉස්සර අපේ ගම්වල සමහර ගෙවල් මේ බස් වගේ තමයි. හැම බිත්තියේම කැලැන්ඩර්. එකක විනිල් මැණික්. අනික් එකේ ගුරුගේ. අනෙක් එකේ රත්නාලෝක. තවත් එකක තිස්ස අප්පෝ. තවත් බිත්තියක පොඩි මල්ලී ජෙම්ස්. සමහර ගෙවල් වල විජය මාලනීගේ ලොකු පෝස්ටර්. වරිච්චි මැටි බිත්ති, ඊළඟට නිරුවස්ත්‍ර සිමෙන්ති ගල් බිත්ති වැහිලා තොබුණේ ඔන්න ඔය වගේ විච්චූරණ වලින්. දැන් ප්‍රයිවට් බස් එකක ඇතුල වගේ.
ඔය විච්චූරණ ඔටෝමැටික් බල්බ් වැල් ආපු කාලේ මට මතකයි ගෙවල්වල සාලේ සැටිය වටේට පවා ඔය බල්බ් වැල් එල්ලුවා. ඇත්තටම බැලුවාම ඒක තමයි අපේ මහාසම්ප්‍රදාය. ඇත්තටම අද අපි මේවා දකින්නේ අවුල් විදිහට. ඒත් ඉතිං ඒක මේ අපි වගේ පුංචි ප්‍රජාවක් විතරයි. ඕනීම රටක එහෙම හිපියෝ ඉන්නවා. උන්ට ඉතිං සදාකාලික නිවනක් නෑ. ඒ හීපියෝ අස්සේ මං වගේ පාහරයෝ ඉන්නවා. මේ ලෝක දෙකේම එහේ මෙහේ යන එවුන් පිනුම් ගහන එවුන්. අපි තමයි මහිතේ මේකේ ආතල් එක හොඳටම ගන්න එවුන්.
මට ඊයේ රෑ මේ ගැන තවත් හිතනකොට මතක් වුණා Alejandro González Iñárritu ගේ බාබෙල් කියන චිත්‍රපටිය. එකේ අර මෙක්සිකන් නැනී එයාගේ පුතා එක්ක ඇමරිකාවේ ඉඳලා රෑ මෙක්සිකන් බෝඩර් එක ක්‍රොස් කරලා මෙක්සිකෝවේට යන සීන් එක මතක් වුණා. ඇත්තටම අපේ ජීවිතත් එහෙම තමයි. මම නම් කියන්නේ ඊට වඩා වෙනසක් නෑ. රත්නපුරේ අපිට තිබුණ නයිට් ලයිෆ් එක එහෙම දිහා බලනකොට ඇත්තටම අපේ ඇගේ තියෙන රිද්මය ඒක තමයි. ඔය තිස් අවුරුදු යුද්ධය වුණත් අපිට ආතල් එකක් විතරයි. ඊට කළින් 88/89 වුනත් ආතල් එකක්. මිනීමරණ එක විතරක් නෙවෙයි මරණයට ආතල් එකේ මූන දෙන එකත් අපේ ලයිෆ් එක අස්සෙම තියෙනවා.
ඉතිං මෙන්න මේ මහාසම්ප්‍රදාය නැතිනම් මහා ආඛ්‍යානය සිරස හරියටම අල්ලගත්තා. ඒහින්දා තමයි මොන චැනල් ආවත් සිරස තවම පාර කියන්නේ. හේනේ පැල් රකින එකාට, ඒකේ ආතල් කෑල්ල අල්ලලා දුන්නේ සිරස. අලියා ගහන්න ඔන්න මෙන්න තියෙද්දිත් ඌ සිංදු ඉල්ලන මට්ටමට මේක ගෙනාවා. මට ඔය රේඩියෝ උදෑසන වැඩසටහන්වලින් තවමත් මතක තියෙන්නේ සූරියසිරස විතරයි. ඊටපස්සේ සමන්ති කරපු ගීත ඉල්ලීම් වැඩසටහනත් ආසාවෙන් අහපු එකක්. ඒ සමන්තිගේ සෙක්සි වොයිස් එක නිසා. සිරස කියන්නේ මේ මහාසම්ප්‍රදාය එක්ක යන චැනල් එක. ඒකට කවදාවත් ජනතාවගෙන් බාධා ආවේ නෑ, ආවේ පාලකයන්ගෙන්. ඒකට හේතුව සිරස මේ මහාසම්ප්‍රදාය එක්ක වැඩ කරන ගමන් අපි වගේ හිපියන්ට ආතල් දෙන්න පුලුවන් දේශපාලනයක් එක්ක වැඩ කිරීම. සිරස ළඟ හැමදාම ඒක තිබුණා. ඒක ඇත්තටම මටත් තේරුණ් ගන්න බැරි විරුද්ධාභාෂයක්.