‘පින්කම්’ මාදිලිය සහ ආත්මාර්ථකාමියෙකු බිහිවීම ..!

– ගල්කන්දේ ධම්මානන්ද හිමි –

උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ ගතකරන අවසන් දිනය අදයි. දවස් හයක කාලයක් තුළ විවිධ පුද්ගලයින් හමුවීම, සාකච්ඡා සංවාද පැවැත්වීම, දැන හඳුනා ගැනීම, බෙදා හදා ගැනීම ආදියට අමතරව කෞතුකාගාරය සහ කකදු (Kakadu) ජාතික උද්‍යානයේ ගල්ලෙන් ආශ්‍රිතව ඇති ආදිවාසීන්ගේ චිත්‍ර සහිත jabiru ගුහා නැරඹීමටත් හැකි වුණා (මේ සඳහා කි.මී. 700 විතර තම රිය පදවමින් කටයුතු කළ දුමින්දට ස්තූතියි).

ඩාවින් නගරයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මාගේ නවාතැන වූ අතර එහි වසන විමලජෝති හිමියන් සහ ශ්‍රී ලාංකික ජනයා මා ගැන කරුණාවෙන් සොයා බැලුවා.

ඩාවින්හි සිටි කාලය තුළ වැඩසටහන් තුනක් සිදු කරනු ලැබුවා. එයින් පළමු වැඩසටහන වූයේ ධර්ම දේශනයක්. එහි දී මම සාකච්ඡා කළේ අද ලංකාව පත්ව ඇති තත්ත්වය දෙස එකිනෙකාට චෝදනා කිරීම ඉක්මවා එම තත්ත්වය ඇතිවීමට අප එකිනෙකා සහ අප ආයතන වගකිය යුතු ද යන්න ඉතා අවංකව සහ විවෘතව ලකා බැලීමේ අවශ්‍යතාවයි. චෝදනා කිරීමේ දී සිදුවෙන දෙය නම් වැරදිකරුවා මම නොව අනෙකෙකු යයි නම් කිරීමට ලැබෙන අවස්ථාවයි. එසේ නිගමනය කළ පසු අප සියලුම දෙනාට පහසුවක් දැනෙන බව පෙන්වාදුන් අතර යම් ලෙසකට අප එයට වගකිව යුතුයැයි තීරණය වුවහොත් අනෙකෙකුට චෝදනා කරන තරම් එය පහසු නොවන බවත් පෙන්වා දෙනු ලැබුවා. එසේ වුවත්, කොතරම් අපහසු තත්වයක් ඇතිවුව ද සිදුකළ යුත්තේ එයම බව මුල දී ම පෙන්වා දුන්නා.

මෙහි දී මට හැඟෙන පරිදි බෞද්ධ ආයතනය තුළින් සිදු වූ බරපතළ අතපසුවීමක් සාකච්ඡාවට ලක් කරනු ලැබුවා. ඒ තමයි, ‘පින් සිදු කිරීම’ සම්බන්ධයෙන් අප ආයතනය ලබා දී ඇති අනවශ්‍ය වැදගත්කම. ‘පින් සිදු කළ විට එහි විපාක ලෙස නොයෙක් දේ ලැබිය හැකිය; එහෙයින්, හැකි තරම් පින් සිදුකර ගත යුතුය’ යන්න මෙම ඉගැන්වීමයි. තවද, මේ මොහොතේ සැපවත් ජීවිත ගත කරන්නන් යනු අතීතයේ පින් කළ පුද්ගලයින් බවත්, එසේම මේ මොහොතේ දුක් විඳින්නේ අතීතයේ පව් කළ පුද්ගලයින් බවත් මෙම ඉගැන්වීමෙන් මතුකොට දැක්වෙනවා.

මෙයාකාරයට මිනිසුන් ‘පින්’ කිරීමට උනන්දු වන තරමට එය අප ආයතන පවත්වාගැනීමට විශාල රුකුලක් ලැබෙන බව මුලින්ම පෙන්වාදුන් අතර එසේ වුවත් දිගුකාලීන ලෙස, ‘පින්කම් කිරිම’ පින් කරන්නන්ට වත් එම පින්කම් වල උදව්වෙන් පවත්වාගෙන යන ආයතනවලට වත් සුගතියක් අත් නොකරන ආකාරය ඉන්පසු පැහැදිලි කරනු ලැබුවා.

