ඒ ලිවීම මාව නිවා දැමුවා – නිර්මාණී

මට හිතෙන විදියට අපිට ජීවිතේදි එන ප්‍රශ්නවලට මුහුණ දීම යම්තාක් දුරකට පහසු කිරීම වෙනුවෙන්, පුහුණු කරන්න පුළුවන් විශේෂ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ගැටෙන්න වෙන ප්‍රශ්නය Generalize (සමාන්‍යකරණය) කරන එක. අනික් විදිය තමයි ඒ ගැටලුවට මුහුණ දෙන්න Unique (අද්විතීය) විදියක් හොයාගන්න එක. ඒ කීවේ තමන්ටම ආවේණික ක්‍රමයක්. මගේ ජීවිතේදි මං මේ විදි දෙකම භාවිතා කරලා තියෙනවා. මං මෑත කාලීනව මුහුණ දුන්න මගේ ජීවිතේම වෙනම පාරකට ගෙනාව හදිසි අනතුර සම්බන්ධ අත්දැකීම් හරහා මං මේ අදහස විස්තර කරන්නම්.

මගේ ජීවිතේට වුන මේ අනපේක්ෂිත සිදුවීම නිසා මම මාසෙකට හමාරකට වැඩි කාලයක් ඇඬුවා. නිරන්තරයෙන් පසු තැවීමෙන්, හඬා ගත්ත ගමන් ජීවත් වුනා. මගේ ඒ දැඩි පීඩනය මගේ සමීපතම අයටත් දුන්නා. ඒ අයත් දැඩිව පීඩාවට පත් කළා. හැබැයි මගේ ළඟම කිහිපදෙනා මට අඬන්න එපා කීවේ නෑ. මගේ දුක, මගේ කතාවට, වේදනාවට ඇහුම්කන් නොදී හිටියෙ නෑ. අඬලා වේදනාව දරාගත්ත කාලේ ඒක ඒ විදියටම වුනා. කොහොමහරි ඒ සිදුවීමෙන් වුන කම්පනය යම් දුරකට අඩු වුනාට පස්සේ මං මගේ ප්‍රශ්නය Generalize කරන්න පටන් ගත්තා.

රෝහලේ මගේ ඇඳ වටේ අනික් ඇඳවල් වලත් ඉන්නේ අත පය සුදු පාට බැන්ඩේජ් වලින් ඔතාගත්ත අය නේද කියලා මට පේන්න, ඒක හරියටම අවබෝධයෙන් නිරීක්ෂණය වෙන්න මට සැළකියයුතු කාලයක් ගියා. ඉතින් අපි එකිනෙකාව හඳුනගත්තා. මං වගෙම තවත් බරපතළ වගේම සුළු අනතුරු නිසා තුවාල වුණු අය, අබාධවලට ලක්වුණු අය, ඒ වගේම උපතින්ම යම් යම් අබාධ තත්වයන් එක්ක හිටපු අය අපි එකිනෙකා හඳුනගත්තා. එතෙනදි තමයි ප්‍රශ්නය සමාන්‍යකරණය කරලා ඒ දිහා බලන්න මං පටන් ගත්තෙ. ඒ හරහා මං වටහා ගත්ත ප්‍රධානම දේ තමයි, මේ ලෝකේ කිසිම කෙනෙක්ට සධාරණය ලැබෙන්නේ නැහැ කියන කාරණාව. අනිවාර්යයෙන්ම අපි හැම කෙනෙක්ම වගේ නොයෙකුත් අසාධාරණයන්ට ලක්වෙනවා. ඒක මේ ස්වභාවධර්මය විසින් හෝ යම් කිසි වෙනත්, විවිධ හේතුන් නිසා වෙන දෙයක් කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඒ අවබෝධය එක්ක මට යම් දුරකට හිත හදාගෙන මේ අසීරුම තත්වයට මුහුණ දෙන්න පුළුවන් වුනා. අනතුරෙන් පස්සේ අවුරුදු දෙකක් හරියට ඇවිදින්න බැරි වුනත්, මගේ ඔළුව කෙලින් තියාගෙන ඉන්න ඒ ක්‍රමය මට සෑහෙන දුරට උදව් වුනා.

ඊළඟට මං ප්‍රශ්නයට මුහුණ දීම වෙනුවෙන් කලින් කීවා වගේ, unique method එකක් හොයාගන්න හිතුවා. හේතුව තමයි අපිට එන ප්‍රශ්න generalize කිරීමෙන් ඒක පොඩ්ඩක් සමනය වීමක් වුනාට නිසි විදියට ,මානසිකව කඩා වැටීමකට ලක් නොවී මුහුණ දෙන්න නම්, අනිවාර්යයෙන්ම තමන් විසින් තෝරගත්ත තමන්ටම ආවේණික ක්‍රමයකුත් අපි හොයාගන්න ඕනා. එතනදි මං පුරුදු වුනේ මගේ Recovery story එක ( සුවවීමේ කතාව) ගැන නිරන්තරයෙන් ලියන එක. ඒක තවත් අය සමඟ බෙදා ගන්න එක. වසර දෙකක් පුරාවට හදිසි අනතුරක් නිසා පුරුදු පරිදි ඇවිදින්න බැරි, කාර්යක්ෂමතාව සෑහෙන්න අඩු, පුරුදු ජීවිතෙන් වෙනස්ම ජීවිතයකට හුරුවෙන්න වුනු, හුදෙකලාව ජීවිතේට හුරු කරන්න වුනු, ජීවිතේ “වටිනාම වයසේ” පහුවෙන ගැහැණියක් විදියට ඒ මුහුණදෙන අපහසුතා සහ මානසික කඩා වැටීම් ගැන මං ලියන්න ගත්තා. මුලදි මම ලිපි යොමු කළේ කාන්තා සමූහවලට විතරයි. හැබැයි මගේ ඒ ලිවීම මාව නිවන ගමන් තවත් සෑහෙන දෙනෙක්ව සුවපත් කරන බව මට දැනුනා.

