ජීවිතයෙන් ඈත සිට ජීවිතයේ සියුම් තැන් කොනහන කවියෙකුගෙ ‘මල් පිපෙන හදවත’

-ළහිරු කරුණාරත්න-

‘මට දුරද මල් පිපෙන හදවත’ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාගේ සවැනි කවි එකතුව. එක්තරා ආකාරයකින් මේ ග්‍රන්ථ නාමයම ඇතුළු ගැබ කවි හැඩරුව ඇද පෙන්වනවා. කවියා මේ කියන්නේ ඔහුට දුරින් තිබෙන, ඔහුගේ ස්පර්ශීය සීමාවෙන් එපිට තිබෙන මල් පිපෙන හදවතක් ගැන ද? නැතිනම් ඔහුගේ හදවත තුළ මල් පිපීමේ අත්දැකීම තමාට කෙතරම් දූරස්තද යන්නද?

නිවුන්හැල්ල කියන්නෙ අභ්‍යාසප්‍රේමී කවියෙක්. ඒ වගේම ඔහු සාහිත්‍ය කියන්නෙ වැඩබිමක් ලෙස සලකමින් ශානරය වෙනුවෙන් වැඩ කරන කවියෙක් බව නොරහසක්. ඒ අභ්‍යාසප්‍රේමීත්වයේ ප්‍රතිඵල අපට දක්නට ලැබෙන්නෙ ඔහුගෙ පස්වන කවි එකතුව – නිහඩව ගලන මේ ගඟ – හි සිටයි.
ජීවිතයට, දේවල්වලට නිශ්චිත තේරුම් තියනව නම් මිනිස්සුන්ට ආර්ට් ඕන නෑ. ජීවිතයෙ, සත්තාවෙ හැම වෙලාවෙම අපැහැදිලි කලාපයක් තියනවා. මේ කලාපය විවරණය කරගන්න ලෝකයෙ තියන සාමාන්‍ය දැනුම් පද්ධති අපොහොසත්. කලාව ස්ථානගත වෙන්නෙ මෙතැනට. මේ අපැහැදිලි කලාපය සියුම්ව පරීක්ෂා කරන කවියෙක් මේ පොත ඇතුළෙදි අපට හමුවෙනවා.

සුවිසල් මල් උයන
ලස්සන මල් පිපෙන
ඇවිද යමු
නෙක මංපෙත්වල
ලස්සන මල් පිපෙන
ඇතුළුවන
පිටවන
දොරටු
කොයිබ ද
සිතෙන
මොහොතක
ළං වෙමු
තව තවත්
මල් වෙත
යෝධයා කොයිබ ද
උයන තුළ ම ද
උයනින් බැහැර ද
සිතන
හැම මොහොතෙ ම
මගහැරෙයි
මල් සුවඳ
කොතැන සිට හෝ
යෝධයා පැමිණ
පිටමං කරන තුරු
ඇවිද යමු
මල් පිපෙන
ලස්සන
මංවල
(යෝධයාගේ මල් උයන, පි. 5-6)

ජීවිතයේ නිසඟ මල් සුවඳ මගහරවමින් අධිපති දෘෂ්ටිවාදී යෝධයන් ඉදිරියට පමුණුවන යථාර්ථය අප වැනි සමාජවල සබුද්ධික පුරවැසියන් කාලයක සිට වේදනාත්මකව අත්දකින දෙයක්. මේ බැහැර සිටින යෝධයා විසින් මිනිසුන්ට මිස් කරනු ලබන්නේම ජීවිතයම බව මේ කවිය හඩගා කියනවා. මෙතන මේ මොහොත තුළ ඇති මල් සුවඳ මතක් කර දෙන ගමන්ම එවැනි දෘෂ්ටිවාදී යෝධයන්ට එදිරි දෘෂ්ටිවාදී අවි සියුම්ව මුවහත් කරන කවියක් මෙතනදි නිවුන් ලියනවා.
ඉතිහාසය කියන්නෙ ස්වයංසිද්ධ පැවැත්මක් අහිමි දෙයක්. ඉතිහාසය හැම වෙලාවෙම වරනැගෙන්නෙ අධිපති දෘෂ්ටිවාදය මත. ඒ නිසා ඉතිහාසය නොලියන කතාවක් හැම වෙලාවෙම තියනවා. නැත්නම් ඉතිහාසය නොකියන කතාවක් තියනවා. නිවුන් මේ කියන්නෙ ඒ කතාවද?

මහ රජ රුව
“මේ රට අයිති අපිට. ඔව්, බෞද්ධ මිනිසුන්ට.”
(පන්සලක දී මිනිසකුගේ ආවේගශීලී ප්රකාශයක්)
මහා වන මැද පැන නැඟි
උස් ගිර
ඒ ගිර මුදුනත
අනුබුදු මිහිඳු හිමි රුව
පාමුල
දුනු හී දමා බිම
උස් මුදුන දෙස බලන
මහ රජ
මතක ද?
ඔබට
ඒ සිතුවම
අප පොසොන් තොරණක
නැරඹුව
ඇසෙයි මට අද
ඒ පැන
වන මැද
උස් මුදුන මත සිට
අනුබුදු මිහිදු හිමි
විමසන
මහ රජ මේ ගස කුමක් ද?
ස්වාමීනී මේ අඹ ගසක්.
මහරජ මේ ගස හැර තවත්
අඹ ගස් තිබේ ද?
එසේ ය ස්වාමීනී, තවත් අඹ ගස් ඇත.
මහරජ මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර
තවත් ගස් තිබේ ද?
එසේය ස්වාමීනී. ඒවා අඹ නොවේ.
මා මිතුර
නෑසේ ද? ඔබට
ඒ හඬ

ජීවිතයෙ තියෙන අර අපැහැදිලි කලාපය ගැන ලියද්දි නිවුන් හරිම නිශ්ශබ්ද කවියෙක්. ඔහුගෙ කවිවල දක්නට ලැබෙන ප්‍රමුඛ ලක්ෂණයක් වෙන්නෙත් මේ නිහඬ හඬ. කොහොමත් මිනිස්සුන්ගෙ තියන සියුම් අකලංක සම්බන්ධකම්වල යම් නිහඬභාවයක් තියනවා. ජීවිතයෙ බාහිර ආකෘතිය ආරක්ෂා කරගැනීමත් ජීවිතයෙ ලාලසාත්මකය පවත්වා ගැනීමත් අතර ප්‍රතිරෝධයකට මැදිවන මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ කවියක් මේ.

ඔබ මැසූ කොට්ට උරයක්
ලස්සන ද? අහන එක
ඉඳහිට චොකලට් පෙත්තක්
බර කර අත්ලේ තියන එක
වැහි දවසට රතැඟිලි තුඩින්
ජනෙල් වීදුරුවල
වැහි බිඳු පිහින එක
………………….
………………….
ඔය වැනි පොඩි පොඩි
දෑ අතර ය
කතාබහ ගෙවී ගියෙ
අප’තර
දවසක් කොනිත්තා ඔබ
වම් උරහිස
පෙන්වී ය මට
වැස්සට පසු
නුදුරු දිය කඩිත්තක්
කඳුවැටි දෙකක්
පිළිබිඹු කරන හැටි
එකිනෙකට
බාධා නොවන විදිහට
(විවාහක ඔබ, පි. 26)

මිනිසා හා ප්‍රකෘති සෞන්දර්යය අතර ඇති සම්බන්ධය මාතෘ සම්බන්ධයකට සම කරන කවි‍යෙක් මේ පොත පුරා නිවුන් එක්ක සැරිසරනවා. මේ ‘වන මැද සිට’ නමින් වන කවියෙ අවසන් කොටස.

පෙකණි වැලකින්
කිසිවකු හා
බැඳුණු සේ දැනෙයි
මේ මහා වන මැද
(වන මැද සිට, පි. 36)

ක්ෂුද්‍ර මොහොතක පවා තියන විශ්වීයත්වයෙන්, සියල්ලේ තියන සන්තතිකත්වයෙන් ප්‍රහර්ෂිත කවියෙක් මට දුරද මල් පිපෙන හදවතෙහි නිතරම අපට හමුවෙනවා.

කළුවර සමග මතුවන
මහා තාරකා විශ්වයෙන්
බිඳක් ගෙන
කණාමැදිරියෙක් හැසිරෙයි
මා අවට
(පුංචි මිදුලක සැදෑ කල, පි. 37)

 

මේ කෘතියෙ තියන විශේෂම දෙයක් නම් නිවුන් බුදුන්ව ස්ථානගත කරන තැන. විශේෂයෙන්ම බුදුන් ගත කළ කාව්‍යාත්මක ජීවිතය නිවුන් මෙහිදී අල්ල ගන්නවා. ‘මහා මුනි’, ‘පාරිලෙය්‍ය වනයට වැඩි බුදු හිමි’ වැනි කවි ඊට සනිදසුන්.

නටු අග දිවිය නිම කළ
පතක් විත් නිහඬ ව
දිරා යන පත් පලසේ
සැතපෙයි නිහඬ ව ම
ගයා හිස වන මැද
උදා හිරු එළියේ
ගන’ඳුර පහව යන
මහා මුනි දුටු විශ්වය
(පාරිලෙය්‍ය වනයට වැඩි බුදු හිමි, පි. 48)

මට දුරද මල් පිපෙන හදවත පුරාම දක්නට ලැබෙන්නෙ අල්පෝක්තිය. කවියාගෙ මැදිහත්කාරක බව මෙහි දක්නට නොමැති තරම්. කවියා පාරක ඡායාවක් ඇදලා තියනවා. පාර එළි පෙහෙළි කරගෙන යා යුත්තෙ කියවන්නිය. ජීවිතයෙන් සත්තාවෙන් ටිකක් බැහැරට ගිහින් ඒ දෙස බලා ඉන්න ඉඩදෙන කවියක මල් පිපෙන හදවත නිවුන් අපට නුදුරු කරල තියනවා.

 

Social Sharing
අවකාශය නවතම