පින්කම් සිදු කරන්නන් ඒවා කරන්නේ ප්‍රතිඵලය පිළිබඳ දැඩි ආශාවකින්. යමක් දෙන්නේ ඊට වැඩි යමක් ලබා ගැනීමේ අරමුණින්. ඒ නිසා ප්‍රතිඵලය ලෙස වැඩියෙන් යමක් ලැබිය හැකි ‘පින්කම්’ කිරීමට පින් කරන්නන් වැඩියෙන් උත්සාහ කරන අතර අප ආයතන පැත්තෙන් වැඩි ප්‍රතිඵල ලැබෙන පින්කම් හඳුන්වා දීම සිදු වෙනවා. උදාහරණ ලෙස අටපිරිකර පූජාව, කඨින පිංකම, වැඩි ආනිසංස ලැබිය හැකි පින්කම් ලෙස හඳුන්වා දුන් විට ඒ වැඩි ප්‍රතිඵල ලැබෙන පින්කම් කිරීමට සාමාන්‍ය ජනයා වැඩියෙන් පෙළඹෙන ආකාරය පැහැදිලි කරනු ලැබුවා.

‘පින්කම්’ සිදු කිරීම ප්‍රවර්ධනය කිරීම නිසා සිදුවන දිගුකාලීන හානිය නම් මිනිසුන් තමන්ට පුද්ගලිකව ප්‍රතිඵලයක් ලැබීම ඉලක්ක කරගෙනම කටයුතු කිරීමට පුහුණුවීම සහ එසේ තමන්ට පුද්ගලිකව ප්‍රයෝජනයක් අත් නොවන්නේ නම් එබඳු දේ නොකර සිටීමට ඇතිවන නැමියාවයි. උදාහරණයකට ඡන්දයක් වැනි පොදුවේ සිතා කටයුතු කළ යුතු අවස්ථාවල දී මිනිසුන් කටයුතු කරන ආකාරය වඩාත් සමීප වන්නේ පෙර කී පින්කම් මාදිලියට එනම් පුද්ගලිකව තමන්ට ප්‍රතිඵලයක් ලැබීම ඉලක්ක කරගත් මාදිලියටයි. අඩුම තරමේ වහලයට ටකරන් තහඩු ටිකක් හෝ දෙන තැනැත්තාට, පක්ෂයට ඡන්දය දීමට නැඹුරුවීම තුළ පෙන්නුම් කෙරෙන්නේ පෙර කී ආකාරයේ පින්කම් කරන්නාගේ මානසික තත්ත්වයයි. ඒ නිසාම දේශපාලකයා ද ඡන්ද කාලයේ දී රැකියා ෆෝරම බෙදා දීම, මුදල් බෙදාහැරීම සහ තව නොයෙකුත් දේ පුද්ගලිකව ලබාදීම සිදුකරයි. එසේ නැත්නම් පුද්ගලිකව රැකියා ලබා දෙන බවට හෝ පොරොන්දු ලබා දෙයි.

ලබා දෙන ඡන්දයට හිලව් වශයෙන් නොමිලේ හාල් පොත්, සහනාධාර ආදිය ලබාදීම තම අභිමානයට කරන නිගරුවක් සේ නොසලකන මනසක් ගොඩ නැගෙන්නට මේ පින්කම් මාදිලිය උදව් නොවන්නේදැයි මෙම දේශනයේදී මා විසින් මතු කරනු ලැබුවා. එපමණක් නොව ආදරය බිඳ වැටුණු අවස්ථා වල දී තමන්ට ලැබෙන්නේ නැත්නම් වෙනත් අයෙකුට ද හිමි නොවිය යුතුය යන අදහසේ සිට කටයුතු කෙරුණු අවස්ථා පෙන්වා දෙමින් මා මතු කළේ ඉතා සියුම් ලෙස තමන්ට ප්‍රතිඵලයම අපේක්ෂා කරගෙන කටයුතු කරන මනසක් සැකසීමට ‘පින්කම්’ මාදිලිය හේතු වී නැද්ද යන්නයි.

එයින් පසු මා පෙන්වා දුන්නේ බුදුන් වහන්සේ නැවත නැවත පවසා ඇත්තේ පින්කම් කිරීමට නොව ‘කුසල්’ වර්ධනය කිරීමට බවයි. ‘ සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා’ මිස ‘පුඤ්ඤස්ස උපසම්පදා’ කියා ඉගැන්වීමක් නැති බව පෙන්වාදුන් අතර බෞද්ධ විමුක්ති වැඩපිළිවෙලේ එන අට වැදෑරුම් විමුක්ති මාර්ගයෙහි පින් වැඩීම ගැන කිසිවක් සඳහන් නොවන බව ද පෙන්වා දුන්නා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ‘සම්මා වායාම’ යටතේ ‘කුසල’ වැඩිම ගැන මෙන්ම ‘අකුසල’ යටපත් කිරීම සඳහා සිදු කළ යුතු වෑයම ගැන ද විස්තර වන ආකාරය පෙන්වා දුන්නා.

‘කුසල’ සංකල්පයෙහි ඇති ලක්ෂණ තුනක් විස්තර වන අතර එයින් පළමුවැන්න වන්නේ තමන්ට ලාභයක්, ප්‍රතිඵලයක් අපේක්ෂා නොකරන ක්‍රියාවක් යන්නයි. එනම් ‘කුසලයක්’ සිදු කරන්නෙකු ආපසු තමන්ට කිසිදු ලාබයක් හෝ ප්‍රයෝජනයක් අපේක්ෂා කරන්නේ නැත යන්නයි. ඔහු හෝ ඇය යමක් සිදුකරනු ලබන්නේ එය සිදුකළ යුතුයැයි තමන්ට හැඟෙන නිසා පමණි. එයට ආපසු කිසිවක්, ස්තුතියක් වත් අපේක්ෂා කරන්නේ නැත. එසේ අපේක්ෂා කරන්නේ නම් එය ‘කුසලයක්’ නොවේ.

මගේ දේශනාව තුළ පෙන්වා දුන්නේ මේ සංකල්ප දෙකෙහි අර්ථ වෙනස කාලය සමග ගිලිහී ගොස් ඇති බව සහ ‘පිංකම’ සහ ‘කුසලය’ යන පද දෙක එකම අර්ථයෙහි මේ වන විට භාවිත වන බවයි. නමුත් බුදුන් වහන්සේ ‘කුසල’ යන පදය හඳුන්වා දෙන්නේ විශේෂ අර්ථයක් ඇතිව බවත්, එය උන්වහන්සේගේ මූලික දර්ශනය වන ‘තණ්හාව’ නැති කිරීම, ‘අත්හැරීම’ යන මූලික සංකල්ප හා බැඳී පවත්නා බවත් පෙන්වා දුන්නා.

අවසානයේ මා පෙන්වා දුන්නේ ‘කුසල’ වඩන්නට හුරු වූ මිනිසා පොදු යහපත සලකා තීරණ ගන්නවා විනා තමන්ට පුද්ගලිකව ලැබෙන ලාභය ගැන සලකා තීරණ නොගන්නා බවයි. ‘කුසල’ වඩන්නට හුරුවූ මිනිසකුගේ දේශපාලන තීන්දු ඉතා දියුණු මට්ටමක පැවතිය හැකි අතර එබඳු තීරණ පුද්ගලික වාසි ඉලක්ක කරගත් ඒවා නොවිය හැකි බවයි.

තව ද, කුසල සංකල්පයෙහි සිට යමෙකු ආදරය කරන්නේ නම් එම ආදරය තුළ බලවත් වන්නේ තමන්ට කොපමණ ලැබෙනවා ද යන්න නොව, තමා ආදරය කරන කෙනාට වැඩිම යහපත සිදු වන්නේ කෙසේද යන්නයි. ආදර සම්බන්ධයක් බිද වැටීම නිසා තමන්ගෙන් වෙන්ව යන කෙනා ඝාතනය කිරීම පිටුපස ඇත්තේ තමන්ට ආපසු ලැබිය යුතු කොටස නොලැබීම නිසා ඇතිවුණු වෛරය වන අතර ඒ ගැඹුරේ ඇත්තේ මන්ට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිදුකරන ලද ක්‍රියාවකි. එහෙයින් එම ප්‍රවේශය සමීප වන්නේ ‘ පින්කම්’ මාදිලියටයි. එහෙත් තමන්ගෙන් වෙන්ව යන කෙනාට තමන්ට වඩා යහපත් කෙනෙකු හමු වේවා යයි කෙනෙකුට සිතිය හැකි නම් එම සිතිවිල්ල වඩා සමීප අපි මෙහි දක්වා ඇති ‘කුසල’ අදහසට බව මා පෙන්වා දුන්නා.

අප සියලු දෙනාට ‘පින්කම්’ මාදිලිය පහසු සහ කෙටිකාලීනව වාසි සහගත ලෙස පෙනුනත් එයින් නිමැවෙන මිනිසා යනු ඉතා ආත්මාර්ථකාමියෙකු බවත් එවන් ආත්මාර්ථකාමීයෙකු බිහි කර ගැනීම මුළු සමාජයටම අහිතකර බවත් තව දුරටත් පෙන්වා දුන්නා.
(අනෙක් වැඩසටහන් දෙක ගැනත් ඉඩ ලැබෙන හැටියට ලියන්නට උත්සාහ කරනවා).

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග