මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…

සී ජේ අමරතුංග  

Revolution against democracy

මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට මාවතක් සකසා ගැනීමට බව පෙනෙන්නට තිබේ. ඔවුන් සියලු දෙන කියන්නේ අර්බුදය විසදිය හැක්කේ තමන්ට බව ය. එය සියලු දේශපාලන පක්ෂ හැමදා කියූ කතාවකි. මේ තරමට රට විනාශ වුයේ, එබඳු කතා කීම, ඇසීම සහ විශ්වාස කිරීම නිසා ය. කණගාටුවට කරුණ නම් තවමත් මෙරට ප්‍රධාන පක්ෂවලට සහ දේශපාලඥයින්ට මෙන් ම, ජනතාවට ද, මෙම විනාශකාරී දේශපාලනයේ හානිය වටහා ගැනීමට නොහැකි වී තිබීම යි.

මෙම දේශපාලනය පවතින්නේ ඇතැම් පරමාදර්ශ ගැන කතා කරමිනි. ජනතාවගේ අයිතිය , ජනවරම, ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ, චන්ද අයිතිය යන මෙකී නොකී දේ ඉදිරිපත් කරනු ලබන්නේ පරමාදර්ශ නැතහොත් උත්තරීතර දේ වශයෙනි. ඒවා උල්ලංඝනය නොවිය යුතු බව කියති. එසේ වුව ද, එයින් වැරදි ප්‍රතිඵල ලැබෙන විට එයට ම එරෙහි වන නමුත්, එසේ කරන්නේ සැබෑ ප්‍රශ්නය හඳුනාගෙන නොවේ. එහි ප්‍රතිඵලය නම් වැරදි තැනක වැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම යි. එමගින් තව තවත් විනාශයට දායක වීම යි.

පළමුවෙන් ම තේරුම් ගත යුතු වන්නේ උත්තරීතර හෝ පරමාදර්ශී හෝ කිසිවක් ලොව නැති බව යි. නැතහොත් එම වචනවලට ඇත්තේ ද සාපේක්ෂ අර්ථයක් බව යි. සියල්ල සංකීර්ණ ය. බොහෝ දෙනාට තේරුම් ගත හැකි ආකාරයෙන් කියන්නේ නම් සියල්ල ආදරය වගේ ය. උත්තරීතර ආදරය කියා කියනවිට බැඳීම, කැපවීම, පරිත්‍යාගය ආදී දේ අපේ සිතට නැගේ. එසේ වුව ද, ආත්මාර්ථය, හිමිකර ගැනීමේ ආශාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහ වේදනාව වැනි බොහෝ දේ ඒ සමග බැඳී පවතියි.

කලා කරුවන්, සාහිත්‍ය කරුවන් මෙම සංකීර්ණතාව විස්තර කරන්නට උත්සහ දරා ඇත. දාර්ශනිකයෝ එය තවත් ආකාරයකට විස්තර කරන්නට උත්සහ දරා තිබේ. දයලෙක්තියවාදය අනුව මෙය ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය කියා කිව හැකි ය. එනම් යමක් තුළ එහි ප්‍රතිවිරුද්ධ දේ ද, පවතින්නේය යන කාරණය යි.

ජනතාවගේ කැමැත්ත, ප්‍රජාතන්ත්‍රවාදය, ජනවරම ආදිය උත්තරීතර ලෙස සලකන උදවිය තේරුම් ගත යුත්තේ මේ සියල්ල අප ඉදිරියේ සහ අප විසින් ම කෙලෙසා ඇති බව යි. ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් පාලනයක්, එය පත් කරගත් ජනතව විසින් ම පෙරළා දමන ලද්දේ අවි නොගත් නමුත් ප්‍රචණ්ඩ කරල්ලකිනි. 69 ලක්ෂයක ජන වරමට එම ජතතාවම පයින් ගැසූ හ. මේ කිසිවක් පරමාදර්ශී හෝ උත්තරීතර හෝ නොවන බව කියන්නේ ඒ නිසා ය.

225 ම එපා කියා සටන් පාඨයක් ඇත. එය සාධාරණ සටන් පාඨයක් ද යන්න ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය පසෙකින් තැබූ විට මේ 225 කියන්නේ පාර්ලිමේන්තුවේ දැන් සිටින පිරිස යි. ඔවුන් කිසිවකු බලෙන් පැමිණ එහි වාඩි වී සිටිනවා නොවේ. මේ අපේ ජනයා ඡන්දය දී පත්කර යැවූ පිරිස යි. ඔවුන් නියෝජනය කරන්නේ ජන වරම යි.

75 වසරක් රට විනාශ කළ පිරිසක් ගැන සමහරු කියති. මේ ලියුම්කරුට අනුව නම් එය සම්පුර්ණ වැරදි කතාවකි. ඒ කෙසේ වෙතත්, ඒ 75 වසරේ ම මේ රට පාලනය කළේ රටේ ජනතාව විසින් පත්කර යවනු ලැබූ පිරිසකි. ඔවුන් නියෝජනය කළේ ජන වරම යි. එසේ නම්, සිදු වූ සියල්ලට එම පාලකයින් මෙන් ම, ජනතාව ද වග කිව යුතු ය. “අනේ අපිනම් නැහැ – අනෙක් අය තමයි” කියා කියන්නට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට දායක වන, නොවන කිසිවෙකුට අයිතියක් නැත.

සාපේක්ෂ අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උත්තරීතරය. එය රැකගත යුතු ය. හරියට ආදරය වගේ ය. නමුත් ඒ සමග ඇති විනාශකාරී දේ තේරුම් ගැනීම ද, අවශ්‍ය ය. එය වැරදියට යොදා ගනිමින් කරගත් විනාශය හඳුනා ගැනීම ද අවශ්‍ය ය.

අපගේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය වැරදියට භාවිතා කළ අපට වසර 75 ක් තිස්සේ රට එක්සත් කරන්නට හැකි වී නැත. අදටත් අපි බෙදුණු ජාතියකි. ජනවර්ග ලෙස, ආගම් ලෙස අපි කුලල් කා ගනිමින් සිටිමු. මේ සියල්ල මෙසේ සිදුවන්නේ බල ව්‍යාපෘති නිසා ය. එම බල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ය. පසුගිය දා එය අන්තයට ම ගියේ තනි සිංහල ඡන්දයෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම දක්වා ය. රටම කෙලවා ගත්තෙත් එම තීන්දුවෙනි. ඡන්දය දුන් සියලු ජනතාව ද එයට වගකිව යුත්තෝ ය.

අද අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව නම් අපේ ජනයාගේ කෑදරකම මත ප්‍රජාතන්ත්‍රවාදය තීරණය වීම යි. ජනතාව ආණ්ඩුවලින් ඉල්ලුවේ නොමිලේ හාල්, හාල් සේරු දෙක, ඇට අට, 3.50 ට පාන් , අඩු මිලට බඩු, රජයේ රැකියා, වැඩි වැටුප්, අඩුවෙන් බදු, සහ වෙනත් නොයෙකුත් ආකාරයේ සහනාධාරයි. ඒවා කරන්නට බදු ගෙවන්නට ද කැමති වුයේ නැත. ජනතාව ආණ්ඩුවලට කීවේ කොහෙන් හෝ ගෙනැවිත් තමන්ට කන්න දෙන්න කියා ය. තමන්ට හොඳින් ජීවත් විය හැකි ආර්ථිකයක් හදන්නට කීවේ නැත. එසේ කරන්නට ගිය පාලකයන්ට එයට ඉඩ දුන්නේ ද නැත.

දේශපාලඥයන් ද කළේ වැල යන අතට මැස්ස ගැසීම යි. ජනතාව ඉල්ලන දේ දෙන්න පොරොන්දු වීම යි. එසේ නොකළොත් බලයට එන්නට බැරි ය. දේශපාලඥයින් කළේ ජනතාව ඉල්ලන අල්ලස් දී තමන් ද වරප්‍රසාද ලබා ගැනීම ය.

රාජපක්ෂවාදය යනු මෙහි ඉහළ අවදියකි. එහි දී කොන්ත්‍රාත්, කොමිස්, පර්මිට්, සොරකම් ,වංචා, ආදිය සංවිධානාත්මකව කරන සහ ඒවායින් යැපෙන ජන කණ්ඩායමක් ගොඩ නැගීමක් සිදුවීය.

