රත්නපුර එක්නැලිගොඩ වළව්ව ගැන කතාව…!

කුරුවිට එරත්න මාර්ගයේ කි.මී 01 ක් පමණ ගිය විට වම් පසින් කුඩා කඳු ගැටයක් මත මෙය පිහිටා තිබේ. නුවර රත්වත්තේ වළව්ව, පැල්මඩුල්ල ඉද්දමල්ගොඩ වළව්ව හා එක්නැලිගොඩ වළව්ව එකම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සාදා ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

මෙම වළව්ව ගැසට් අංක 95 යටතේ 1974.01.18 දින ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය මගින් රත්නපුර ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කරන ලද අතර වළව් භුමීයේ ඇති පැරණි සීමා ප්‍රාකාරය ගැසට් අංක 1486 යටතේ වර්ෂ 2007.02.23 දින ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර ඇත.

එක්නැලිගොඩ වළව් පෙළපත

එක්නැලිගොඩ වළව් පෙළපත සපරගමුවේ ඉපැරණි වළව් පෙළපත් වූ මොලමුරේ, වාරියගම, ඉද්දමල්ගොඩ, මඩුවන්වෙල, මුත්තෙට්ටුගම, එල්ලාවල, ඇලපාත, දෙල්වල, දෙල්ගොඩ, බදුල්ලේ රඹුක්පොත හා රුවන්වැල්ලේ මීදෙණිය යන පරපුරවල් වලට ඉතා සමීප නෑකම් ඇත්තේය. දැරණියගල පරපුර මෙම වලව්වේ භාරකාරත්වය ලබා ගන්නා විට මෙහි හිමිකරුවා වුයේ රඹුක්පොත එක්නැලිගොඩ කුමාරිහාමිය. රඹුක්පොත කුමාරිහාමිගේ යුගය දක්වා මෙම පෙළපතේ දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙම පෙළපතේ ආදිතමයා ලෙස සැලකෙන්නේ දඹදෙණිය රාජධානිය කරගෙන විසු නම්බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත 2 පරාක්‍රම බාහු මහ රජුගේ (ක්‍රි.ව.1228-1236) ආර්ය කාමදේව ඇමතිවරයා ය.

මෙම ඇමතිතුමාගේ සිට අකුරම් මාටුවාගල කුරුප්පු මුදලි දක්වා වූ කතා පුවත සමන් ශිරෝපාද කෘතියෙහි දැක්වේ. මෙම කුරුප්පු මුදලි පරපුරේ ආධිතමයකු ගැන අලගියවන්න මුකවෙටිතුමා රචනා කළ සැවුල් සන්දේශයෙහි නානම්බි කුරුප්පු නමින් සපරගමු මහ සමන් දෙවොලේ බන්තක මුදලි තනතුර දැරූ අයකු ගැන සඳහන් වේ. එය කුරුප්පු පරපුරේ අය සමන් දෙවොලේ බස්නායක නිලය ඈත කාලයක සිට දැරු බවට‍ සාක්ෂියකි. මේ ප්‍රදේශය කුරුප්පු පරපුරේ ආදී මුලය අකුරම් මාටුවාගලට අයත් ය. අකුරණ මාටුවාගල කුරුප්පු නාමය අක්‍රක් කුරුප්පු යයි කෙටි නාමයකින් ව්‍යවහාරයට ගොස් තිබේ. අකුරම් මාටුවාගල කුරුප්පු මුදලි සමන් දෙවොලේ බස්නායක පදවිය දැරීමට පැමිණ ගමනාගමනයේ පහසුව තකා එක්නැලිගොඩ නිවස ඉදි කරගෙන පදිංචි වී ඇත.