දීර්ඝ කාලීන අසනීප තත්වය මත හැම අතින්ම කඩන් වැටෙන්න ඔන්න මෙන්න හිටපු මාව, මනසින් නොවැටී තියන්න Ronithi Sardhathilake අක්කා එයාගේ Minimalist Living සමූහය හරහා හඳුන්වා දුන්න අවමවාදී ජීවන ක්‍රමයත් සෑහෙන දුරට මට උපකාරයක් වුණා. සමාන්‍යයෙන් අපි සාකච්ඡා කරන අවමවාදී ජීවන රටාවට අනුගත වීමට වඩා මගේ මේ තත්වයේදී මං “මානසිකව අවමවාදී” වෙන හැටි, තමන්ගේ අභ්‍යන්තර සතුට හොයාගන්න හැටි, විෂ සහිත සබඳතා වලින් ඈත් වෙන හැටි, හිතේ සාමය අඛණ්ඩව පවත්වාගෙන යන හැටි වගේ තවදුරටත් මගේ මනස නිරවුල්ව තියාගන්න අවශ්‍ය උපදෙස්, ලිපි, තොරතුරු මේ හරහා කියෙව්වා.

ඒ කියවීම මුල් කරගෙන තවත් විවිධ මාධ්‍යවල ඒ කරුණු කාරණා ගැන මං හෙව්වා. ඒ කියවීම් සහ මගෙ අත්දැකීම් දෙකම මුහු කරලා පසු කාලීනව මමත් ඒ මාතෘකා ගැන සමූහයට ලියන්න පටන් ගත්තා. ඉතින් ඒ තමයි මං මුහුණ දෙන මේ තත්වයට හරි ආකාරව මුහුණ දීම වෙනුවෙන් මම පුහුණු කරන මගේම මට ආවේණික ක්‍රමය. කොහොමහරි මගේ ඒ ලිවීම නිසා අද වෙනකොට මං එක්ක සැළකියයුතු පිරිසක් ඉන්නවා. ඒ අය මගේ කතාව කියවලා motivate වුන හැටි, එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වලදී ඒ ලිපි නැවත නැවත කියවීමෙන් යම් සහනයක් ලබන හැටි මං එක්ක කියනවා. ඒක මට වටිනා හැඟිමක්. ජීවිතේ අඳුරුම කාර්තුවක වුනත් කාගේ හරි ජීවිතේකට එළියක් වෙන්න පුළුවන් වුන එක, ඒක වටිනම දෙයක්!

ඉතින් මං මුලින්ම කියපු, ප්‍රශ්නයට මුහුණ දීම වෙනුවෙන් මං තෝරාගත්ත ක්‍රම දෙකම සාර්ථක ක්‍රම දෙකක්. පළවෙනි එක (ප්‍රශ්නය generalize ) කිරීමට වඩා ඒක කළමනාකරණය කරගන්න “තමන්ගේම ක්‍රමයක්” පුහුණු කරන එක තමයි වඩාත් සාර්ථක කියලා මට හිතෙනවා. මං විශ්වාස කරනවා කෙනෙක්ගේ Survival Story එකක් කියන්නේ, තවත් එවැනිම තත්වයන්ට මුහුණ දෙන්න වෙන සිය ගණනාවක් පිරිසට එක්තරා විදියක guide එකක්. Motivation එකක්. ඉතින් ඕනාම බරපතළ ප්‍රශ්නයකට මුහුණදීම පවා අපිට හිතුවොත් “සුබවාදී” විදියටම කරන්න පුළුවන්.

පලි – මං මුහුණ දුන්න අනතුරේ ස්වභාවයට අනුව අවුරුදු දෙකකට පස්සේ මට මේ වෙනකොට සෑහෙන්න සුවයි. නමුත් සම්පූර්ණයෙන්ම සුව වෙන්න තවත් කාලය අවශ්‍යයි. සමහර ප්‍රශ්න විසඳෙන්න ඒකට අදාළ කාලය ගන්නවාමයි. ඒ වෙනතුරු බලා හිඳීම සහ දරාගැනීම වටිනා, සුබවාදී විදියකටම කරන්න. වෙනස් ක්‍රමයක් තෝරගන්න.

තව මතක් කිරීමක්, අවමවාදී ජීවිතයක් ගැන දන්න නොදන්න ඔයාලා හැමෝටම මේ Minimalist living සමූහයට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒක ඔයාව ජීවිතේ වෙනම පාරකට අරන් යන ලස්සන අත්දැකීමක් වෙයි අනිවාර්යයෙන්ම.

– නිර්මාණී –
උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම