‘හිම වසී හිම වසී’

බරීස් පස්තර්නාක් නම් රුසියානු කවියාගේ ‘හිම වසී’ කවිය, සුනිල් විජේසිරිවර්ධන ලියූ ‘ගිම්හානේ යන්න ගිහින්’ පරිවර්තිත කාව්‍ය සංග්‍රහයේ එන මගේ ප්‍රියත ම කවි අතර එකක්. අර්සේනි තව්කොව්ස්කි ලියූ ‘ගිම්හානේ යන්න ගිහින්’ කවියත් ඒ ප්‍රිය ගොඩට ම වැටෙන්නක්.

මේ, ‘හිම වසී’ වෙත හිත යන්න එක හේතුවක් කියල මං හිතනවා, ගුණදාස අමරසේකරගේ කව් තාලය සහ හද බස වැනි යමක් මෙහිත් දකින්න ලැබීම. මම අමරසේකරගේ කව් පිස්සෙක්. ඔහුගේ ‘හා එන්න සවස් කල’, ‘ඔබේ රතු මල් එක්ක’ වගේ කවිවල රිද්මය එක්ක පෑහෙන මොකක්දෝ දේශීය බවක් දැනෙන්න ගන්නවා මේක කියවද්දි. රුසියාව සමඟ සෙනේහෙ සාහිත්‍ය ජීවිත ගෙවන ලාංකේයයන්ට මේ පෑස්සීම අමුතු වෙන්න බැහැ. අමරසේකරව මේ රුසියන් කව සමඟ සිහිවීම ඕවර් යාමක් නම් ඊට ටිකකට සමාව දෙන්න !

හිම වසී කවියෙ කියන්නෙ නගරයකට හිම වැසි වැටෙන දවසක් ගැන. මේ කවියෙ, ලස්සන ම තැන නැතිනම් දීපක ලකුණ සහිත කොටස තමයි,
‘කුඩේ මෙන් විහිදුවා තිත් ගවුම’

මේ කොටස කියද්දි මට මැවෙන්නෙ මැර්ලින් මොන්රෝගේ හොඳින් විහිදෙන ගවුම උඩ යන හැටි !

‘පොළොවට ම බහිනවා වැනි අහස’
‘සඳැල්ලෙන් බිමට එනවා අහස’
නා කපන වැසි, අනෝරා වැසි, දෙපත් කපන වැසි විදියට අපි හඳුන්වන වැස්ස ගැන කියන තව විදියක්. නමුත්, මේ කියන විදියෙ අමුතු බුහුටි බවක් තියෙනවා. අහස පොළොවට බහින එක, සඳැල්ලෙන් අහස බිමට බහින එක, වාග් චිත්‍ර මවනවා.

මං කොතනක හරි කියෙව්වා, සරච්චන්ද්‍ර වරක් සරසවියෙ ළමයින්ට අමරසේකරගේ ‘චිචිරි චිරි’ කවිය කියාදෙමින් ඉද්දි, ‘කාර් රෝදෙන් චිරිස්’ කියන කොටසට එද්දි, ඒක මුහුණෙන් ඇඟෙන් රඟපාලා ම පෙන්නුවා කියලා. මඩ ඉහුණා වගේ අකමැති බවක් මූණෙන් පාලා මදක් ඈතට උණු ස්වභාවයක් පෙන්නුවා කියලා. කියවපු පොත මතක් වෙන්නෑ මෙවෙලේ.

හිම වසී, ගායනීයයි. බස බොහොම සරලයි. සාමාන්‍යයි. නමුත්, ඒ රිද්මයේ තියෙනවා, වහින ගතිය. එය ලයාන්විත ම නෑ, රිද්මයෙ තියෙනව එක්තරා කටුක බවකුත්. කවියා මේ වැස්ස සමාන කරනවා, විගඩමෙක්ට. විගඩමා නැත්නම් කෝලම් ළමාලා අපිට කෝලම්, නාටකවලදි හමුවෙනවා. දැන් මේ හිම වැස්සත් ටිකක් කෝලම් පුරපාට්ටු පාන කෙනෙක් වගේ. එක විදියක් නෑ, එක වෙලාවකට එක එක අභින පානවා, හැංගෙනවා, ආයෙ හූ තියාගන වහිනවා. සීත කාලගුණේ විවිධ වෙනස්වීම්, දැඩිවීම්, මෘදුවීම්, අනපේක්ෂිත වැසි මේ සියල්ල මෙයින් කියනවා.

මේක එක්තරා ගල් සීත කවියක්. හිතත් එක්ක සෙල්ලම් කරන, හැඟීම් අවුස්සන බවක් සෘජුව කවියෙන් එන්නෙ නෑ. කාලිදාසගේ සෘතු සංහාරයේ වැසි සමේ ගැන කියන කවි වගේ පසුබිම, පසුතලය පෘතුලව මැවීමක් නැතත්, මේ කියන ටික ඇති හිම වැස්සක ස්වහාවේ තේරුම්ගන්න. මේ කියන ගල් සීත බව කවිය පුරා ගල්වෙවී තියෙනවා.

“සුදු ගැහුණු පදිකයෙක්,
පුදුම වෙන තුරු පඳුරු
පාර උඩ වංගුවේ හරස් මග

කව්පෙළේ අන්තිම කවි පේළි තුන මේ විදියට වෙනම ගලවලා ගත්තොත් ඒක හයිකුවක් වගේ. හිමෙන් වැහුණු පදිකයෙක්, පාර උඩ වංගුවේ එලෙසින්ම නොසෙල්වී. මේක දැකලා පඳුරු පුදුමයෙන් ! කවුද මේ!

මෙන්න ඒ හිම කවිය, සම්පූර්ණයෙන්.

හිම වසී හිම වසී
හිම රොදේ තුහින තරු ඇස ගැසී
හිස දමා කවුළුවෙන් අත් විදා
කපුරු මල් ඒ දිහා යයි ඇදී

හිම වසී, මුළු ලොවම පෙරළියක
පියාඹනවා මෙන්ය හැමදේම
කළුපාට තරප්පුවෙ හිනිපෙත් ද
පාර උඩ වංගුවේ හන්දිය ද

හිම වසී හිම වසී
හිම කැරලි වැටෙන හැටියක් නොවේ
කුඩේ මෙන් විහිදුවා තිත් ගවුම
පොළොවට ම බසිනවා වැනි අහස

විගඩමෙක් මෙන් විසුළු අභින පා
තරප්පුව මුදුන සිට රූටමින්
හැංගිමුත්තන් කෙළින අවසරෙන්
සඳැල්ලෙන් බිමට එනවා අහස

ජීවිතය ඉන්නෙ නැහැ, ඒකයි
හැරෙනකොට මෙන්නැවිත් නත්තලත්
ඉන්පස්සෙ යන්නෙ කෙටි කාලයයි
ඔන්න ඇවිදින් අලුත් අවුරුද්ද

හිම වසී ඝනකමට හිම වසී
ඒ ලයට, රිද්මයට, ලතාවට
නොඉක්මන් ඉස්පාසු රටාවට,
නැත්නම් ඒ වගේ වේගෙකින්
කාලයත් පිය තබා යනවාද?

වසරකින් පසු වසර එන්නේ
හිම පියළි රළින් රළ එන ලෙසද
නැත්නම් කවියක වදන් මෙන්
එකක් අනිකින් ඉපිද එනවාද?

හිම වසී, මුළු ලොවම පෙරළියක
පියාඹනවා මෙන්ය හැමදේම
සුදු ගැහුණු පදිකයෙක්,
පුදුම වෙන තුරු පඳුරු
පාර උඩ වංගුවේ හරස් මග.

• මේ සතියේ ම හිම වසී, නොතෙමී යන්න !

– ඩිල්ෂානි චතුරිකා දාබරේ –

Social Sharing
අවකාශය නවතම