නලාවද? මරුවැලද?

මේ වෙනකොට ලංකා හොස්පිට්ල්ස් ගැන කතාබහක් ආරම්භ වෙලා. ඒ නිර්මානි මිතුරියගේ අකල් වියෝව සමග. මම රාවයට ඇවිත් 2013 මුලින්ම ලීවේ නවලෝකේ ස්කෑන් මැෂින් එකක් අස්සේ මැරුණු පුංචි මල් කැකුලක් ගැන. මේ මෑතක හේමාස් එකේ දී කරපු සැත්කමක් නිසා අකාලයේ මියැදුන තරුණ කාන්තාවක් ගැන සමාජයෙ ලොකු කතාබහක් ඇති වුණා.

ලංකාවේ පුද්ගලික රෝහල් සමූහයේ තත්ත්වය තමයි මේක. මේක ඇත්තටම පොදු තත්ත්වයක්. මේක පුද්ගලික රෝහල් ජාලයට විතරක් නෙවෙයි රාජ්‍ය රෝහල් පද්ධතියටත් පොදුයි. කවුරුහරි රාජ්‍ය රෝහල් තුළ වෛද්‍යවරුන් ගේ නොසැලකිල්ලෙන් මැරෙන මිනිස් ජීවිත ගැන රිසර්ච් එකක් කළොත් මේකේ පුදුමය අපිට හිතාගන්නත් බැරිවෙයි. මේකට ප්‍රධානම හේතුව තමයි දොස්තර මාෆියාව. දොස්තරවරුන් ගොඩනගාගෙන ඉන්න අසීමිත බලය.

සෞඛ්‍ය පුද්ගලීකරණයට කෑගහන අපේ මිත්‍රයෝ මේවා ගැන බරපතළ විදිහට හිතන්න අවශ්‍යයි. ලංකාවේ සෞඛ්‍ය සේවය කියන්නේ මිනිස්සු ජීවත් කරන්න ගොඩනැඟුණ යාන්ත්‍රනයක් නෙවෙයි. මිනිස්සු මරාගෙන කාලා හැදෙන්න ගොඩනැගුණ යාන්ත්‍රනයක්. පිළිකා යාන්ත්‍රනයක්. මගේ අම්මා පිළිකා රෝගියෙක් උනාට පස්සේ මට මේක හොඳටම පෙනුනා. මම ඒක ප්‍රායෝගිකව තවමත් අද විඳිමින් ඉන්නවා.

තාජුඩීන් මරලා දැම්මාම ඒකට බොරු වාර්තාවක් දෙන්නේ අධිකරණ වෛද්‍යවරයා. ලසන්ත වික්‍රමතුංග මරලා දැම්මා වෙඩි තියලා මරලා තියෙන්නේ කියලා බොරු වාර්තාවක් දෙන්නේ අධිකරණ වෛද්‍යවරයා. මේක මේ සිද්ධි දෙකක් විතරයි.

වෛද්‍ය මාෆියාව ගැන රෝහලකට එන රෝගියෙක් කතාකළොත් ඌට වෙන්නේ රෝහල අස්සේ මැරෙන්න. වෛද්‍යවරයා ප්‍රශ්න කළත් ඒකම තමයි වෙන්නේ.

පුද්ගලික රෝහලකට ගියොත් (ඔය ලංකා ඇතුලු ඕනෑම එකකට) අතේ තියෙන සල්ලි විතරක් නෙවෙයි බැංකුවේ තියෙන සල්ලිත් දීලා යාලුවෙක් ගෙනුත් අතමාරුවක් ඉල්ලගෙන ගෙවලා තමයි එළියට එන්න වෙන්නේ. ඒක තමයි වෛද්‍යවරුන් හරහා ගොඩනැගුන මේ සෞඛ්‍ය මාෆියාව අද වෙනකොට වර්ධනය වෙලා තිබෙන තැන.

රෝහල් පරිපාලනයට ඇයි වෛද්‍යවරුන්ම ඕනී. මට ඒක හැමදාම තිබුණ ප්‍රශ්නයක්. මේක අස්සෙත් තියෙන්නෙත් මේ මාෆියාව මිසක් වෙන බක්කක් නෙවෙයි.

මේ විවේචනය මගේ මිත්‍ර හොඳ වෛද්‍යවරුන් ට නෙවෙයි. නමුත් ඔවුන්ගේ නිහැඬියාවත් කරන්නේ මේ මිනීමරු සෞඛ්‍ය සංස්කෘතියට උඩගෙඩි දෙන එක.

උදේට රෝහලකට ගියාම ලෙඩ්ඩුන්ට වඩා පෝලිමේ ඉන්නේ වෛද්‍යවරුන් මුණගැහෙන්න ඇවිත් ඉන්න ඖෂධ සමාගම් වෙළඳ නියෝජිතයෝ. මම දන්න විදිහට ලෝකයේ දියුණු රටවල මෙහෙම කතාකරලා අහුවුණොත් රස්සාවත් නැති වෙනවා. ඒත් ඇයි ලංකාවේ මෙහෙම?

මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට අවශ්‍ය වෙන්නේ පුද්ගිකරණය නෙවෙයි ඒකට අවශ්‍ය හොඳ සංගායනාවක්. ඒ සංගායනාවෙන් පස්සේ මේ මාෆියාව මර්දනය කිරීම සඳහා නීතිමය යාන්ත්‍රනයක් හදන්න ඕනී. නියාමනය ශක්තිමත් කරන්න ඕනී. දොස්තරවරුන් ට එකවර රජයේ සහ පුද්ගලික රෝහල්වල වැඩකිරීම තහනම් කරන්න ඕනී.

– කේ. සංජීව –

Social Sharing
අවකාශය නවතම