සාහිත්‍යය නිසා සංගීතය වැහිලා – ඉසුරු කුමාරසිංහ

 

ජර්මනියේ ලෝක ප්‍රකට CTM සංගීත උළෙලේ ‘හොඳම සංගීත පර්යේෂකයෙකු’ ලෙස නම් කළ ඉසුරු කුමාරසිංහ සමග කතා බහක්…..!

“ශ්‍රී ලංකාවේ සංගීතය කියලා බොහෝ දෙනෙක් අඳුනගෙන ඉන්නේ, පද රචනාවකට තනුවක් දාලා සංගීතය එකතු කරලා ගායනා කරනවා කියන එක. ඒත් ඒක වැරදි මතයක්. ඒ මතය වෙනස් කරල මිනිසුන්ගේ ඇහුම්කන් දීම වෙනස් තැනකට ගෙනියන එක තමයි මගේ උත්සාහය.” මේ අදහස් බීබීසී සිංහල සේවයට පැවසුවේ, වෙනස් මඟක යන ශ්‍රී ලාංකික සංගීතවේදියෙකු වන ඉසුරු කුමාරසිංහයි.

කවුද මේ ඉසුරු කුමාරසිංහ? ඉසුරු කුමාරසිංහ ශ්‍රී ලාංකික රසිකයින් අතර ප්‍රචලිත නොවුණ ද, ඔහු ජාත්‍යන්තර වශයෙන් අගැයීමට ලක්වූ සංගීතවේදියෙකි.
ජර්මනියේ බර්ලින්හි පැවති CTM Festival නමැති සංගීත උළෙලේ සංගීත අත්හදාබැලීම් අංශයේ ලොව හොඳම සංගීතවේදීන් දෙදෙනා අතරට පත්වීමට ඉසුරුට හැකි විය. ඉන් එක් අයෙකු යුක්රේන සංගීතවේදියෙකු වන අතර අනෙක් සංගීතවේදියා ඉසුරු කුමාරසිංහ විය.

ඔහු මෙම ජයග්‍රහණය ලැබුවේ, තරගකරුවන් 500කට අධික පිරිසක් අතරිනි. එහිදී ඔහුට සංගීත අත්හදාබැලීම් සහ පර්යේෂණ වෙනුවෙන් CTM මුදල් ත්‍යාගයක් හිමි විය. ඉසුරු කුමාරසිංහ යනු සාම්ප්‍රදායික සංගීත ශානරවලින් බැහැරව විවිධ පර්යේෂණ ඔස්සේ විකල්පමය සංගීතයක් සොයා යන සංගීත ගවේශකයෙකි. ඔහු පවසන පරිදි ඔහුට ඇත්තේ, සංගීතය පිළිබඳ ස්වයං හැදෑරීමකි. සංගීතය පිළිබඳ විධිමත් හැදෑරීමක් කර නොමැති බව ඔහු සඳහන් කළේය.

CTM Festival යනු කුමක් ද?

ජර්මනියේ බර්ලින්හි දී වාර්ෂිකව පැවැත්වෙන CTM Festival සංගීත උළෙල ලොව පුරා විසිරී සිටින නව අත්හදාබැලීම් සහ පර්යේෂණ ඔස්සේ නව ඉසව් සොයා යන සංගීතවේදීන්ගේ නිර්මාණ අගයන සහ මූල්‍ය අනුග්‍රහය දක්වන උළෙලකි. 1999 වසරේ දී ආරම්භ වුණු මෙම උළෙලේ මුල් කාලීන අරමුණ වූයේ, විද්‍යුත් සංගීතය සම්බන්ධයෙන් අගැයීම් කිරීම සහ අනුග්‍රහය දැක්වීමයි. එහෙත්, ගෙවී ගිය වසර ගණනාවක් පුරා විවිධ වෙනස්කම්වලට ලක්වූ මෙම සංගීත උළෙල මේ වන විට “අභියෝගාත්මක සංගීත උළෙලක්” ලෙස හඳුන්වයි. ජර්මනියේ පැවැත්වෙන දැවැන්තම සංගීත උළෙලක් ලෙස සැලකෙන මෙහිදී අගයනු ලබන්නේ, සංගීතය සම්බන්ධයෙන් සිදු කෙරෙන අභියෝගාත්මක අත්හදාබැලීම් සහිත නිදහස් සංගීත නිර්මාණයි.

ශබ්දය, අවකාශය සහ සංගීතය

ඉසුරු කුමාරසිංහ සංගීතය අර්ථ දක්වන්නේ, යම් අවකාශයක නිකුත් වන ශබ්ද වෙනත් අයෙකුට වින්දනය කළ හැකි පරිදි සංකලනය කිරීමක් ලෙසය. “මම උත්සහ කළේ ශබ්දය සහ සංගීතය කියන දෙකේ සංකලනයක් තියෙනවා ද කියලා හොයලා බලන්න. යම් අවකාශයක, ඒ කියන්නෙ කාමරයක් වෙන්න පුළුවන්, වැඩ කරන තැනක් වෙන්න පුළුවන්, පාරක් වෙන්න පුළුවන්, ඒ අවකාශය එක්ක තමයි ඒ ශබ්දයට අනන්‍යතාවක් ලැබෙන්නේ. අවකාශයයි, ශබ්දයි සංගීතයක් බවට පරිවර්තනය කරනවා කියන එකේ සම්බන්ධතාව මොකක් ද කියන එක පැහැදිලි කරන එකයි මම කරපු නිර්මාණයේ මූලික අදහස,” ඉසුරු කුමාරසිංහ පැවසීය.

ඔහු සිය නිර්මාණ සඳහා පරිසරයේ ශබ්ද (Field Noises), ගිටාර්, එස්රාජ් වැනි සංගීත භාණ්ඩවල ශබ්ද භාවිත කරයි. ඔහුගේ උත්සහය වී ඇත්තේ, අවකාශයේ ඇසෙන ශබ්ද ක්‍රමානුකූලව සංගීතයක් බවට පරිවර්තනය කිරීමයි. “මගේ Butterfly in the chest කියන නිර්මාණය පටන් ගන්නේ මහ මඟ ඇසෙන ශබ්ද රැසකින්. ලොතරැයි කූඩුවල ශබ්ද, සතුන්ගේ ශබ්ද, වාහනවල ශබ්ද වගේ විවිධ ශබ්ද ගොඩක් ක්‍රමානුකූලව සංගීතයක් බවට පරිවර්තනය කිරීම තමයි මම එහිදී කළේ. අවසානයේ සංගීතයක් බවට පරිවර්තනය කරන්නේ අර මුලින් ඇසුණු අවකාශයේ ශබ්ද ම තමයි,” ඉසුරු කුමාරසිංහ පැහැදිලි කළේය.

‘ගිලුණු’

ඔහු CTM Festival හි Radio Lab අංශය සඳහා ඉදිරිපත් කළ සංකල්පය වූයේ, ‘ගිලුණු’ යන්නය. ඉන් ඔහු අදහස් කරන්නේ, සංගීතයට සවන් දීමේ දී යම් අවකාශයක ඇසෙන ශබ්දවලින් රසිකයා සංගීතයේ ගිලෙන බව අර්ථ දැක්වීමයි. ඔහු සංගීතයේ අනුනාදය (Resonance) සම්බන්ධයෙන් අවධානය යොමු කළ අයෙකි. “ඉන්දීය තත් සහිත සංගීත භාණ්ඩවල තියෙනවා අනුනාද වෙන සිම්පැතටික් ස්ට්‍රින්ග්ස් කියලා පුංචි තත් වර්ගයක්. ඒවා වාදනය කරන්නේ නෑ. ප්‍රධාන තත් වාදනය කරනකොට ඒවා ඉබේ ම වාදනය වෙනවා. සංගීතයත් ඒ වගේ එකකට එකක් සම්බන්ධ අනුනාදයක් විදිහටයි මම දකින්නේ. මම ඒ අනුනාදය පාදක කරගෙන සංගීත භාණ්ඩ දෙකක් හදලා තියෙනවා. ඒවාට මම නම් දාලා නම් නෑ.”

“සාහිත්‍යයේ බලපෑම නිසා ශ්‍රී ලංකාවේ සංගීතය යටපත් වුණා”

ශ්‍රී ලංකාවේ සාහිත්‍යමය බලපෑම නිසා සංගීතය යටපත් වූ බව ඉසුරු කුමාරසිංහ පවසයි. “ලංකාවේ සංගීත ක්ෂේත්‍රය සාහිත්‍යයේ දිගුවක් බවට පත්වීම නිසා සංගීතය යටපත් වුණා. සාහිත්‍යය කියන බලවත් කරුණ නිසා සංගීතය වැහිලා තියෙන්නේ. ඒ ගැන හිතද්දී මම තීරණය කළා පද රචනා එක්ක වැඩ කරන එක නතර කරනවා කියලා. කේමදාස මාස්ටර් විතරයි සාහිත්‍යය අභිබවා ගිහින් සංගීත නිර්මාණ කරන්න පුංචි හරි උත්සහයක් ගත්තේ. මම දකින්නේ සංගීතය කියන්නේ පද රචනාවකට තනුවක් දාල ගීතයක් හදනවා කියන එක නෙවෙයි. ඒකට වඩා ලොකු පරාසයක් සංගීතය ඇතුළේ තියෙනවා.” ශ්‍රී ලංකාවේ රසිකයින් සංගීතයට ඇහුම්කන් දීම දියුණු කර ගත යුතු බව ඉසුරු කුමාරසිංහ පවසයි.

“ශ්‍රී ලංකාවේ රසිකයින්ගේ ඇහුම්කන් දීම මීට වඩා දියුණු විය යුතුයි. අපි නිවැරදිව ඇහුම්කන් නොදීපු නිසා තමයි දේශපාලනිකවත් අවුරුදු 70 ගාණක් තිස්සේ අවුලක ඉන්නේ. ඒ නිසා සංගීතය පද රචනාවකින් ඔබ්බට ගිහින් වෙනම රස විඳින්න පුළුවන් රසිකයින් පිරිසක් අපි නිර්මාණය කළ යුතුයි. ඒක තමයි මම මගේ ජීවිතයේ අරන් තියෙන අභියෝගය.”

මේ වන විට ඉසුරු කුමාරසිංහ Music Matters නමැති සංගීත පාසලේ ඉගැන්වීම්වල නිරතව සිටියි. එම සංගීත පාසල ඔහු වැනි ම “සංගීතය පිළිබඳ විකල්ප මං සොයන පිරිසක්” විසින් ආරම්භ කරන ලද්දකි.

17 පෙබරවාරි 2023
බීබීසි සිංහල

 

Social Sharing
අවකාශය නවතම