මගේ ලෝකයේ කාලය නැවතීම – ඉකොනොමැට්ටා

“දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න”

නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම වෙබ් අඩවියේ පළ වී තිබුණා. එම අවස්ථා වලදී සටහනේ පරිදිම දින කිහිපයකින් පසුව නැවත ලිපි පළ වෙන්න පටන් ගත්තා. එහෙත් මෙවර එය එසේම සිදු වීමේ ඉඩක් නැති බව පැහැදිලියි.

ඉහත සටහන අනුව පෙනෙන්නේ මේ තරම් ඉක්මණින් දිවි සැරිය නිමා කිරීමේ අරමුණක් නලින් ද සිල්වාට නොතිබුණු බවයි. ඔහු අවසන් මොහොත දක්වාම ක්‍රියාශීලීව සිටියා.

මා කිසිදු දිනක සම්මත අර්ථයෙන් නලින් ද සිල්වාගේ ශිෂ්‍යයෙක්ව සිට හෝ පෞද්ගලිකව ඔහුව හමු වී නැහැ. අවස්ථා දෙකකදී පමණක් ඔහු සහභාගී වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ වලට සහභාගී වී තිබෙනවා. ඒ 1986දී සහ 1991දී. එහෙත් ඔහුගෙන් මා ඉගෙන ගෙන ඇති බොහෝ දේ තිබෙන බැවින් නොපැකිළ ඔහුව ගුරුවරයෙකු සේ හැඳින්විය හැකියි. අද මා හිතන ආකාරය තීරණය වීමට නලින් ද සිල්වාගේ අදහස් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මගේ ජීවිතයට එවැනි බලපෑම් කර තිබෙන පුද්ගලයින් ගණන ඉතාම සීමිතයි.

පවුල් පසුබිම අනුව මා සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිමක හැදුණු කෙනෙක්. ඒ නිසාම, කුඩා කාලයේ සිටම මා සිංහල බෞද්ධ දැනුම උකහා ගත්තා වගේම එම දැනුම ප්‍රශ්න කරන්නටද  පෙළඹුණා. මේ ප්‍රශ්න කිරීම කළේ බටහිර දැනුම් ආධිපත්‍යයේ බලපෑම නිසා නෙමෙයි. මගේ දැනුමක් වූ ඇතැම් දේ මගේම බුද්ධියට ගෝචර නොවූ නිසා.

ඔය විදිහට සම්ප්‍රදායික සිංහල බෞද්ධ දැනුම සම්බන්ධව ඇති වුනු ප්‍රශ්න වලට විසඳුම් ලැබුණේ කොවූර්ගේ පොත් කියවීමෙන්. ඒ වයස අවුරුදු දහයක පමණ කාලයේදී. ඒ අනුව, මගේ ජීවිතයට මුලින්ම ලොකුම බලපෑමක් කළේ කොවූර්. (හේතුවාදය එක්කම මාක්ස්වාදයත් ආකර්ශනීය වුනා.)

හැබැයි ටික කාලයක් යද්දී ඔය අන්තයේත් අඩුවක් තිබෙන බව පෙනෙන්න ගත්තා. ඔය අතර අඥෙයවාදය ගැන දැන ගන්න ලැබුණා. හේතුවාදය වෙනුවට අඥෙයවාදය ආදේශ වුනා. ඒ වයස අවුරුදු දහ අටක පමණ කාලයේදී. “මගේ ලෝකය” කියවන්න ලැබුණේ එයින් වසර දෙක තුනකට පසුවයි. එය මා හිතන විදිහ විශාල පරිවර්තනයකට ලක් කළ පොතක්.

මම හිතන විදිහට නලින් ද සිල්වාගේ “මගේ ලෝකය” අදහස් පසුව පරිණාමය වුණා. ඒ වගේම, “මගේ ලෝකය” අදහස් කාලයකට පෙර ඇතැම් බටහිර දාර්ශනිකයින් විසින් ඉදිරිපත් කළ අදහස් බව ඇතැම් අය වරින් වර පෙන්වා දෙන්න උත්සාහ කළා. කෙසේ වුවත්, නලින් ද සිල්වාගේ “මගේ ලෝකය” අදහස් පසුව පරිණාමය වීම හෝ එම අදහස් වලට සමාන අදහස් ඊට පෙර වෙනත් අය විසින් ඉදිරිපත් කර තිබීම හෝ නොතිබීම මට අදාළ වුනේ නැහැ. “මගේ ලෝකය” “මගේ ලෝකය” පුළුල් කළා. අනෙක් දේවල් අදාළ නැහැ.

මම හිතන විදිහට අවම වශයෙන් එක් හේතුවක් නිසා නලින් ද සිල්වා ඔහුගේ අදහස් පිළිගන්නා හා නොගන්නා කණ්ඩායම් දෙකටම පරමාදර්ශී පුද්ගලයෙක්. ඔහු දේශපාලකයෙකු නොවී දශක ගණනාවක් තිස්සේ දේශපාලනය කළා. ලංකාවේ සමාජ-දේශපාලනයට තනි පුද්ගලයෙකු ලෙස මෙවැනි බලපෑමක් කළ තවත් අය ඇත්නම් ඒ ඉතා සීමිත පිරිසක් විය යුතුයි.

නලින් ද සිල්වාගේ පූර්ණ අනුගාමිකයෙකු ලෙස හැඳින්විය හැකි කිසිවෙකු ඉන්නවාද කියා මා දන්නේ නැහැ. ඔහු අනුගාමිකයින් හදාගන්න උනන්දුවක් නොදැක්වූ බව මගේ අදහසයි. එහෙත් ඔහුගෙන් ආභාෂය ලැබූ අය විශාල පිරිසක් ඉන්නවා.

යම් කාලයක් නලින් ද සිල්වාගේ අනුගාමිකයින්ව සිටි අය වරින් වර ඔහුගෙන් ඉවත් වුනා. මුල් කාලයේදී එසේ ඔහුගෙන් ඉවත් වූ පිරිසකගේ විවේචනය වූයේ ඔහුගේ න්‍යාය කොයි තරම් හොඳ වුවත් ඔහු ප්‍රායෝගිකව වැඩකට ඇති කිසිවක් නොකරන බවයි. මෙවැනි කණ්ඩායමකට මගේ පිළිතුර වූයේ ලෝකය නිර්මාණය කර ගන්නේ මා විසින්නම් මගෙන් බාහිරව පවතින ලෝකය වෙනස් කිරීමට උත්සාහ කිරීම තේරුමක් නැති කාර්යයක් බවයි.  ඒ නිසා, මට අනුව නලින් ද සිල්වාගේ ප්‍රායෝගික භාවිතය ඔහුගේ දාර්ශනික අදහස් හා ගැලපෙන බවයි. මෙය මා ක්‍රියාකාරී දේශපාලනයේ අවදානම මග හැරීම සඳහා දුන් වංක පිළිතුරක් නෙමෙයි.

නමුත් ඇත්තටම පසුකාලීනව නලින් ද සිල්වා විසින් දිගින් දිගටම බාහිර ලෝකය වෙනස් කිරීමට ක්‍රියාකාරී ලෙස දායක වුනා. එහි සමහර ප්‍රතිඵල නරක අන්ත වලින් කෙළවර වුනා. මම හිතන්නේ නලින් ද සිල්වා දිවිසැරිය නිමා කරන්නේ ඔහුට ප්‍රායෝගිකව ඉදිරියට තල්ලු කළ හැකි වූ දේශපාලන ව්‍යාපෘතිය එයට ලඟා කර ගත හැකි වූ ඉලක්ක සියල්ල ලඟා කර ගෙන තර්කානුකූල අවසානයකට පැමිණීමෙන් පසුවයි.

නලින් ද සිල්වා ගොඩ නැගෙන්නේ මාක්ස්වාදියෙකුව සිට මාක්ස්වාදයේ විවේචකයෙකු වෙමිනුයි. ඔහු කවදාවත් ධනවාදී ආර්ථික විද්‍යාව ගැන මූලික හැදෑරීමක් හෝ කළා කියා මම හිතන්නේ නැහැ. එවැනි හැදෑරීමක් කළේනම් ඔහුට ධනවාදය සහ මගේ ලෝකය දර්ශනය අතර සම්බන්ධය පෙනෙනවා. මුල් කාලයේදී මෙවැන්නක් වී නම් ඔහු හිතන විදිහ මීට වඩා වෙනස් විය හැකිව තිබුණා.

“මගේ ලෝකය” අදහස් වලින් පසුව ඉදිරිපත් වූ නලින් ද සිල්වාගේ පසුකාලීන අදහස් මට ඒ තරම් ආකර්ශනීය වුනේ නැහැ. ඒ වගේම, ඔහුගේ ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරිත්වය සමඟ මට බොහෝ විට එකඟ විය හැකි වුයේ නැහැ. “බටහිර දැනුම් ආධිපත්‍යය” පිළිබඳ ඔහුගේ අදහස් පිළිබඳව මට එතරම් ප්‍රශ්නයක් නොතිබුණත්, එම ආධිපත්‍යයට එරෙහිව වෙනත් දැනුම් ආධිපත්‍යයක් ආදේශ කිරීමේ ව්‍යාපෘතිය මට කිසි විටෙක ආකර්ශනීය වූයේ නැහැ.

නලින් ද සිල්වාව අගය කරන හා ඔහුට විරුද්ධ වන ගොඩක් අය එසේ කරන්නේ ඔහුගේ ජාතිකවාදී භූමිකාව මත පදනම්වයි. මට අනුවනම් ඔහුගේ හොඳම ඉදිරිපත් කිරීම මගේ ලෝකයයි. පසුකාලීනව නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කළ ප්‍රවාද අතරින් මට වඩාත්ම ආකර්ශනීය වන්නේ නිවන පිළිබඳ ඔහුගේ අර්ථ දැක්වීමයි.

නලින් ද සිල්වා පෙනී සිටි දේශපාලන ව්‍යාපෘතිය අසාර්ථක වුනේ එම ව්‍යාපෘතිය තුළ ආර්ථිකය හා අදාළ නිවැරදි දැක්මක් නොවූ නිසයි. ඒ ව්‍යාපෘතියට අනාගතයක් තිබෙන්නේ ධනවාදී හැරවුමක් සමඟ පමණයි. නලින් ද සිල්වා තවත් වසර කිහිපයක් ජීවත්ව සිටියේනම් මේ හැරවුම ඔහු හරහාම සිදු විය හැකිව තිබුණා. දැන් නලින් ද  සිල්වා නික්ම ගොස් ඇතත්, ඔහුගේ වියෝවෙන් පසු ඉතිරි වූ හිස් අවකාශය තුළ ඒ හැරවුම සිදු වීමේ ලකුණු පෙනෙන්න තිබෙනවා.

නලින් ද සිල්වාට ඔහු පැතූ නිවන ලැබේවා!

#ඉකොනොමැට්ටා

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග