සේකරගෙන් අවසරයි…!!

-මහාචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි-

සේකරගේ සිතුවම් හා පිටකවර නිර්මාණ සංගෘහීතයක් පසු ගිය දා කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී දැක ගන්නට ලැබුණා. මට නම් ඒක මනහර අද්දැකීමක් වුණා. සෞන්දර්‍ය සරසවියේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති අප මිතුරු ජගත් රවීන්ද්‍ර මහතාගේ ඇල්ම බැල්ම මේ වැඩේට මුල සිට ලැබිලා තිබුණා. සෑම දිනෙක ම සේකර පුතණු රවීන්ද්‍ර මහගම සේකර මහතා ප්‍රදර්ශන බිමේ හිටියා.

මේ වගේ කටයුත්තක් හරිම දුෂ්කර එකක්. ඒ වෙහෙස හා මහන්සිය එළියට පෙනෙන්නෙ නෑ. සේකරගේ සිතුවම්වල මුල්පිටපත් ප්‍රදර්ශනය නොකළේ මන්දැයි කෙනෙකු අසා තිබුණා. අදාළ මුල් නිමැවුම් සම්බන්ධ තත්වය ඉතා ම බැරෑරුම් බව තේරුම් ගියේ රවීන්ද්‍ර මහත්මා සමග කළ කතාවෙ දි. අපේ රටේ කලාකරුවාගේ ඛේදවාචකයේ ම කොටසක් ඒ කතාව පිටුපස තිබෙනවා. ඒ අතින් තවම අපි, අබිලිං ලොකු මාමා හෝ සිරිසේන යොවුනා හිටිය තැන ම හෝ තුංමංහංදියේ අන්දර ගහෙනුත් එහා පැත්තෙ ඉන්නෙ. කලාකරුවා රැක ගන්න කලා අනුග්‍රාහකයන් ඕනෙ බව එදා රදාවානෙ මණ්ඩාවල රාළහාමි කටයුතු කළ අයුරු බැලුවත් තේරෙනවා. වැඩේ කියන්නෙ එහෙම රාළහාමිලා දැන් නැති ම වගෙයි. සේකර කිවිඳු හිටියේ කුළී ගෙවල. තැන්තැන්වලට ගිය සංචාරක ජීවිතේ. සමහර වැඩ කළේ මිතුරන්ගෙ ඉල්ලීමට. තමන්ගෙ නිර්මාණ එකතු කරලා ගබඩා කරගන්න පසුබිමක් නොතිබෙන්න ඇති. සමහර නිර්මාණ ඇතැම් අය රැගෙන ගිහින්.

සේකර කිවිඳු දිනපොත් පවත්වා ගෙන ගිහින් තිබෙන පිළිවෙළ බලන විට ඔහු තම වැඩකටයුතු කොපමණ පිළිවෙළකට කර ඇත්දැයි සිතෙනවා. මේ අප්‍රමාණ ජීවිතවලට හරස් වුණු බාධක වටහා ගන්න අමාරුත් නැ. අධ්‍යාපන සියවස ඇතුළු යම්‍ යම් තේමා ගැන සේකර කළ වාර්තා චිත්‍රපට තිබෙන බව දිනපොත් සාක්ෂ්‍ය දරනවා. ඒවා කෝ? සොයන්නෙ කොහොම ද? රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට අනුක්‍රමණිකාවක් හැදූ මොහොතේ පවා අපට ඒක හසු වුණේ නැ. මේ සොයා යාම්වලට පර්‍යේෂණ සහායකවරුන් හා පර්‍යේෂණ ආධාර ඕනෙ වෙනවා. තම ආත්ම ප්‍රකාශනය ලෙස අවසන් අවධියේ චලන චිත්‍රය ගැන සේකර ඉමහත් විශ්වාසයක් තබා තිබුණා. ඒ නිසා සිය එක ම චිත්‍රපටයට අමතර තව බොහෝ දේ ඒ මාදිලියෙන් තිබිය හැකි යි. ඔහු ඇඳි කතා පුවරු හා සිනමාව ගැන පළ කර ඇති අදහස් හරි ම දියුණු යි.

සේකරගේ සමස්ත නිර්මාණ අස්වැන්න හා උපභෝග පරිභෝග මෙවලම් සහිත පරිපූර්ණ කෞතුකාගාරයක් සෑදිය නොහැකි ද? තොරතුරු හා දත්ත රැස් කිරීම ලොකු වැඩකි. අත් අකුරුවල සිට කටහඬ,දහසක් ගුවන්විදුලි වැඩසටහන්, චලන රූ ඛණ්ඩ, පෑන පැන්සල දක්වා දේ අවශ්‍ය වෙන්වා. චාලි චැප්ලින් ගැන එහෙම පරිපූර්ණ සං‍රක්ෂණාගරයක් තියෙනවා. මහවැව ජිනසේන ගමගේ මහතා විශාල ලිපි සාක්ෂ්‍ය එකතුවක් දැනට ම හදලා. රත්න ශ්‍රී කිවිඳු ඇතුළු සේකර සදාශ්‍රය ලද පරපුරු මෙන් ම ඒවාට පාර කැපූ කරුණාරත්න අමරසිංහ බඳු සේකර සන්මිතුරු කැළ සොයා ගොස් වැඩ පටන් ගන්න ඕනෙ. කුසුමලතා මහගම සේකර මැතිණියට සිය මතකය අවධි කරන්න ආරාධනා කිරීමට දැන් පරක්කුයි අපි. සේකර හා සම්බන්ධ මේ සියලු උරුමය විශාල මානව විද්‍යා සාක්ෂ්‍ය ගොනුවක්. මේ අතරෙ දෘශ්‍යාත්මක මානව විද්‍යා විෂය හරහා ඒ යුගය ම නැවත බැහැදැකීම කළ හැකි නොවේ ද? රජයක් කළ යුතු ලොකු වැඩ තවම-තනියම හෝ කරන්න හිතෙන ගතිය කොයි වගේ එකක් ද මන්දා? අර හේමප්‍රිය කණ්ඩම්බි ලංකා සිනමාවේ මහා උරුමයක් එක්ක පොළවෙ හැපෙනවා දැන් දශක ගණනක්.

සෞන්දර්‍ය කලා සරසවිය සිය ආදී විදුහල්පති නමින් සුවිසල් ශාලාවක් නම් කරලා. ඒක හරි උදාර වැඩක්. සේකර කිවිඳුන්ගේ උඩුකය මූර්තියක් නිත්‍ය ප්‍රදර්ශනයට එක් වෙලා. ඒ පිළිරුව සත්‍යෙක්ෂණය අතින් සැබෑ රුවට සමීප බව යි රවීගේ අදහස. මේ අසහාය මිනිසා ගැන දැන් මෙහි මූර්ති හදාරන සිසු පිරිස කොහොම හිතයි ද දන්නෙ නැ. “ණය නැති-බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ” කියලා සේකර ඒ ළමුන් ගැන ලියලා තිබුණා. ඒත්, ණය උතුරලා, ඒ ණය නොගෙවන, බිය දෙගොඩ තලා යන හාත්පසින් ම වහල් නිවට යුගයක් ඒ පිළිරුව ඉදිරියේ හැදිලා.

මූර්ති, චිත්‍ර ගැන ලියන්න මට දැනුම නැ. ඒත්, ඒ ප්‍රදර්ශනයෙ තිබුණු අසමාන පරිකල්පනය මට නැවත කිවිඳු ගැන ආදරය වැඩි කළා. “සේකරගෙන් අවසරයි” කියලා කවියක් ආරියවංශ රණවීර ලිව්වෙ ඇයි කියලා ආයෙ තේරුණා. මේ නිර්මාණ පිටපත් මේ තරම් නිමාවක් සහිත ව ගන්න සිසිර විජේතුංග හා පුෂ්පානන්ද ඒකනායකගෙ ශිල්ප බලපාන්න ඇති. ඒ දෙන්නා ම, මුල් නිර්මාණයට ආසන්න පලයක් ගන්න කොන්දේසි නැතිව නහින දෙන්නෙක්.

පාඨලී ලොකු දුව දැන් පිටරට. නිරූපමා පොඩි දුව ලංකාවෙ ඉන්නවා. ඒ, 1994 මට සරසවියෙ දි හමු වූ ඉංග්‍රීසි මිස්. රවී ලොකු කැපකිරීමක් කරමින් මේ සම්පත් ගැන වෙහෙසෙන එකම පුතු. සේකර බතික් වැඩ කළා. සාම්පල් නිර්මාණය කළා. මේ ප්‍රදර්ශනයෙ තියෙනවා අර දූලට හදපු බතික් සිඟිති ඇඳුම්වල චිත්‍ර. ඒවා තවම තියෙනවාලු. ඒ ඇත්ත ළමා ඇඳුම් දිරාපත් වෙන්න කලින් සං‍රක්ෂණය කළ හැකි නම්…මං එළියට බැස්සා. හැරිලා බැලුවෙ මහා කිවිඳු දිහා. වෙසක් සැරසිලි කරන්න ඔට්ටු වෙන නූතන සරසවි සිසුන් දිහා එයා බලාගෙන හිටියා.

Social Sharing
අවකාශය නවතම