ශ්‍රී ලංකාවේ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම – 02

මහා විහාරික ථෙරවාදීන් මුල් කාලයේදි පිළිම හැදුවෙ හෝ වැන්දෙ නැහැ. ඒ නිසා අනුරාධපුර යුගයේ මුල් භාගයේදි පිළිම හැදුණෙ නෑ. නමුත් අනුරාධපුර යුගයේ මැද භාගයේ දි අභයගිරි, ජේතවන වාසී මහායානිකයින් පිළිම හදලා වඳින්න පටන් ගත්තා.

ඒ අනුව, ක්‍රි.ව. 2 සියවසේ සිට බුදු පිළිම කිහිපයක් හමු වෙනවා. ක්‍රි.ව. 5 සියවසත් 12 සියවසත් අතර කාලයෙදි මහායාන බුදු පිළිම, බෝධිසත්ව පිළිම, බෝධිසත්ව භාර්‍යාවන්ගේ පිළිම සහ සෘෂිවරුන්ගේ පිළිම විශාල වශයෙන් නිර්මාණය වෙන්න පටන් ගන්නවා.

මේ කාලයේදි වජ්‍රයානිකයින් ඇතුළු මහායානිකයින් වන්දනා කළ පංචමහා ධ්‍යානී බුදුවරුන් අතරට අයත් වෙන්නේ වජ්‍රධර, ආක්ෂෝභය, අමෝඝසිද්ධි, අමිතාභය, රත්නසම්භව වගේ බුදුවරුන්. බදුල්ලෙන් හමුවෙලා තියෙන ලෝකඩ පිළිමය වජ්‍රයක් අතින් ගෙන සිටින නිසා වජ්‍රධර බුදුන් නිරූපණය කරන බව පැහැදිලියි. නමුත් අනෙකුත් මහායාන බුදුවරුන්ගේ පිළිම වෙන් වෙන්ව හඳුනා ගන්න ඒ ගැන දැනුමක් නැති කෙනෙකුට අපහසුයි.

අභයගිරියෙන් හමුවන ප්‍රසිද්ධ සමාධි බුදු පිළිමයත් මෙවැනි මහායානික බුදු පිළිමයක්. එකල මහායානිකයින් ගෞතම බුද්ධ පිළිම හැදුවෙ නෑ. ථෙරවාදීන් මොන බුදු පිළිමයක්වත් හැදුවෙ නෑ. අද වෙනකොට බොහෝවිට ගෞතම බුද්ධ කියා සිතාගෙන වඳින්නෙ අනුරාධපුර යුගයට අයත් මෙවැනි වෙනත් මහායාන බුදුවරුන්ගේ පිළිමවලට.

මහාපරාක්‍රමබාහුගේ කාලයේදි ථෙරවාදය සහ මහායානය එකට එකතු කළ නිසා, 13 වැනි සියවසෙන් පස්සෙ ථෙරවාදීනුත් මහායාන බුදුවරුන්ටත් වඳින්න පටන් ගත්තා. ඒ වගේම ගෞතම බුද්ධ සහ මහායාන පංචමහා ධ්‍යානී බුදුවරුන් අතර වෙනස නොසලකා හැරුණා.

පොළොන්නරු ගල් විහාරයේ විද්‍යාධර ගුහාවේ සහ පසෙකින් ඇති හිඳි පිළිම ඊට උදාහරණයක්. එහි බුදුන් වැඩ සිටින ආසනයේ මැද වජ්‍රයක සලකුණ පැහැදිලිවම කැටයම් කර තිබෙනවා. ශිල්ප ග්‍රන්ථවලට අනුව වජ්‍ර සංකේතය සහිත වජ්‍රාසනයක වැඩ හිඳින්නේ වජ්‍රයාන බුදුවරයෙකු වූ වජ්‍රධර බුදුන්. නමුත් ඒ ගෞතම බුද්ධ කියා අද කවුරුත් සිතා සිටිනවා. ගල් විහාරයේ ඉහත කී හිඳි පිළිමයට පිටුපස ඇති තොරණේ විමානවල පංච මහා ධ්‍යානී බුදුවරුන් පස් දෙනාගෙන් සෙසු සතර දෙනාගේ රූප කැටයම් කර තිබෙනවා.

ක්‍රි.ව. 12/13 සියවස්වලින් පසුව ආසියාවේම බුදු දහම පිරිහී යනවා. ඉන් පසුව නිර්මාණය වෙන්නේ විෂ්ණුගේ දශ අවතාරවලින් එකක් ලෙස සැලකෙන හින්දු බුදු පිළිමයක්. ජෛන තීර්ථංකර පිළිම සහ මෙවැනි විෂ්ණු අවතාර පිළිම අතර ලොකු වෙනසක් නෑ.

උදාහරණයක් විදිහට හිස වටා නයි පෙන සහිත පාර්ශවනාථ නම් ජෛන තීර්ථංකර පිළිමයම මේ අවධියේදී මුචලින්ද නාගදරණය නමින් බුදු පිළිමයක් ලෙස නිර්මාණය වෙනවා. මුචලින්ද නාගදරණය පිළිබඳ කතාව මුල්කාලීන බෞද්ධ පිටකවල සඳහන් වෙලා නැහැ.

භූමි ස්පර්ශ මුද්‍රාව නමින් ලංකාවේ හැඳින්වෙන පිළිම විශේෂය ජනප්‍රිය වෙන්නෙ ගම්පොළ යුගයෙන් පස්සෙ. ඒ කියන්නෙ ක්‍රි.ව. 15 සියවසේදි. ඊට පෙර මේ ඉරියව්ව තීර්ථංකර පිළිමවලත්, සමහර ටිබෙට් පිළිමවලත් තිබුණා.

බුදු පිළිම සම්බන්ධයෙන් මේ විස්තරය ඇසූ විට ඔබ පුදුමයට පත් වෙනවා නම් එයින් අදහස් වෙන්නෙ කුමක් ද ? භික්ෂූන් දේශනා කරන, මාධ්‍යයෙන් ඇසෙන, පාසැල් පෙළ පොත්වල තිබෙන ජනප්‍රිය දැනුම සහ පුරාවිද්‍යා-ඉතිහාස ශාස්ත්‍රීය පර්‍යේෂණ අතර පියවිය නොහැකි පරතරයක් ඇති බවයි.

ප්‍රගීත් අලුත්වත්ත
උපුටාගැනීම : ෆේස්බුක්

 

 

Social Sharing
අවකාශය නවතම