මේ සියල්ල සඳහා මුදල් සොයා ගත්තේ ණයට ගැනීමෙනි. එය ද උපරිමයට ගොස් රටේ ආර්ථිකය කඩා වැටීම එහි අවනස් ප්‍රතිඵලය යි.

මෙය හැඳින්විය හැක්කේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදයක්’ වශයෙනි. රට විනාශයට ගියේ මෙම කෑදර ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙනි. දැන් ආපසු හරවන්නට තිබෙන්නේ එම ක්‍රමය යි. සිස්ටම් චේන්ජ් කියන්නේ ඒකට ය.

මෙරට ජනතාව ලෝකයට ණය වෙමින් ජීවත්වීම නොකළ යුතු බව බොහෝ දෙනා කියති. නමුත් අපගේ ජනතාව හැමදාම ඉල්ලා සිටියේ ණයට ගෙන කන්න දෙන්න ය. හැමදාම ඡන්දය දුන්නේ තමන්ට වැඩි ම අල්ලස් දෙන දේශපාලඥයන්ට සහ පක්ෂවලට ය. රාජපක්ෂවාදය ගොඩ නැගෙන්නේ ජනතාවගේ එම කැමත්ත අනුව ය. මේ ජනතාව වෙනස් නොකර අපට රට වෙනස් කළ නොහැකි ය. ඇතැම් විට ජනතා කැමැත්ත යනු විනාශයේ හේතුව වන බව තේරුම් ගෙන කටයුතු කිරීම අවශ්‍ය ය. ප්‍රශ්නය වන්නේ එය කළ හැක්කේ ජනතාවට ම වීම සහ වෙනස් විය යුත්තේ ද ජනතාව වීම ය. ජනතාව වෙනුවට ආදේශ කළ හැකි වෙනත් සුපිරි බලයක් ද නැත.

මෙම කෑදර ප්‍රජාතන්ත්‍රවාදය තුළ තිබෙන අනෙක් උභතෝකෝටිකය නම් ජනතාව ම ප්‍රතිගාමීත්වය නියෝජනය කිරීම යි. ඒ නිසාම මැතිවරණ ප්‍රතිඵල ලෙස ලැබෙන්නේ ද ප්‍රතිගාමී පිළිතුරු ය. ටික කලෙකින් ‘ගෝඨා ගෝ’ කියන්නට සහ ‘225 ම එපා’ කියන්නට සිදු වන්නේ ඒ නිසා ය.

මෙහි අනෙක් තේරුම නම් මැතිවරණ ද හැම විට ම ප්‍රගතිශීලී හෝ සමාජයේ ප්‍රගමනයට හේතුවන හෝ දේ නොවන බව යි. ඇතැම් විටෙක මැතිවරණ ක්‍රියාත්මක වන්නේ සමාජයේ ප්‍රගතියට එරෙහිව ය. එවැනි විටෙක වඩා ප්‍රගතිශීලී වන්නේ එබඳු මැතිවරණ නැවත්වීම යි.

‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදී’ ක්‍රමය තුළ මැතිවරණ ක්‍රියාත්මක වන්නේ සමාජය විනාශයට රැගෙන යන ක්‍රියා වලියක් වශයෙනි. සිංගප්පුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යු කිව්වේ ශ්‍රී ලංකාවේ මැතිවරණ යනු නැති සම්පත් වෙන්දේසි කිරීමක් වශයෙනි. මැතිවරණ ක්‍රියාත්මක වන්නේ සමාජයේ විවිධ කොටස් වලට අල්ලස් පොරොන්දු වන අවස්ථා වශයෙනි. ඒවා ඒ ආකාරයෙන් නැතත්, සුළුවෙන් හෝ කිරීමට බලයට පත්වන ආණ්ඩුවලට සිදුවෙයි. රට ණය වන්නේ ඒවා ක්‍රියාත්මක කරන්න ගිය විට ය.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ කතාන්දරය ද එබඳු ය. ඡන්ද නැවත්  වූ ඒකාධිපතියා ලෙස ජනාධිපති රනිල් නම් කරන්නට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීහු පෙළ ගැසී ඉදිරිපත් වෙති. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ සටන සමාජයේ ප්‍රගතියට හේතු වන බව යි. ඔවුන් නොදන්නේ මේ මොහොතේ ඔවුන් සිටගෙන සිටින්නේ ප්‍රතිගාමීත්වය පැත්තේ බව ය. ප්‍රතිගාමීත්වය කියන්නේ සමාජයේ ඉදිරි ගමනට හරස් වීම යි.

