ගොවීන්ට ඉඩම් අයිතිය දුන්නාම ඔවුන් දුප්පත් වෙනවාද?

මේ දැන්වීම ෂෙයා කරන්නෙ පැහැදිලි දේශපාලනික හේතුවක් ඇතුව. ලංකාවේ ජාතිකවාදී වාමාංශිකයන් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන අදහසක් තමයි, ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදුන්නොත්, ඔවුන් තමන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණනවාය කියන අදහස.

මේක තරමක් විහිළු අදහසක් වුණත්, මේ අදහසම තමයි රාජපක්ෂ බලවේගය 2019 වසරෙදි ඇමරිකාවෙන් ලැබුණු එම්සීසී ඩොලර් මිලියන 500 ප්‍රදානය ප්‍රතික්ෂේප කරන්නට මහජනයා බලමුළුගන්වන්නටත් පාවිච්චි කළේ. ලංකාව ආපසු නොගෙවිය යුතු මෙම ප්‍රදානය ඔස්සේත් කිරීමට අරමුණු කර තිබූ එක් දෙයක් තමයි පරම්පරා ගණනාවක් තිස්සේ බලපත්‍ර යටතේ රජයේ ඉඩම්වල ගොවිතැන් කරන ගොවීන්ට එම ඉඩම්වල අයිතිය සින්නක්කර ලෙස ලබාදීම. සින්නක්කර ඉඩම් විකුණන්නට, උගස් තියන්නට පුළුවන්.

දැන් එතකොට සින්නක්කර ඔප්පු දීපු ගමන් ගොවීන් ඒ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණනවද? ඉඩම් ගන්න බහුජාතික සමාගම් ඇවිත් බලාගෙන ඉන්නවද? නැහැ. බහුජාතික සමාගම් එහෙම ඉඩම් ගත්තොත්, පැහැදිලිවම ගොවීන්ට වැඩි මිලක් ලැබෙනවා. ඒක නරකද?

බහුජාතික සමාගම් කෙසේ වෙතත්, මෙහෙම දෙයක් වෙන්නට පුළුවන්. වගා කිරීමට ඉඩම් හොයන කෘෂි ව්‍යවසායකයන් එන්නට පුළුවන්. ඒ අය යැපුම් ගොවීන්ගෙන් ඉඩම් මිල දී ගන්නට පුළුවන්.

දැන් මේ වාමාංශිකයන් වැළපෙන්නේ මෙහෙමයි. අර යැපුම් ගොවීන් ඉඩම විකුණලා ගත්ත සල්ලි බීලා අරව මේවා කරලා නාස්ති කරලා තවත් දුප්පත් වෙන්නට පුළුවන් කියලායි. එතකොට මොකක්ද කරන්නෙ?

ඒක ප්‍රශ්නයක් නැහැ. අඩුම ගානෙ ක්ෂුද්‍ර කෘෂි ව්‍යවසායකයකුවත් වෙන්නට බැරි නම් විසඳුම තමයි කෘෂි කම්කරුවකු වෙන එක. මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ට පුළුවන් තමන් අත්පත් කරගත් ඉඩම්වල කෘෂි කම්කරුවන්ට රැකියා සපයන්න. එහෙම වැඩ කරන එක නරක දෙයක් නෙමෙයි. දැනටත් බොහෝ යැපුම් ගොවීන් තමන්ගේ ඉඩම යැපීමට තරම් ප්‍රමාණවත් ආදායමක් උපදවන්නේ නැති නිසා එවැනි රැකියාවල යෙදෙනවා.

‘දෙයක් වේ නම් යම් – සුදුස්සාටම අයිති විය යුතු’ කියලා හුණුවටයේ කතාව නාට්‍යයේ තියෙනවා. ඉඩම් අයිති විය යුතු කෘෂි ව්‍යවසායකයන්ට කියන එක තමයි අපේ ස්ථාවරය. කෘෂි ව්‍යවසායකයන් ක්ෂුද්‍ර හෝ සුළු හෝ මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ වෙන එකේ කිසිම වරදක් නැහැ. දැන් අපට අවශ්‍ය නවීන කෘෂිකර්මාන්තයට මාරු වීම මිස තව දුරටත් යැපුම් ගොවිතැන ආරක්ෂා කරගැනීම නෙමෙයි.

රටේ කෘෂිකර්මාන්තයේ විපර්යාසයක් සිදුවෙන්නට නම්, මුලින්ම ඉඩම් වෙළඳපොළ නිදහස් විය යුතුයි. දැන් රජය ඒක කරමින් ඉන්නවා. ඒකට බාධා නොකර ඉදිරියට යාමට ඉඩ දිය යුතුයි. ඉන් පසුව සිදු වන වෙනස්කම්වලට නියාමනය ඔස්සේ මැදිහත් වන ආකාරය ගැනයි අප දැන් සාකච්ඡා කළ යුතුව තිබෙන්නේ.

– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

Social Sharing
නවතම පුවත් විශේෂාංග