ලොව පහළ වූ කුරිරුතම ලේඛකයා

ඉසෙයි සගාවා

අඩි හතරකුත්, අඟල් නවයකුත් උස් වූ හේ, නමින් ඉසෙයි සගාවා විය. හෙතෙම ජපන් ජාතිකයෙකි. පසුගිය වසරේ නොවැමබරයේ මියගිය ඔහුගේ පොත් මම කියවා නැත්තෙමි. එසේ වුව, මේ කුරිරු ලේඛකයා පිළිබඳ යමක් කියන්නට මට සිත් විණි. එසේ වුව, මේ ලිපියේ ඇති කාරණා සමහරක් සිත කළඹනසුලු කරුණු වන හෙයින්, ලිපිය කියැවීම සුදුසු ද, නුසුදුසු ද යන වග තීරණය කළ යුත්තේ ඔබම ය. 1949 දී අප්‍රේල් මස උපත ලද සගාවා, Kurita Water Industries නම් කම්හලේ සභාපතිවරයෙකු මෙන් ම ධනවත් ව්‍යාපාරිකයෙකු වූ අකිරා සගාවා ගේ දරුවෙක් විය. ඉසෙයි ළදරුවෙකු වූ කල, ඔහුගේ මුළු සිරුර ම ඔහුගේ පියා ගේ අල්ලේ ප්‍රමාණය නොඉක්ම වූ බවට ද සඳහනක් වෙයි. නිතර නිතර ලෙඩ රෝග වලට මුහුණ දුන් හෙතෙම, බාහිර පරිසරයට නිරාවරණය නොවී නිවසට ම වී හුන්නේ පොත-පත කියවීම තම විනෝදාංශය බවට පත් කරගෙන ය. ඔහු වඩාත් ම ප්‍රිය කළ කෘතිය හන්සල් සහ ග්‍රේටල් ය. වාකෝ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ හේ, ක්වන්සෙයි ගකුයින් විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය ද හැදෑරූවෙකි. නමුත්, අනෙක් ලේඛකයිනට සාපේක්ෂ ව මොහු කුරිරු අයෙකු වන්නේ මන්ද යන ප්‍රශ්නාර්ථය ඔබ මනසේ නිසැකව ම නැඟෙනු ඇත. ඊට හේතුව නම් සගාවා පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දා පටන් ම එක් දෙයක් ප්‍රිය කිරීම යි. එය ඉංගිරිසියෙන් කැනිබලිසම් වේ. සිංහලට අනුව එය පරුෂාදනය යි; නැතොත් මිනීමස් කෑමයි.

ඔහුට අනුව, පළමු ශ්‍රේණියේ සිසුවෙකු ව සිටිය දී ඔහු සිහින මවා ඇත්තේ තම පිරිමි මිතුරෙකු ගේ කලවයක් අනුභව කිරීමට ය. වසරින් වසර ගත ව ගොස්, ඔහු යෞවන අවධියට පය තබත් ම, ඔහුගේ මෙම ලාලසේ තීව්‍රතාව වර්ධනය වන්නට වුවත්, ඔහු සැබැවින් ම කුරිරු මනසින් යුතු තැනැත්තෙකු ය කියා දැන හුන්නේ ඔහු ම පමණෙකි. සගාවා ට වයස අවුරුදු විසි හතරක් වෙද්දී, සිත ඇතුළේ කූඩුවක විලංගු ලා සිටි ඔහු අභ්‍යන්තරයේ වූ රකුසා, විලංගු වලින් මිදී සැරිසරන්නට විය. එක් දිනෙක, නොදැමුණු රකුසෙකුගෙන් වැසුණු සගාවා, ජර්මානු කතක් පසුපස යන්නට වූයේ ඇගේ නිතඹෙන් කොටසක් කපා ගන්නට සිතමිනි. නිදා සිටි ජර්මන් කත අවදි වූ හෙයින් ඔහුගේ උත්සහය ව්‍යර්ථ වූ අතර, පොලීසියට හසු වූ ඔහු කාන්තාවකට බලහත්කාරකමක් කරන්නට ගියේ යැයි සිතමින් පොලීසිය සිරගත කරන්නට තැනුව ද, පීඩාවට ලක් වූ කතට සගාවා ගේ පියා මුදල් ලබා දීම නිසාවෙන්, ඔහු නිදහස් විණි. එම උත්සහය ව්‍යර්ථ වූ හෙයින්, රකුසා තව තවත් කෝපයට පත් වන්නට විය.