මෙය පැවති ක්‍රමයේ වෙනසක් ඉල්ලු මොහොතකි. මෙරට තිබු කෑදර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ අර්බුදය විසින් එම තත්ත්වය නිර්මාණය කොට තිබිණි. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබිණි. ඒවා වේදනාකාරී ය. එමෙන් ම කෑදර ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිලාභ ලැබුවන්ට එම ප්‍රතිලාභ සහ වරප්‍රසාද අහිමි කිරීම ද, මෙම ප්‍රතිසංස්කරණ වල අත්‍යවශ්‍ය අංගයකි. ඒ සියල්ල නොකර ඉදිරි ගමනක් නැත. මේ වන විට මෙරට සමාජය එම ප්‍රතිසංස්කරණයට ලක් වෙමින් පවතියි.

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමෙන් වන්නේ මේ ප්‍රතිසංස්කරණ සියල්ල කණපිට හැරවීමට අවස්ථාව ලැබීම යි. එය ප්‍රතිගාමී වන්නේ ඒ නිසා ය.

ඡන්දය නොතියන්නේ ආණ්ඩුවට ඡන්ද නැති නිසා බව කියති. එය ද, ඇත්ත විය හැකි ය. රටේ  මෙතෙක් පැවති කෑදර ප්‍රජාතන්ත්‍රවාදයට හුරු වී ඇති ජනතාව මේ ප්‍රතිසංස්කරණ කරන්නට ඡන්දය දෙන්නේ නැත. ඉන්ධන මිල , විදුලි බිල යථාර්ථවාදී කරන්නට හෝ එම වියදම් පියවීමට බදු පැනවීමට හෝ කෑදර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඡන්ද ලැබෙන්නේ නැත. ඒවාට ඡන්දය ලැබීමට නම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සබුද්ධික ප්‍රජාතන්ත්‍රවාදයක් කරා වර්ධනය විය යුතු ය. කරුමය නම් රටේ මේ වනවිට එවැන්නක් නොතිබීම යි.

පළාත් පාලන ඡන්දය තදින් ම ඉල්ලා සිටියේ සහ ඒ සඳහා සටන් කරන්නේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යි. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිගාමී බවට ප්‍රබල ම සාක්ෂි සැපයුවේ ද මෙම පක්ෂ දෙක විසිනි. ඒ බදු ප්‍රශ්නයේ දී නැති සම්පත් වෙන්දේසියට ලන්සු තැබීම මගිනි.

ලක්ෂයේ තිබු බදු සහන සීමාව ලක්ෂ දෙක හමාරට වැඩි කිරෙමටත් බදු අඩු කිරීමටත් 2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගත පියවර මේ කට්ටිය විවේචනය කළේ රජයේ ආදායම් නැති කර ගන්නා වැරදි පියවරක් වශයෙනි. දැන් රජය නැවත එම බදු පනවා ඇත. බදු අඩු කරන්නට ගෝඨාට බල කළ ඔහුගේ බල ඇණි දැන් නැවත සටන් බිමේ සිටින්නේ එම බදු යලි අඩු කර ගැනීමට ය.

මේ මොහොතේ කෑදර දේශපාලනය තුළ ඡන්ද ලබා ගැනීමට පළමු ලන්සුව තිබ්බේ ජාතික ජන බලවේගය යි. ඔවුන් කීවේ බදු නිදහස් සීමාව ලක්ෂ දෙක දක්වා වැඩි කළ යුතු බව සහ උපරිම බදු අනුපාතය සියයට 24 දක්වා අඩු කළ යුතු බව කි. එනම් ගෝඨාභය ජනාධිපති කළ බදු කැපිල්ලට කිට්ටු තත්ත්වයකි.

සමගි ජන බලවේගය තම ලන්සුව ඊට ඉහළින් තැබී ය. ඔවුන් කීවේ බදු නිදහස් සීමාව ලක්ෂ දෙකහමාර දක්වා වැඩි කළ යුතු බවයි. ඔවුන්ගේ උපරිම බදු අනුපාතය ද සියයට 24 කි.

මෙය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ බදු කැපිල්ල ම ය. එදා කීවේ රට බංකොළොත් වුයේ ඒ වැඩෙන් බව යි. දැන් මොවුන් යෝජනා කරන්නේ ද රට බංකොළොත් කළ එම ක්‍රමය ම ය.

මේවා නොදැන කරන වැරදි නොවේ. කෑදර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඡන්ද ලබා ගත හැක්කේ මෙලෙස ලන්සු තැබීමෙන් පමණකි.

මෙහි ප්‍රශ්නය ඇත්තේ දේශපාලන පක්ෂවල ම නොවේ. පක්ෂ කරන්නේ ජනතාව ඉල්ලන දේ දෙන්න හැදීම ය. සබුද්ධික අලුත් ජනතාවක් සදා නොගන්න තාක් අපට මෙම කරුමයෙන් ගැලවෙන්නට ලැබෙන්නේ නැත.

මේ වෙන්දේසිය දිගට යන්නට ඉඩ දුන්නා නම් ආර්ථික ප්‍රතිසංස්කරණ වල පල්ලට යන එක වලක්වන්නට බැරි ය. මේ මොහොතේ පළාත් සභා මැතිවරණය ප්‍රතිගාමී වන්නේත්, එය නැවත්වීම ප්‍රගතිශීලී වන්නේත් ඒ නිසා ය.

මේ දිග හැරෙන්නේ එක්තරා ආකාරයක විප්ලවයකි. පැවති කෑදර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත්, ඒ සමග බැඳුනු අල්ලස් ආර්ථික ක්‍රමයත් තව දුරටත් පවත්වාගෙන යා නොහැකි ය. එය බිඳ වැටෙමින් නව ක්‍රමය බිහි වෙමින් පවති යි. මෙය නතර කළ නොහැකි ය. එයට එරෙහි වන පිරිස අවසානයේ පරාජයට පත්වීමට නියමිත ය. එය එලෙස සිදුවන බවට පෙර නිමිති මේ වනවිටත් පහළ වී තිබේ. බරපතළ ජනතා විරෝධයකට ලක්ව ඇතැයි විපක්ෂය කියන ආණ්ඩුවට එරෙහිව කැඳ වූ කිසිදු ජනතාව සහභාගී නොවීමෙන් පෙන්නුම් කරන්නේ එම තත්ත්වය යි. මේ වන විට එම සටන් එකින් එක පරාජය වෙමින් පවතින්නේත් එම තත්ත්වය පෙන්නුම් කරමිනි.

පැරණි ක්‍රමය නියෝජනය කළ බලවේග පමණක් නොව, එය ප්‍රතිසංස්කරණයට සටන් කළ ඇතැම්  බලවේග ද, මේ මොහොතේ එහි ආරක්ෂකයින් බවට පත්ව සිටිති. ඇතැම් මානව හිමිකම් ආරක්ෂකයින් ද සිටින්නේ පැරණි ක්‍රමය සමග ය. රට අලුත් ගමනකට පිවිස සිටින බව ඔවුහු නොදනිති. තේරුම් නොගනිති.

මේ මොහොතේ විකල්ප දේශපාලනය වන්නේ පැරණි ක්‍රමයට එරෙහි වීම සහ නව ක්‍රමය වෙනුවෙන් සටන් වැදීම ය. ඒ සඳහා පැරණි ක්‍රමයේ දෙවොල් සියල්ල බිඳ වැටෙමින් පවතින බව තේරුම් ගැනීම වැදගත් වෙයි.

මෙම ලිපිය අවසන් කරන්නට සුදුසු වන්නේ ඇමෙරිකාවේ වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ අදහසකි. ඇය වරක් ප්‍රකාශ කොට තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය යනු සර්ව සම්පුර්ණ හෝ සදා නිමකළ හෝ දෙයක් නොවන බව යි. ඇයට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු නිරන්තර අරගලයකි.

අප මෙයින් උගත යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙන සහ විනාශකාරී වන විට එය විනාශ කරමින් අලුතින් ගොඩ නැගීමට, අප උගත යුතු බව යි. කෑදර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සබුද්ධික ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමට අප උගත යුතුව ඇත.

Social Sharing
නවතම විශේෂාංග