මේ ජෙනරේෂන් එක විතරද රෝං?

-අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය-

පහුගිය අරගල කාලෙ අරගලයට සම්බන්ධ වෙලා හිටපු තරුණයෝ තමන්ව හඳුනා ගත්තේ රෝං ජෙනරේෂන් එක කියලා. එයාලා කිව්වේ “ගෝඨාභය, මහින්ද උඹ හැප්පුනේ වැරදි පරපුරත් එක්ක” කියලයි. ඒක කිව්වේ ආඩම්බරෙන්. වැඩිහිටියොත් කියන්න ගත්තා මේ නාකි ටික එළවලා තරුණ පරපුරට බලය දෙන්න ඕනෑ කියලා. නමුත් පහුගිය දවස්වල හෙල්මට් සිද්ධිය වගේ දේවල්වලින් පස්සේ ඒ අලුත් තරුණයන්ට බනින්න ගත්තෙත් මේ තරුණ ජෙනරේෂන් එක රෝං තමයි කියලා. ඒක කිව්වෙ නම් සවුත්තුවට.

ඇත්තටම අරගල කාලෙදි කිව්වා වගේ දැන් ඉන්න තරුණ පරපුර ඉස්සර හිටපු අයට වඩා වෙනස්, හොඳ, අමුතු එකක් ද? නැත්නම් මේ දවස්වල බනිනවා වගේ මේ අලුත් තරුණ පරපුර නරක, සවුත්තු එකක්ද?

ඇත්ත කතාව තමයි අද ඉන්න තරුණයෝ විශේෂයෙන් හොඳ පරපුරක්වත්, විශේෂයෙන් නරක පරපුරක්වත් නෙවෙයි. කොටින්ම මේ ජෙනරේෂන් එකේ අමුතු රෝං එකක් නෑ. ඕනෑම ජෙනරේෂන් එකක මේ වයස රෝං. හොඳට හෝ නරකට, දෙකටම.

පහුගිය අරගල කාලෙ වගේම තරුණ පරපුර උත්කර්ෂයට නංවපු කාලයක් තමයි 88/89 කියන්නේ. ගුණදාස අමරසේකර මහත්තයා කිව්වා මේ රටේ අනාගතය ලංකාවේ ගැමි තරුණ පරපුර විසින් බාර ගන්න ඕනේ කියලා. ඇත්තටම එයාගේ තරහ තිබුණේ ජේ ආර් ලා එක්ක. ජේ ආර් බටහිර ලැදි සහ නාකි කෙනෙක් නිසාම ඒ දෙකේම විරුද්ධ පදය විදිහට තමයි “ගැමි තරුණ” එක ආවේ. එහෙම නැතුව ඒකට වෙන කිසිම තාර්කික පසුබිමක් තිබුණේ නැහැ. පහුගිය කාලේ වුණෙත් ඒකමයි. මහින්දලා ගෝඨාභයලා වයසක නිසා ඒකෙ විරුද්ධ පදය විදිහට ආවේ තරුණ කියන එකයි. බටහිර ලැදි ජේ ආර් ලා වෙනුවට රාජපක්ෂලා සිංහල ජාතිකවාදී නිසා ගැමි කියන එක හැලිලා ඒ වෙනුවට බණ්ඩාරනායක පිළිමේ ඇස් දෙක කලු රෙද්දකින් වහන (ප්‍රතිජාතිකවාදී) තරුණ පරපුරක් තමයි මේ අරගලයේ දි අපි දැක්කේ. හොඳට බැලුවම තේරෙනවා මේවායේ ලොකු තේරුමක් නැහැ, හුදෙක්ම ආණ්ඩුව කියලා අපි ඒ ඒ වෙලාවට අඳුනා ගන්නා එකෙහි විරුද්ධ පද විතරයි කියලා.

අසූ නමයේදී මගේ වයස 16 යි. ඒ කාලේ ජාතික තරුණ සේවා සභාව විසින් දීල තිබුණ නිර්වචනයට අනුව තරුණකම පටන් ගත්තෙ 15න් ඉවර වුණේ 35න්. ඇත්තටම එක පැත්තකින් “තරුණයින්ගේ” කැරැල්ලක් යන අතරේ අනෙක් පැත්තට ආණ්ඩුව ඒ කාලේ පිහුටුවලා තිබුණ “යෞවන සමාජ” පාවිච්චි කළා තරුණයන්ව රැඩිකල්හරණය කරන්න. මේ දෙපිරිසම තරඟකාරී විදියට තරුණයන්ව ඉලක්ක කරලා තිබුන නිසා ගුණදාස අමරසේකර ව කියවලා නොතිබුණු සමාජ තීරු පවා තරුණයන්ගේ විශේෂත්වය ගැන හීන දකිමින් හිටියේ.

මගේ ඒ භද්‍ර යෞවන කාලෙදිවත් මම පිළිගත්තෙ නෑ තරුණයෝ විශේෂයි කියලා. කොහොම වුණත් මම ඒ පිළිගත්තු අදහස පොතක ලියලා තියෙනවා මට හම්බ වුනේ මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ. ඒ සී ඒ චන්ද්‍රප්‍රේම ගේ “කොළපාට සමාජය” පොත. ගුණදාස අමරසේකරගේ අදහස හාස්‍යයට ලක් කරල චන්ද්‍රප්‍රේම ලියලා තිබුණා “තරුණයන්ට බලය ගැනීමට හැකියාවක්වත්, ඒකට සුදුසුකමක් වත් නෑ” කියලා. එතකොට චන්ද්‍රප්‍රේමගෙ වයසත් 30 ට අඩුයි. ඒ පොත මම කැමති පොත්වලින් එකක්. ඒ පොතට කැමති වෙන්න, තරුණයන් ගැන ඔහුගේ ඒ මතයත් ප්‍රධාන හේතුවක්.

කවදත් කොතනදිත් කැරලිවල ඉස්සරහින් හිටියේ තරුණයෝ තමයි. අනිත් අතට යුද්ධවල ඉස්සරහින් ඉන්න සොල්දාදුවෝත් තරුණයිනෙ. ඔය දෙකේම පිටිපස්සෙන් ඉන්න අය ඒ තරම් තරුණ නැහැ. අනිත් අතට යම් තැනකදී දෙකකදී තරුණයෝ එහෙම නායකත්වයේ හිටියත් ඒක සාමාන්‍ය දෙයක්. සිරිමා බණ්ඩාරනායක අගමැති වුණා කියලා ලංකාවේ ආණ්ඩු බලය කාන්තාවන්ට ගියේ නෑ වගේම, තරුණයෝම කැරැල්ලක් ගහලා රට ඇල්ලුවත් රටේ බලය තරුණයින්ට යන්නෙ නෑ.

අනික් අතට මේ යුගයේ ඉන්න තරුණයෝ විශේෂයෙන් දක්ෂ නැහැ. තාක්ෂණික යුගය ආවායින් පස්සේ හැම යුගයකම ඉන්න ඒ කාලේ තරුණයින් අලුතෙන් එන එදිනෙදා ජීවිතයට අදාළ වන තාක්ෂණික දේවල්, පරණ පරපුරට වඩා වේගයෙන් අල්ලා ගන්නවා. චිත්‍රපටි, රේඩියෝ, ටීවී ගම්වලට ආපු කාලවල හිටපු තරුණයෝ තමයි ඒ ගැන වැඩ්ඩො වෙලා හිටියෙ. ෆේස්බුක්, වට්ස්ඇප් සම්බන්ධයෙන් දැන් වෙලා තියෙන්නෙත් ඒකයි. නමුත් රටක් පාලනය කරනවා කියන එක ෆේස්බුක්වල වට්ස්ඇප්වල සෙටිංග්ස් හදනව වගේ වැඩක් නෙවෙයි. ඒකට එක අතකින් අත්දැකීම් ඕනෑ. අනෙක් අතට සමාජයක් නෙට්වර්ක් කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනෑ. ඒක තමයි අර කවුරුත් දන්න යුවාල් නෝවා හරාරි මේ ලෝකය වයසක පිරිමින් විසින් පාලනය කිරීමේ ප්‍රධාන හේතුවක් විදිහට නෙට්වර්කින් හඳුන්වන්නේ. වැඩිහිටි පිරිමි තමයි ඒ හැකියාවෙන් වැඩි.

තරුණ ප්‍රශ්නයේ අනිත් පැත්තත් ඔහොමම තමයි. හෙල්මට් සිද්ධියෙන් පස්සේ මිනිස්සු තරුණයන්ට බනින්න පටන් අරන් තියෙන්නෙ හරියට මේ වගේ දේවල් උපන්තේකට වත් වුණේ නෑ වගේ. හොඳම විහිළුව තමයි මෙච්චර කාලයක් නාකින්ට බැන බැන හිටපු 25-35 අතර කණ්ඩායමත් තමන්ට වඩා තරුණකමෙන් වැඩි “දෙදාහෙන් පස්සේ ඉපදිච්ච මොංගල් ඩයල්වලට” බනින්න පටන් අරන් තිබීම. කවුරු ඒ විදියට කොහොම බැන්නත් මට තේරෙන විදියට නම් හැමදාමත් ඔය තරුණ වයසෙ හැටි ඔහොම තමයි.

හැම පරම්පරාවක් ම දණ ගගා, බඩ ගගා ඉඳලා, ඊට පස්සේ රෝං වයසක් පහුකරලා වැඩිහිටි වෙනවා. ඒ රෝං වයස ලස්සනයි. ඒක විඳින්න. ඒ උනාට තමන් අමුතුම පරම්පරාවක් කියලා හිතලා ස්වයංව මෝහනය වෙන්න එපා. එහෙම ඔයාලව රවට්ටන්න හදන වැඩිහිටියන්ගේ ලණු කන්නත් එපා. ලෝකෙ කිසිම තැනක, කවදාවත් පරම්පරාවල්වලට බලය ලැබුණේ නැහැ. බලය ගත්තේ සමාජය සංවිධානය කර ගැනීමට සමත් වුන කණ්ඩායම් විසිනුයි.

දැන් මගේ වයස අවුරුදු 49 යි. පනහට හොඳටම කිට්ටුයි. ඒ කියන්නේ මේ දවස්වල ප්‍රචලිත අපහාස යෙදුමකින් කිව්වොත් අංකල් කෙනෙක්. කොහොම වුණත් මම භද්‍ර යෞවන කාලෙදිවත්, තරුණයන්ට බලය ලැබෙනවා හෝ ලබා ගත යුතුයි වගේ ගොන් පාට් විස්වාස කළේ නැහැ. ඔය පුතාලා දුවලත් ඒවා විශ්වාස කරන්න එපා. ඔයාලා විශේෂයෙන් හොඳ හෝ නරක නැහැ. තරුණයි. එච්චරයි.

 

Social Sharing
නවතම විශේෂාංග