අක්‍රක් කුරුප්පු පරපුරේ අය එක්නැලිගොඩ ගමේ පදිංචි වීමෙන් පසු පෙළපත් නාමය වශයෙන් එක්නැලිගොඩ යන නම යොදාගත්තත් පැරණි පෙළපත් නාමය වූ අක්කරක් කුරුප්පු යන්න අමතක කර නැත. මේ අතර යම් යම් වික්‍රමයන් නිසා මහනුවර රජුන්ගෙන් පටබැඳි නාමයන් ද ලැබී ඇත. ඒ අනුව එක්නැලිගොඩ වළව් පරපුරේ පෙළපත් නාමය වී ඇත්තේ “අක්‍රක් කුරුප්පු මහීපාල වික්‍රමසිංහ බස්නායක මුදියන්සේලාගේ එක්නැළිගොඩ” කියාය. මේ පරපුරේ අය පරම්පරා උරුමයක් ලෙස සලකා මහා සමන් දෙවොලේ බස්නායක නිලය දීර්ඝ කාලයක් දරා තිබේ.

1800දී පමණ සමන් දෙවොලේ බස්නායක ධුරය දැරූ ලොකු කළු බස්නායක නිලමේ වඩා බලවතෙක් වීය. මොහුට පෙර මෙම පරපුරේ දෙදෙනකු බස්නායක ධුරය උසුලා ඇත. මේ වළව්ව පිහිටි ස්ථානයේ වරිච්චි බිත්ති සහිත කුඩා ගෙයක පැරණි අය වාසය කර තිබේ. අනතුරුව ක්‍රමානුකුලව වළව්ව ගොඩ නඟන තුරු වළව්ව ඉදිරිපිට කුරුවිට‍ එරත්න පාරට නැගෙනහිර පසින් වෙනත් වලව්වක් තනා ගෙන වාසය කර ඇත. ඒ පරණ වළව්වේ අඩිතාලම අදත් දක්නට ඇත.

එක්නැලිගොඩ කළු බස්නායක නිලමේ පෞරුෂයක් ගොඩ නගාගත් ප්‍රදේශාධිපතියෙකු ලෙස ක්‍රියා කිරීම නිසා මහනුවර රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෝප වී මොහු අත්ඩංගුවට ගෙන නුවරට ‍ගෙන යාම සඳහා රාජ දුතයන් එවනු ලැබූ අවස්ථාවේ යටත් නොවූ කළු බස්නායක නිලමේ දෝලාවෙන් නැඟී ගුරුබැල්කඩ නම් ස්ථානයට පැමිණ වස පානය කර දිවි නසාගෙන තිබේ. ඔහුගේ අවමඟුල ගුරුබැල්කඩ දීම කිරීමේ පටන් අද දක්වාම ඒ ස්ථානය එක්නැලිගොඩ වළව් පරපුරේ සොහොන් භුමිය බවට‍ පත් වී ඇත. කළු බස්නායක නිලමේගේ අකාල වියෝවෙන් පසු එක්නැලිගොඩ පරපුරේ රදළවරුන් මහනුවර රජුට වෛර බැඳ ඇත. ඒ නිසා සපරගමු පාලනය සඳහා ඇහැලේපොළ අධිකාරම ඒවා ඇත. කළු බස්නායක නිලමේ විවාහ වී සිටියේ මඬුවන්වෙල කුමාරිහාමි සමගය. එම කුමාරිහාමිට ලැබුණු එකම දරුවා එක්නැලිගොඩ මොහොට්ටාලය. ඔහු පියාගේ සතුරා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා දීමෙන් එකට එක කිරීමට පෙළඹී තිබේ.

කළු බස්නායක නිලමේගේ දේපොළ මහනුවර රජු විසින් රාජ සන්තක කරනු ලැබුවත් පසුව නිදහස් කර තිබේ. ඔහුගේ පුත් එක්නැලිගොඩ මොහොට්ටාල ඉංග්‍රීසි වරප්‍රසාද යටතේ පසුව දිසාවේ තනතුරට පත් වී ඇත. මොහු 1929 දී සමන් දේවාලයේ බස්නායක පදවියට ද පත්වී තිබේ. එක්නැලිගොඩ දිසාවගේ දෙවැනි විවාහය වී ඇත්තේ කැප්පෙටිපොළ දිසාවගේ වැන්දඹු බිරිඳ වූ දෙල්වල කුමාරිහාමි ය. දිසාවගේ පුත් විවාහ වී ඇත්තේ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේගේ සහෝදරිය සමඟ ය. අනතුරුව අවාහ විවාහ අනුව මොලමුරේ පරපුරටත්, රඹුක්පොත පරපුරටත්, ඇලපාත පරපුරටත් බැඳී ඇත.

රුවන්වැල්ලේ සිටි එක්නැලිගොඩ දිසාවගේ දියණිය පුස්වැල්ලේ වලව්වේ සිටි මුත්තෙට්ටුගම රටේ මහත්මය සමඟ විවාහ වූ නිසා එම පරපුරේ සම්බන්ධතාව ද ඇති වීය. මොලමුරේ පරපුරේ ප්‍රීති මොලමුරේ කුමාරිහාමි සමඟ කෞතුකාගාරය අධ්‍යක්ෂ ව සිටි පී ඊ පී දැරණියගලතුමා විවාහ වූ නිසා එක්නැලිගොඩ පරපුරට දැරණියගල පරපුරද යා වීය. මේ වලව්වේ අයිතිය අවසාන කාලවකවානුව වන විට මොළමුරේ පරපුරට හා රඹුක්පොත පරපුරට හිමි වූ අතර ප්‍රීති මොළමුරේ දැරණියගල කුමාරිහාමි විසින් සෙසු කොටස් ද මිලට ගෙන තනි අයිතිය ලබා, ඒ අයිතිය මෙම වලව්වේ පදිංචි ශිරාන් දැරණියගල මහතාට හිමි කර දී තිබේ.

වලව්වෙ වාස්තු විද්‍යාත්මක පසු බිම

වාස්තු විද්‍යාත්මක වශයෙන් මෙය අතිශය වැදගත් ස්මාරකයක් සෙ සැලකිය හැක. මෙම වලව්වේ නිර්මාණ සැලැස්ම නිරීක්ෂණය කරන විට පැරණි රජගෙදරක අසිරිය සිහිගන්වයි. ප්‍රභූ පාලකයෙකුගේ වාසයට සුදුසු අයුරින් නිමාවී ඇති නිසා පැරණි ශ්‍රී විභූතියක ජායාව ගෙන හැර දක්වයි. 1 වන පරාක්‍රමබාහු රජු ප්‍රථමයෙන් ඉදිකළ පඬුවස් නුවර රජ ගෙදර ආකෘතියට මෙම වලව්වේ සැලැස්මද බොහෝ සෙයින් සමාන බව පුරාවිද්‍යා මතය වේ. එකම වෙනස එහි ඉදිරිපස මිදුල වටා ඇති කාමර පේළිය නැති කම පමණ බව සඳහන් ය.

වලව්වෙ බිත්ති බැදීමේදී පුරාණ තාක්ෂණික ක්‍රමයක් වූ කළුගල් සක්ක බැම්මෙන් නිමවා ඇති අතර, බඔර පැණියෙන් ඇනූ හුණු බදාම කපරාරුව වශයෙන් යොදාගෙන ඇත. එම තාක්ෂණික ක්‍රමවේදය නිසාවෙන්ම බිත්ති සවි ශක්තිය අතින් අනූන වී ඇත, එම බඹර පැණි ශ්‍රී පාදය ආශ්‍රිත කැලයේ සිට ගෙන ආ බව ජනප්‍රවාද ගත කරුණකි, වහලයට ශක්තිමත් දැව යොදා සිංහල උළු සෙවිලිකර ඇති අතර මෙම වළව්ව ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් විරාජමානව පවතී.

ආලින්දයේ එක් කොටසකුත් පිටුපස මුළුතැන්ගෙයි ප්‍රදේශයත් හැර ඉතිරි සියළු කොටස්වල සතරැස් බිම් ගඩොල් අතුරා තිබේ. මේ ක්‍රමයේ බිම් ගඩොල්, ඕලන්දයේ ඉපැරණි ගෘහ නිර්මාණ කටයුතු සදහා යොදා ගෙන තිබීම අනුව මේ ක්‍රමය ලක්දිවට ඕලන්ද ආභාෂයෙන් ජනිත වුවක් දැයි අනුමාන කරතත් පැරණි විහාර දේවාල සහ වළව් වැනි ස්ථානවල මෙවැනි බිම් ගඩොල් අල්ලා ඇති බව අමතක නොකල යුතුය. මේ ගඩොල් වළං මැට්ටෙන් මෙරට නිෂ්පාදනය කරන ලද ඒවා බව සඳහන් වේ.

මුළුතැන්ගේ කොටස පමණක් ගොම මැටි ගා තිබී ඇත. වලව්වට අයත් විවිධ අංග අතර ගෙමිදුල විශේෂ තැනක් ගනී. එය දිග අඩි 80හා පළල අඩි 40 ප්‍රමාණයේ වුවකි. පෙර කළ වළව් ගෙමිදුල්වල ප්‍රදේශයේ දක්ෂ නාට්‍ය ශිල්පින් එක් රැස් කර රංගනයන් පවත්වා ඇති නිසා එබඳු විවිධ කාර්යයන් සඳහා ගැලපෙන අයුරින් මෙම ගෙමිදුල සැකසී තිබේ. මෙම වලව්වේ තවත් විශේෂාංගයක් නම් එහි දක්නට ඇති ආලින්දයන් ය. වළව්වේ විවුර්ත ස්වභාවය ඒ මගින් විදහා දක්වයි. ගොඩනැගිල්ලේ ඉදිරියෙන් ම ඇත්තේ අඩි 60×7 ප්‍රමාණයේ ආලින්දයකි. මෙය රවුම් කුළුණුවලට සම්බන්ධ කළ ගරාදි වැටකින් හා පිවිසුම් දොරටු දෙකකින් යුක්ත වේ. බිමට වළං මැටි ගඩොල් අතුරා ඇත. මෙය පිටතින් පැමිණෙන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඉදිකරන්නට ඇතැයි සිතිය හැක. අඩි 10 පරතරයට අඟල් 18 ප්‍රමාණ වූ වටකුරු ඕලන්ද ශෛලියට නිර්මාණය වූ කුළුණු 7කි. පාදමට අඩි 2 1/2 පමණ වූ ඔප මට්ට්ම් කළ සතරැස් කළු ගලක් යොදා ඇත. ඉදිරියේ ඇති ආලින්දයට අඟල් 8ක් පමණ උසින් හා ඊට පිටුපසින් තවත් ආලින්දයක් නිමවා ඇත. එහි පළල 60×15 පමණ වේ. උසින් තනා ඇත්තේ ප්‍රභූන්ගේ ප්‍රයෝජනය සඳහා විය යුතුය. මෙහි කුළුණු 6ක් පමණ ඇති අතර බිමට සිමෙන්ති දමා ඇත. මුළු වළව්වේම බිමට සිමෙන්ති දමා ඇත්තේ මේ කොටසේ පමණි.

මුලින් සවිකර තිබු බිම් ගඩොල් පළුඳු වූ නිසා සිමෙන්ති දමන්නට ඇත. ඉදිරිපස දෙකොනේ ඇති කාමරවලින් මෙම ආලින්දයට පිවිසීමට දොරවල් ඇත. වළව්ව ඇතුලට පිවිසීම සඳහා ඉදිරිපසින් දොරටු දෙකක් ඇත. දොරටුවල හා ජනෙල්වල උඩ කොටස් ඕලන්ද ගෘහ නිර්මාණ හැඩයක් ගනී. මේ ආලින්ද දෙකේම සිවිලිම් නැත. බැලු බැල්මට කොටස් දෙකක් වශයෙන් පෙනී යන එක්නැලිගොඩ වළව්ව ඉදිරිපස කොටසේ පසුපසද ආලින්දයකි. එය මැද මිදුල වටා දිවෙන ආලින්දයකි. මෙය අඩි 10කට වැඩි පළලක් ඇතිව වටේට ලි කණු යොදා බිමට සතරැස් බිම් ගඩොල් අල්ලා ඉදි කර තිබේ.

වලව්වාසීන්ට හා පිටතින් පැමිණෙන්නන්ට පිළිසඳරේ යෙදීමට මේ ස්ථනය උපකාරී වේ. බොහෝ විට ඉදිරිපසින් දොර වසා මැද මිදුල් ප්‍රදේශයේ නිතර ගැවසීම සිරිතය. ඒ හැර ඉදිරි කොටසේ දෙපසද තවත් ආලින්ද දෙකක් වේ. දකුණු පසින් ඇතුළු වීම සඳහා දොරටු දෙකක් ඇත. ඉදිරි දොරටුවෙන් ඇතුළු වූ විට කාර්යාල කාමරය හරහා ගොස් ඉදිරිපස මහ ආලින්දයට පිවිසිය හැක. දඬු කඳ වැනි උපකරණ සඳහා මේ ආලින්දය ප්‍රයෝජනයට ගෙන ඇත. තවම ආලින්දයේ පසුපස බුදු ගෙය පිහිටා ඇත. අනිත් පස කෙළවර ඇත්තේ රාජකාරී කටයුතු සඳහා වෙන් වූ කාමරයයි. වළව් ගොඩනැගිල්ලේ පිටුපස අන්තිම කෙළවර අඩි 6 ක් පමණ පළල්වු වටා ගරාදි යෙදු ආලින්දයක් ඇත. එහිද ඉදිරිපස මෙන්ම ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පිය ක්‍රමයේ කණු යොදා ඇත.

නිදන කාමර

මෙහි නිදන කාමර 8 ක් වේ. මැද සාලය දෙපස නිදන කාමර 4කි. භෝජනාගාරය දෙපස නිදන කාමර දෙකකි. මැද මිදුලට යාබද පිටුපස ආලින්දයේ උතුරුපස කෙළවර තවත් නිදන කාමරයකි. එයට ප්‍රතිවිරුද්ධ පැත්තේ වතුර කාමරය ඇත. මෙයද දැන් නිදන කාමරයක් බවට පරිවර්තනය කර ඇත.

මැද සාලය
අඩි 30×20 ප්‍රමාණයේ දිග පළලින් යුක්ත වේ. සිව්පසටම දොරටු දෙක බැගින් ඇත. මේ කොටසට පමණක් සොළ්දරයක් ඇත. එයට නගින පියගැටපෙළ උතුරු පස කොනේ යොදා ඇත.

භෝජනාගාරය
වලව්වේ ප්‍රභූන්ගේ අඩුක්කු සප්පායම් වන්නේ මෙම ශාලාවේ දීය. වළව්වල ප්‍රභූන්ගේ ආහාරයට අඩුක්කුව යයි ද භුක්ති විදීම සප්පායම යයි ද පැරණි ව්‍යවහාරයක් වේ. මෙහි ඉදිරිපස දෙපසට දොරටු දෙක බැගිනුත් දකුණු උතුරු දෙපසට දොරටුව බැගිනුත් සවි කර ඇත.

බුදු කුටිය
දිගින් වැඩි පළලින් අඩු මේ කුටිය වළව්වේ ආගමික කටයුතු සඳහා වෙන් වී ඇත. වෙනත් ස්ථානවල නිවසක ඉදිරිපසින් ඉදිකරන පුජනිය ස්ථානය මෙහි නිවස තුල මැද කොටසක සකස් කලේ පසුකලකදී පහසුව සඳහා විය හැක.

මැද මිදුල

ආලෝකය ලබා ගැනීම, ස්වභාව ධර්මය සමග මුසු වීම ආදී අවශ්‍යතා අනුව පැරණි ගෙවල් වල මැද මිදුල ක්‍රමය සැකසු අයුරින් මෙහි ද කුඩා ශාකවලින් අලංකාරවූ මැද මිදුලකි.

පැණි කෑම කාමරය

මැද මිදුල වටා ඇති කාමර පෙළ ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යය ‍ගබඩා වශයෙන් පරිහරණයට ගෙන ඇත. පැණියෙන් සකසන කැවිලි වර්ග තැන්පත් කර තැබීමට ද මේ කාමරය යොදා ගෙන තිබේ. ආගන්තුක සංග්‍රහය සඳහා පැරණි ගෙවල් වල පැවති සිරිතකි මෙය.

සූප කාමරය
අඩුක්කුව සඳහා සැකසු ව්‍යංජන වර්ග ආරක්ෂිතව තබා ගැනීමට මේ කාමරය උපයෝගී වේ

ගබඩා කාමරය

ආහාර සඳහාත් වෙනත් විවිධ ද්‍රව්‍ය තැන්පත් කර තැබීම සඳහාත් මෙම ගබඩා කාමර පෙළ ඉදිකර ඇත. මෙම කාමර යටින් සිටින පරිදි උඩින් වී අටුව තනා ඇත. මේ කාමර අතර අටුවට දුම සහ රස්නය ඇති වීම සඳහා ගිනි උදුන් වෙනුවෙන් ස්ථාන ද වෙන් කර ඇත

වී කොටන ගෙය

පැරණි ගෙවල්වල වී කෙටිම සඳහා උපයෝගී කර ගන්නා ස්ථානයක් වෙන් කරන අතර මෙහිද එය ඇත හතර පස් දෙනෙකුට වටා සිට වී කෙටීමට පහසු වනසේ සැකසු බිම්ගල් මොහොර සුවිශේෂ අංගයකි

ආහාර පිසීම

ගිනිහල් ගෙය හෙවත් මුළු තැන් ගෙය කෙළවර පිහිටා තිබේ

පිට වහනය

පැරණි වළව්වල පිටස්තර අයටත් වළව්වේ සේවක කොටස්වලටත් ආහාර පිළියෙළ කරන කොටස පිට වහනය ලෙස හැඳින්වේ. වළව්වේ අඩුක්කුව රසමසවුලෙන් යුක්ත වන අතර පිට වහනයේ ආහාර එසේ නොවන බව පැරැන්නෝ කියති. මෙම වලව්වේ පිට වහනයෙ ආහාර ගැනීම සඳහා දිනකට 150 කට වැඩි පිරිසක් සහභාගිවී තිබේ

ප්‍රභූ වැසිකිලිය

වලව්වට නැගෙනහිරින් මුලිකයාගේ කාමරයේ සිට පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි වැසිකිලිය තනා තිබුනත් අද ඒ වෙනුවට ඒ ස්ථානයේ ඇත්තේ කාමරයකි. පැරණි ගෘහ නිර්මාණයට අනුව හැමවිටම වැසිකිලි කැසිකිලි ගෙයින් බාහිරව තනන ලද බව සැලකිය යුතුය.

වතුර කාමරය
අද ගෙවල් වල ඉදි කරන නාන කාමර ක්‍රමය වෙනුවට මේ වළව්වේ ද පරිහරණය සඳහා වතුර කාමරයක් තිබී ඇත. එයට වතුර පිටතින් ගෙනවිත් තැන්පත් කර ඇත. අද ඒ කාමරය නිදන කාමරයක් බවට පරිවර්තනය කර ඇත

මහ අටුව

වලව්වේ මැද සාලය කොටසේ තනා ඇති සොල්දරය මහ අටුව යයි කියයි. පෙර මේ වළව්ව ප්‍රදේශයේ රාජකාරි මධ්‍යස්‌ථානයක් ව පැවති සමයේ රාජකාරි සඳහා අවශ්‍ය කරන අවි ආයුධ රහසිගතව ගබඩා කර තැබීමට මෙම මහ අටුව යොදා ගෙන ඇත.

මහ වී අටුව

වලව්වේ මැද මිදුල වටා ඇති නැගෙනහිර හා බටහිර පසට මේ මහ වී අටුව ඉදි කර තිබේ. දැනට සොයා ගෙන ඇති පරිදි ලක්දිව ඇති පරණම විශාල ප්‍රමාණයේ අටුව මෙය යයි සැලකේ.

මුළුතැන්ගෙය

ආහාර පිසීමේ දී අවශ්‍ය කරන විවිධ කාර්යයන් සඳහා භාවිතා කිරීමට මේ කොටස ප්‍රයෝජනයට ගෙන ඇත.

උපුටාගැනීම – තනුජ බන්ඩාර / ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම