සජිත් – අනුර විවාදයට ‘බාලගිරි දෝෂය’ ද?

debate with anura sajith

විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ විවාද පමණක් සිදුවන බවක් පෙනේ.

එක් එක් පක්ෂය තමන්ට ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ඇතැයි පෙන්වීමට මෙන් පැවැත්වූ මැයි දින රැලි දැන් අවසන් ය. ජනාධිපතිවරණය පිළිබඳ පැවති උනන්දුව යළිත් ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබේ. කෙසේ වෙතත්, විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ.

මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ විවාද පමණක් සිදුවන බවක් පෙනේ.

විවාදය කරළියට ආවේ කොහොම ද?

මෙම විවාදය පිළිබඳ සංවාදය ආරම්භ වූයේ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර දේශපාලන රැලි අතරතුර සිදු කළ විවේචනවල දිගුවක් ලෙසිනි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පක්ෂ දෙකෙහි ‌ආර්ථික කමිටු අතර ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ අතර, එහිදී, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය එම විවාදය සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ පුද්ගලයින් දෙදෙනෙකු ද පත් කිරීමට පියවර ගත්තේ ය.

ඒ අනුව, සමගි ජන බලවේගය පාර්ශවයෙන් එහි මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පත් කළ අතර, ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කෙරිණි.

මෙම විවාදයට පහසුකම් සැපයීමට ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක් ම කැමැත්ත පළ කර තිබෙන අතර, එය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතු බවට සමගි ජන බලවේගය යෝජනා කර ඇත.

පක්ෂ දෙකෙන් ම කඹ ඇදිල්ලක්?

මේ අතර, මෙම විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකෙන් ම කඹ ඇදිල්ලක් සිදු වන බව පෙනී යන්නේ, දෙපාර්ශවය ම යම් යම් කොන්දේසි ඉදිරිපත් කරමින් විවාදය කල් දැමීමට උත්සහ කරන බව පෙනී යන හෙයිනි.

“අපි මුලින් ම යෝජනා කළේ රටේ ආර්ථිකය ගොඩ නගන ආකාරය ගැන විවාද කරන්න පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයක් පවත්වමු කියලා. ඒත් ඒ අභියෝගය ජාතික ජන බලවේගය භාර ගත්තෙ නෑ‍‍. ඒ වෙනුවට, ඔවුන් යෝජනා කළේ, විවාදට සජිත් සහ අනුර අතර පැවැත්විය යුතුයි කියලා. අපි කිව්වා අපි ඒකටත් එකඟයි හැබැයි ආර්ථික කමිටු අතර විවාදයකුත් පැවැත්විය යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. ජාතික ජන බලවේගය ඒකට උත්තරයක් දෙන්නෙ නෑ,” සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර පවසයි.

ඊට පිළිතුරු ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, “ඊළඟ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නිසා විවාදය පැවැත්විය යුත්තේ, පක්ෂ දෙකෙන් ජනාධිපතිවරණයට තරග කරන නායකයින් දෙදෙනා අතර කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඒ නිසා අපි සූදානම් මේ විවාදය සජිත් සහ අනුර අතර පවත්වන්න,” යනුවෙනි.

මෙම ආර්ථික කමිටු අතර විවාදය සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් සූදානමින් සිටි අතර, ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ආර්ථික කවුන්සිලය නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත සහ මහාචාර්ය සීතා බණ්ඩාරට ඇරයුම් කර තිබිණි.

ජාතික ජන බලවේගය දින දෙයි!

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් පැවැත්වීමට කැමති දිනයක් තෝරා ගන්නා ලෙස ඉල්ලා මැයි 07, 09, 13 සහ 14 යන දින හතර ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන ලදී.

එහෙත්, එම දින හතර තුළ විවාදය පැවැත්වීමට සමගි ජන බලවේගය එකඟත්වය පළ නොකළ බව වෛද්‍ය නලින්ද ජයතිස්ස රූපවාහිනී සාකච්ඡාවකදී පැවසීය.

ඊට පිළිතුරු දෙමින් නලින් බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, විවාද දෙක ම පැවැත්වීමට ජාතික ජන බලවේගය එකඟත්වය පළ නොකළ හෙයින් විවාදයට දින නියම කරගත නොහැකි වී ඇති බව ය.

මේ අතර, ජාතික ජන බලවේගයේ අදහස වී ඇත්තේ, මුලින් නායකයින් දෙදෙනා අතර විවාදය පවත්වා, පසුව ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය යුතු බව ය.

ඒ අනුව, නායකයින් අතර විවාදය සඳහා මැයි මස 20 වන දාට පෙර කැමති දිනයක් දැනුම් දෙන ලෙස ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගයට දැනුම් දී ඇතැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එහෙත්, විවාද දෙකට ම එකඟ වන තුරු නායකයින් අතර විවාදයට දින නියම කළ නොහැකි බව සමගි ජන බලවේගයේ මතය වී තිබේ.

කෙසේ වෙතත්, නායකයින් අතර විවාදයකට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, නලින් බණ්ඩාර සහ ආචාර්ය හර්ෂ ද සිල්වාට දැනුම් දුන් බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

‘විවාද කතාව පක්ෂය ඇතුළෙන් ම සජිත්ව පහළට දාන්න කරන කුමන්ත්‍රණයක්’ – ආචාර්ය හරිනි අමරසූරිය

ආචාර්ය හරිනි අමරසූරිය
ආචාර්ය හරිනි අමරසූරිය

“දැන් තියෙන අලුත් ම මාතෘකාව විවාදයකට එන්න ලු. විවාද කරන්න අපි සූදානම් ඒකට පිළිවෙළක් කලාවක් තියෙනවා. ඉස්සර වෙලා ම එන්නේ ජනාධිපතිවරණය, මැතිවරණයට ඉදිරිපත් වෙන්නැති අය සමග විවාද කරලා තේරුමක් නෑ. ඕනෑ ම කරුණක් සඳහා අපි අපේ අපේක්ෂකයා විවාද කරන්න එවන්න සූදානම්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ගෙනත් ජනතාව ඉදිරියේ අපි විවාදය පවත්වමු. ඒක කිව්ව ම මුහුණ දෙන්න බැරුව යට යනවා ඔය විවාද මාතෘකාව අරන් තියෙන්නේ ප්‍රේමදාස මහත්තයාව යට යවන්න. මේක ඇතුළෙන් ම සිදුවෙන කුමන්ත්‍රණයක් හැටියට මට හිතෙනවා,” යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය ත්‍රිකුණාමලයේදී පැවති ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් පැවසීය.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද විවාදයට එක් කර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පවසයි.

‘මෙවැනි විවාද පැවැත්වීම ඉතා හොඳ දෙයක්’

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

ආර්ථිකය ගොඩ නැගීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ප්‍රසිද්ධ විවාද පැවැත්වීම “ඉතා හොඳ ප්‍රවණතාවක්” බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පවසයි.

බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ඔහු පෙන්වා දුන්නේ, එවැනි විවාද පැවැත්වීමෙන් අදාළ දේශපාලන පක්ෂවල චින්තනය සහ ඉදිරි දැක්ම පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට ඡන්දදායකයින්ට අවස්ථාවක් සැලසෙන බව ය.

“එවැනි විවාද කල් මරන්නෙ නැතුව අනිවාර්යයෙන් ම පැවැත්විය යුතුයි. ඒක ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. ඒ නිසා මේ විවාදයට සම්බන්ධ සියලු පාර්ශව ඒක මග නොහැර විවාදය පවත්වන්න පියවර ගත යුතුයි කියන එකයි මගේ අදහස,” ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සඳහන් කළේ ය.

(බීබීසී සිංහල)

Social Sharing
අවකාශය නවතම විශේෂාංග