වසර තුනක් ගත ව ගිය සඳ, ඔහු පැරීසියට ගමන් කළේ ඉංග්‍රීසි සාහිත්‍ය සම්බන්ධ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ය. පැරීසියේ දී වාසය කරනා’තරේ වෙඩි තැබීමේ අදිටනින් යුතු ව තමා සිය කුලී නිවෙසට අභිසරු කතුන් කැඳවුව ද, කොකා ගස්සන තරමට සිය හිත දැඩි නොවූ වග සගාවා පසුව මාධ්‍යය ට පවසා තිබිණි. ව්‍යර්ථ වන සෑම උත්සහයක දී ම ඔහු අභ්‍යන්තරයේ විසූ රකුසා ගේ ජටරාග්නිය, බුර බුරා නැඟෙන්නට විය. එතැනින් වසර පහක් ගත වූ තැන, රකුසා ජය පැන් වලින් මත් විය. රකුසා ගේ සාගින්න නිවා දැමුවේ එක් කතකි.

රෙනේ හාර්ට්වෙල්ට්

අඩි පහක්, අඟල් දහයක් වූ ඕ, රෙනේ හාර්ට්වෙල්ට් නම් නෙදර්ලන්ත ජාතික කතක් වූවා ය. පියකරු සහ කරුණාවන්ත කතක් වූ රෙනේ හට, දිනෙක රකුසා සිය කුලී නිවෙසට ආරාධනා කළේ කවි පරිවර්තනය හා සම්බන්ධ පැවරුමක් සාර්ථක ව නිම කරගැනීමට ඇයගේ උදව් ඔහුට අවැසි බව පවසමිනි. රාත්‍රිය එළඹෙත් ම පැමිණි ඇයට, මඳ වේලාවක් ගත වූ පසු හිමි වූයේ ගෙල පසාරු කරගෙන ගිය උණ්ඩයක වේදනාව ය. තම අපරාධයේ දැඩි බව නිසාවෙන් ම, දුර්වල සගාවා ක්ලාන්තය කර ඇත. එහෙත්, මඳ වේලාවක් ගත වූ තැන අවදි වූ සගාවාට විලංගු වලින් මිදුණු රකුසා ප්‍රාණය සැපයී ය. රකුසා පළමු ව ශවකාමය කෙබඳුදැයි පිරික්සී ය. ඉනික්බිති ඇයව කොටස් කර, බුදින්නටත්, එම ක්‍රියාවලිය ඡායාරූපගත කරන්නටත් පෙළඹීය. සාක්ෂි වසන් කරන්නට තැත් කරනා’තරේ ප්‍රංශ පොලීසිය ඔහුව අල්ලාගන්නට සමත් වූහ.

එසේ වුව ද, නඩු විභාගයක් ලැබෙන තෙක් වසර දෙකක් සිරගත කරනු ලැබූ සගාවා මානසික රෝගියෙකු ය කියා මානසික රෝහලකට ඇතුළත් කරනු ලැබිණ. එය ද සිදුවූයේ සගාවා ගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු වූ බැවින් යන වග ද අන්තර්ජාලයේ ලිපි වල සඳහන් ය. ඉනුහිකෝ යොමාතා නම් ජපන් කතුවරයා මොහු හමුවන්නට ගිය අතර, එහි දී ඔහුගෙන් අසා දැනගත් දෑ පොතකට රචනා කරන්නට ඔහු සමත් විය. එය ජපානයේ පළ වූ අතර, එය කිරි නො නකා (In the Fog) නම් විය. එය නොසිතූ ලෙස ප්‍රසිද්ධ වූ හෙයින්, ප්‍රංශයට සිදු වූයේ ඔහු ව ඔහුගේ මව් රට වන ජපානයට පිටුවහල් කරන්නට ය. එහි දී මට්සුසාවා රෝහලේ දී පිරික්සීමට ලක් වුණු ඔහුට මානසික රෝගයක් නොමැති බවට තීන්දු වුණු අතර, සගාවාට පැවරුණු නඩු ප්‍රංශයෙන් ඉවත් කරගෙන තිබූ හෙයින් සගාවා නිදහස් විණි. 1986 දී රෝහලෙන් නිදහස් වුණු ඔහු, නියුමෝනියාව හේතුවෙන් පසුගිය වසරේ මියෙන තෙක් ම නිදහස් මිනිසෙකු ලෙසින් ජපානයේ වෙසෙන්නට විය.

In the Fog

ලෝකයේ පිළිකුළට ලක් වුණ ද, ජපානයේ අනූ ගණන් වල සගාවා සෙලෙබ්‍රිටි කෙනෙකු ගේ තත්වයට පත් විය. ඉසෙයි ට තම මිනීමැරුම් පිළිබඳ ව ලියන්නට ද ආරාධනා ලැබිණි. ඔහු තමා කළ මිනීමැරුම පිළිබඳ ව ද, ඔහු විසූ ප්‍රදේශයේ වූ අනෙක් මිනීමැරුම් පිළිබඳ ව ද ලියූ පොත් ප්‍රකාශයට ද පත් විණි. නේකවිධ රූපවාහිනී නාලිකා වලින් සහ පුවත්පත් වලින් ඔහුට විවිධ විවිධ ආරාධනා ලැබුණ’තර, ඔහු විවිධ මස් වර්ග පිසගත් ආකාරය පැහැදිලි කරනා රූපවාහිනී වැඩසටහනක් ද ජපානයේ ප්‍රදර්ශනය කෙරිණි. සිය අපරාධයෙන් ඔහු උද්දාමයට මිස, කැළඹීමට පත් ව සිටියේ නැත. නමුත් නව සහස්‍රයට ලෝකයා පිය තබත් ම, සගාවා ගේ ප්‍රසිද්ධිය කාණු පල්ලට ඇදී ගියේ ය. ඔහුගේ පොත් කිසිවෙකු විසින් ප්‍රකාශ කරන්නට ඉදිරිපත් නොවිණි. ඔහුට රැකියාවක් ද නොලැබුණු අතර, සිය දෙමව්පියන්ගේ මළගෙදරට ඇතුළු වීමට ද ඔහුට තහංචි දැමිණි. ලිපිය අවසන් කිරීමට 2011 වසරේ වයිස් සඟරාවේ අසනු ලැබූ ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුරක් වෙත ඔබේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.

මාධ්‍යවේදියා: “ඔබතුමා මැරෙන්න කළින් තව කාවහරි කන්න අදහසක් තියෙනව ද?”

සගාවා: “ගෑනු කට්ටිය අඩුවෙන් ඇඳලා හම පේන්න ඇඳුම් අඳින ජුනි මාසෙ ගතවෙද්දි මිනිස්සු කන්න තියෙන ආශාව වැඩි වෙනවා. ඒ නිසා මගේ උත්තරය ඔව් කියන එක. මගෙ හිතේ තාමත් ඒ ආශාව ඒ විදිහට ම තියෙනවා; ඒ විතරක් නෙවෙයි, මේ පාර මට කන්න ඕනෙ ජපන් ගෑනියක්.”

-තොරතුරු අන්තර්ජාලයේ සගාවා ගැන පළවුණු විවිධ ලිපි හා වීඩියෝ පට වලිනි-

කාව්‍ය තත්සර
2023 – 01 – 28

 

Social Sharing
අවකාශය නවතම