වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය. සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය. සුප්‍රසිද්ධ විද්‍යාලංකාර ප්‍රකාශනය එවකට පරිවෙනාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන්ගේ අත්සනින් නිකුත් වූයේ වර්ෂ 1946 පෙබරවාරි 13 වන දිනය. එකල විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන්ට දායකයන් විසින් දානය නොසපයන තත්ත්වයට වැඩ සිද්ධ විය.
විද්‍යාලංකාර ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ. “අද ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ යහපත පිණිස කරන හැම වැඩපිළිවෙලක් ම දේශපාලනයට අයිති යයි අපි විශ්වාස කරමු. ආගම දියුණුවට ක්‍රියා කිරීම භික්ෂුන්ට අයිති යුතුකමක් බව කවුරුත් පිළිගනිති. ආගම දියුණුව පවතින්නේ එය අදහන රටවැසියාගේ දියුණුව උඩම බව පැහැදිලිය. සිංහල මනුෂ්‍යයා බුද්ධාගම්කරයා යම් කලක දියුණු නම් බුද්ධාගමේ දියුණුවත් එම කාලයේම බව ඉතිහාසයෙන් ඔප්පු වේ. එබැවින් භික්ෂු ජිවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙලක් වේ නම් එහි නම දේශපාලනය වේවා කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂුන්ට සුදුසුමය. සිංහල භික්ෂුන්වහන්සේ මුල් කාලයේ පටන්ම සිංහල ජාතියේත් සිංහල දේශයේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක්‍රියා කරමින්ම භික්ෂු ජීවිතය ගත කල බව අමතක කල නොහැකිය.”
මේ ප්‍රකාශය අනුව බුද්ධාගමේ දියුණුව ලෙස සලකනු ලබන්නේ බාහිර දියුණුවක් බවත් අභ්‍යන්තර හෝ අධ්‍යාත්මික දියුණුව එයට අදාල නොවන බවත් පැහැදිලිවේ.
ඉන්පසු එවකට විද්‍යාලංකාර පිරිවෙනේ සිටි වල්පොල රාහුල හිමියෝ භික්ෂුවගේ උරුමය නම් පොතක් ප්‍රකාශ කළහ. එහි අංගුත්තර නිකාය අටුවාව, දීඝ නිකාය අටුවාව, මජ්ජිම නිකාය අටුවාව සහ ධම්මපදට්ඨ කථාව උපුටා දක්වමින් රාහුල හිමියන් කියන්නේ ප්‍රතිවේධය හෙවත් නිවන අවබෝධ කිරීමත් ප්‍රතිපත්තිය හෙවත් සීලාදී ගුණ ධර්ම පුරුදු කිරීමත් ඇතත් නැතත් ශාසනයේ පැවැත්මට පර්යාප්තිය හෙවත් ත්‍රිපිටක ධර්ම ඉගෙනීම ප්‍රමාණවත් බවයි.
එහිමියෝම ප්‍රතිපත්තියත් ප්‍රතිවෙදයත් පර්යාප්තියට වඩා උතුම් බැව් තථාගතයන් වහන්සේගේ මුල් ඉගැන්වීම බව සඳහන් කරති. ( 26 පිටුව) එමෙන්ම අටුවාවල මුලික අරමුණ සුත්‍ර පිටකයේ ඇති නිවන අරමුණු කරගත් සුත්‍ර දේශනා වලට අරුත් සැපයීමයි.
රාහුල හිමියෝ අංගුත්තර නිකාය අටුවාවේ මිලක්ඛතිස්ස කථා වස්තුව උපුටා දක්වමින් ග්‍රන්ථ ධුරය (පර්යාප්තිය) බලසම්පන්නයන්ට අයිති දෙයක් ලෙසද විදර්ශනාව දුර්වලයන්ට අයිති දෙයක් ලෙස සැලකු බවත් පවසා අධෝ ලිපි වල අදත් මෙසේ ජීවිතය ගතකරන හෙවත් විදර්ශනාව වඩන සමහර මහලු ස්ථවිර වරු සිටින බව සරදම් ස්වරයෙන් සඳහන් කරති. (32 පිටුව) එනමුත් එහිමියන් අමතක කල හෝ නොසලකා හැරි කාරණාව නම් අවසානයේදී මිලක්ඛතිස්ස හිමි මාර්ගඵල හෙවත් ප්‍රතිවේදයේ ඵලය ලැබූ බවය. (මනෝරථපුරණි – එකක නිපාත වර්ණනාව- සයවන වර්ගය)
එකල ලංකාවේ ත්‍රිපිටකය ඉගෙනීමට මෙන්ම වෙනත් භාෂා ශාස්ත්‍ර ඉගෙනිමටද ආරාම ආශ්‍රිතව තිබූ පිරිවෙන් මුල් වූ අතර සමන්තපාසාදිකා විනය අටුවාව උපුටා දක්වමින් රාහුල හිමියෝ භාතිය රජ දවස (ක්‍රි.ව. 38-67) මෙරට අග්‍ර විනිශ්චයකාර ධුරය භික්ෂුවකට පවරන ලද බව සඳහන් කරති.(34 පිට)
අනුරාධපුර යුගයේ සිට භික්ෂුන් බලවත් වූයේද දේශපාලනයට මැදහත් වූයේද අධ්‍යාපනය ඔවුන් අත තිබු නිසාය. මේ දේශපාලන භික්ෂූන් බුදු දහමේ මූලික අරමුණ වන තමන් පිළිබඳව කරන ආර්ය පර්යේෂණයට වඩා ත්‍රිපිටකය ඉගෙනීම ඉහල ස්ථානයක තැබීමට තරම් සාහසික වූහ. මෙම සාහසික ස්වභාවයේ බලවත්කම එය අටුවාවට පිවිසීම හරහා සනාථවේ. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගමේ මුල් අවස්ථාවයි. දේශපාලන බුද්ධාගම අනුදත් රාහුල හිමි මෙය බුද්ධ වචනයට පටහැනි බව සඳහන් කරමින්ම අටුවාව උපුටා දක්වන්නේ එබැවිනි.
මෙම කාරණය වෙනත් උදාහරණයකින් ප්‍රකට විපස්සනා ආචාර්ය වරයකුවූ එස්. එන්. ගොයෙන්කා උපුටා දක්වමින් සඳහන් කරන්නේ නම් එය වෛද්‍ය වරයකු විසින් නිර්දේශ කරන බෙහෙත් පාවිච්චි නොකරමින් බෙහෙත් තුණ්ඩුව අධ්‍යයනය කිරීම වැනිය. අටුවාවල සඳහන් වන්නේද රාහුල හිමියන් උත්කර්ෂයට නංවන්නේද එවැනි භික්ෂූන් ය.
සමහර විට එයට එක හේතුවක් වන්නට ඇත්තේ රාහුල හිමියන් සඳහන් කරන ආකාරයට බැමිනිටියා සාය වැනි යුග වලදී මුඛ පරම්පරාගතව පැමිණි ත්‍රිපිටකයේ පැවැත්ම ගැන ප්‍රශ්ණයක් ඇතිවූ නිසා විය හැක. එමෙන්ම එම සායට ටික කලකට පසුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කල අතර දැන් එය අන්තර්ජාලයේ තිබේ. මවිසින් මනෝරථ පුරණි අංගුත්තර නිකාය අටුවාව කියවන ලද්දේ අන්තර්ජාලයෙනි.
ශ්‍රී ලංකාවේ සිටි සමාජ විද්‍යාඥයකු වූ එච්. එල්. සෙනෙවිරත්නගේ කියැවීම අනුව සහ භික්ෂු දේශපාලනය පිළිබඳව විද්‍යාලංකාර ප්‍රකාශයේ අර්ථ කථනය අනුව භික්ෂු දේශපාලනය කළ විද්‍යෝදය පිරිවෙනට අනුබද්ධ භික්ෂුන් ග්‍රාමීය ප්‍රදේශවල ජනයාට ඉමහත් සේවයක් කරමින් ජීවත්වූ අතර විද්‍යාලංකාර පිරිවෙනේ මග ගත් දේශපාලන භික්ෂූන් පාර්ලිමේන්තුවට ගියහ.
රාහුල හිමි භික්ෂුවගේ උරුමය ලියන යුගයේදී විපස්සනාව එතරම් ප්‍රචලිතව තිබුනේ නැත. සියල්ලන්ගේම අරමුණ වූයේ මතු ආත්ම භාවයක නිවන් දැකීමයි. මෙම තත්ත්වය වෙනස් වූයේ තායි සහ බුරුම ආරන්‍ය වාසි භික්ෂූන් විසින් පරපුරෙන් පරපුරට රැකගෙන ආ විපස්සනා භාවනා ක්‍රම දසදින භාවනා වැඩ සටහන් හරහා ගිහියන් ගේ අතට පත්වීම නිසාය. මෙම භාවනා ක්‍රම ඉගෙනීමට බටහිර සිට පැමිණි සමහර ගිහියෝ එය බටහිර සමාජය තුළ ඔසවා තැබුහ. ඔවුන් අතර වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු වූ Jon Kabat Zinn, භාවනානුයෝගීන්ගේ මොලයෙන් නිකුත් කරන තරංග පිළිබඳව පර්යේෂණ කළ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු වූ Richard Davidson සහ මනෝ වෛද්‍යවරයකු වූ Daniel Goleman ද සිටියහ. ඔවුන් තිදෙනාම ඇමෙරිකානුවෝ වෙති.
මොවුන්ගේ සහ තවත් බොහෝ අයගේ පුරෝගාමී මෙහෙවර අනුව බොහෝ බටහිර රටවල mindfulness හෙවත් සතිය පාසල් සිසුන්ට ඔවුන්ගේ විෂය මාලාව තුළ උගන්වනු ලැබේ. එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටද ගොස් ඇති බව ඔබ විශ්වාස නොකරනු ඇත. දැන් ලංකාවේ පාසල් වලද මීතිරිගල නිස්සරණ වනයේ උඩ ඊරියගම ධම්මජිව හිමි ප්‍රමුඛව මෙවැනි වැඩපිළිවෙලක් ආරම්භ වී ඇත. බටහිර රටවල mindfulness විසල් ව්‍යාපාරයක් බවට පෙරලි ඇතැයි දැනට ඇමෙරිකාවේ වෙසෙන භික්ඛු බෝධි චෝදනා කරයි.
Jon Kabat Zinn ගේ MBSR (Mindfulness Based Stress Reduction) හෙවත් සතිය පදනම් කරගෙන ආතතිය අඩුකිරීම බොහෝ ආතතියෙන් වෙසෙන බටහිර ජනයාට සහනකාරී වැඩපිළිවෙලකි.
නැවතත් එස්. එන්. ගොයෙන්කා ගේ උපමාවක් ගන්නේ නම් සීනි කර්මාන්තශාලාවකින් මොලෑසස් ද නිෂ්පාදනය වේ. එබැවින් සතිය හෝ සති මාත්‍රය ආතතිය දුරලීම සඳහාද තවත් දුර යනවිට නිවන සඳහාද උපකාරීවේ. බුදුහු සතිපට්ඨාන සුත්‍රයේ ආරම්භයේදී මෙයම සඳහන් කරති. තමන්ගේ මෙම දේශනාව සත්ත්වයන්ගේ සිතේ පිරිසිදු බව සඳහාද ශෝක වැළපීම් ඉක්මවනු සඳහාද දුක් දොම්නස් දුරුවනු සඳහාද ප්‍රත්‍යක්ෂ අවබෝධය සඳහාද නිවන පසක් කරනු සඳහාද හේතුවන බව කියති. එබැවින් බටහිර මෙම මාර්ගයට පිවිස ඇත. ඔවුන්ගේ අතේ ධර්මය ඇති අතර දේශපාලන බුද්ධාගමක් නැත.
බටහිර සංස්කෘතිය එක් අතකින් බුදුදහමේ හරය හා ඒකමිතික වේ. අපේ සමාජයේ ප්‍රචලිත එක යෙදුමක් නම් එයා තනියෙන් බුදුවෙන්න යනවා යන්නයි. එය යෙදෙන්නේ කණ්ඩායමේ අනෙක් අයට සාපේක්ෂව ඉදිරියට යන කෙනෙකු අරබයා ය. බුදුවන්නේ හෝ නිවන් දකින්නේ හෝ එකලාව ය. බජාර් පිටින් නොවේ. Collectivism හෙවත් සහචර වාදය ප්‍රචලිතව ඇති ලංකාවේ එය නොමනා කටයුත්තකි. කෙනෙකු ගේ ක්‍රියා සිය කණ්ඩායමේ ක්‍රියා වලට අනුගත විය යුතුය.
බටහිර individualism හෙවත් පුද්ගලවාදය අනුව පුද්ගලයා සමස්ත ලෝකයට එරෙහිව සිටින අතර සහචරවාදයේදී සමස්ත ලෝකයට එරෙහිව සිටින්නේ පුද්ගල කණ්ඩායමකි. ඒ අනුව බුදු දහමේ හරය බටහිර පුද්ගලවාදය හා ඒකමිතික වේ.
එමතුද නොවේ. බුදු දහමේ මූලිකව කෙරෙන්නේ තමන් පිලිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා කෙරෙන ආර්ය පර්යේෂණයකි. අප ජීවත්වීම යනුවෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රියයන් මගින් ලෝකය හා සම්බන්ධ වීමයි. මෙම ලෝකය හා ස්පර්ශ වීම පිළිබඳව සම්පුර්ණ අවධානයෙන් යුතුව සිටීම හෙවත් තමන් පිළිබඳව කෙරෙන ආර්ය පර්ය්යේෂණය මගින් තමන් පිළිබඳව සම්පුර්ණ අවබෝධයක් ලබා ගත හැකි බව බුදු දහම කියා සිටි. සම්පුර්ණයෙන්ම විද්‍යාත්මක චින්තනයට අනුගත වී ඇති මෙම ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම බටහිට වැසියන්ට පහසු කටයුත්තකි.
මෙම පහසු කටයුත්ත ලංකාවේ භික්ෂූන් මෙන් පර්යාප්තිය හෙවත් ත්‍රිපිටකය පිලිබඳ ඉගෙනීම නැතහොත් ගොයෙන්කාජි ගේ වචන වලින් බෙහෙත් තුණ්ඩුව අධ්‍යයනය කර නොතිබුණු සුනීත, සෝපාක සහ කිසා ගෝතමී වැන්නන් විසින් බුද්ධ කාලයේදී පහසුවෙන් කරන ලදී. අප දේශපාලන බුද්ධාගම සමඟ එක තැන කැරකෙමින් සිටිමු. මෙසේ දිගටම ගිය හොත් අනාගතයේදී ප්‍රයෝගික බුද්ධාගම අපට ඉගෙන ගැනීමට සිදුවන්නේ බටහිරිනි. දේශපාලන බුද්ධාගම ඔවුන්ට ඉගැන්වීමට අපට හැකිවනු ඇත. ඒ සඳහා ගැනුම්කරුවන් සිටීම ඉතාමත් සැක සහිතයි.
මේ දේශපාලන බුද්ධාගම සිය බලය සඳහා මුලින්ම භාවිතා කලේ බණ්ඩාරනායකයි. ඉන් පසුව සියලුම නායකයන් විසින් එය අඩුවැඩි වශයෙන් භාවිතා කරන ලදී. මහින්ද රාජපක්ෂ එය ඉතා විනාශකාරී අන්තයකට රැගෙන ගියේය.එය අද අනුක්‍රමයෙන් බුදුදහමට සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ දහමක් සමාජයේ පතුරුවමින් සිටී.ලංකාවේ බුදු දහමේ විනාශය සනිටුහන් කරමින් සිටී.
දේශපාලන බුද්ධාගම හෙවත් හරය අමතක කර මතුපිට ගැන පමණක් සැලකිලිමත්වීම අද මෙන් ප්‍රබලව නොතිබුණු යුගයේ මාර්ටින් වික්‍රමසිංහ විසින් බව තරණය පොත ලියන ලදී. බවතරණයේ 144 වන පිටුවේ බුදුන්ට යශෝධරා හමුවීම පිළිබඳව මේ කියුම එයි.
“ඈ මුසපත් වූවක මෙන් බුදුන්ගේ දණිස් පහළ කකුල් ද අල්ලමින් සිඹින්ට වූවාය….සිදුහත් ලෙස යුද හරඹ දැක්වීමෙන් ජයගෙන යසෝධරාවගේ ප්‍රේමය හිමි කරගත් තැන් සිට රහල් කුමරුන් උපදින තෙක් ගතකළ ගිහි ජීවිතය පිලිබඳ තොරතුරු සිහිගන්වන ගර්භාගාරයද එහි නොයෙක් සලකුණුද දුටු බුදුන් වහන්සේ ආවර්ජනයෙන් සමාධියට සම වැදුනෝය. මුහුණ පුරා මෙත් කරුණා පහන් බව පැතිරිණ. මේ වෙනස්වීම යසොධරාවට වහා හැඟුනෙන් ඈ පා සිඹිම නවතා නැඟී බුදුන්ගේ මුහුණ බැලුවාය.”
මෙම ප්‍රකාශය බුදුන් කෙලෙස් සම්පුර්ණයෙන් නසා නොසිටි බව කියා පාන්නක් බවත් මේ අනුව කෙලෙස් මැඩ පැවැත්වීම සඳහා බුදුන් සමාධියට සම වැදුන බවත් කී යක්කඩුවේ ප්‍රඥාරාම හිමි බවතරණ විචාරය නමින් බවතරණය මෙන් තුන්ගුණයක් පමණ විශාල පොත් දෙකක් පළ කළහ.
මෙම ප්‍රකාශය සම්බන්ධව මම යක්කඩුවේ හිමියන් සමඟ එකඟ වෙමි. එහෙත් වික්‍රමසිංහයන්ට දඬුවම් කළ යුතුයයි කියන මතයේ මා නැත. යක්කඩුවේ හිමි ද ඒ බවක් කියා නැත.
එවකට අගමැතිව සිටි සිරිමා බණ්ඩාරනායක බව තරණය තහනම් කිරීම හෝ මාර්ටින් වික්‍රමසිංහ ට එරෙහිව ක්‍රියාකිරීම හෝ ප්‍රතික්ෂේප කළාය.
පසුගියදා නතාෂා එදිරිසුරිය විහිළු වැඩසටහනකදී පහත සඳහන් ප්‍රකාශය කළාය
“බුදු හාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ සිදුහත් කුමාරයා කාලේ කුමාරයා බබා කලේ ඒ සමවයසේ ළමයින්ට මාර pressure එකක් තියෙන්න ඇතිනේ. අර සුද්ධෝදන ගේ ළමයා, ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිද්දානේ. ඒකට මේගොල්ලෝ. තාම කෙලින් කරලා වඩා ගත්තම බෙල්ල කඩා වැටෙනවා. අර සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියල. ඒකට මුන්. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුන දවසේ කියල නෑ දැන්මම තීරණය කරලා තියෙන්නේ එය ලොකු වෙලා මොනවාද කරන්නේ කියල. අපේ අය ඉතින් හැම දේම අපි කරලා දෙනකන් බලා ගෙන ඉන්නවා නේ. ඒ ළමයට අම්මත් නෑ. මූට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. මොනවයින් අඩුවක්ද. සැප වැඩියි. වැඩියම බැනුම් අහන්න ඇත්තේ දේවදත්ත. එකනේ ගලක් පෙරලුවේ.”
මෙහි බුදුන්ට අපහාස කිරීමක් නැත. එසේ වෙතැයි කියන්නෝ, රාජ්‍යයද ඇතුළුව, මුග්ධයෝය.යමක හරි වැරැද්ද තේරුම් ගත නොහැකි පුද්ගලයෝය. දේශපාලන බුද්ධාගමේ කෙළ පැමිණියෝය.
-හර්ෂ ගුණසේන
ප. ලි. රාහුල හිමි කළ අසහාය සාසනික සහ අධ්‍යාපනික සේවය මෙම ලිපියෙන් අවප්‍රමාණය නොකෙරේ.
(අනිද්දා සහ Colombo Telegraph)