ස්මරණය

 

හීතලෙන් පිරීගිය
තනිය ඇවිදින් හිතට
අම්මාව හිත් ගොමුවෙ
අත ගගා හොයනවා ……..

අම්මගේ සොහොන් කොත
අසළ අක්වැස්සදා
ගෙඹි පැටව් කෑ ගසා
ළය පැලී මැරෙනවා…!!!

මෙහෟෂධ කුමාරය සඳුන් හර මිට මොලවන් ඉපදුනාට මං ඉපදෙනකොටම අරන් ආවෙ දුප්පත්කමයි සම්බෝලයි බතුයි…….!
වෙනත් ආදරනීය පොඩි දරුවන්ට වගේ මට රත්තරන් පංචායුධ තිබුනෙ නෑ . මට විශාල හදවතක් තිබුනට කවදාවත් මම ඒ හදවත දාහෙ කොලවලින් වැහෙන්න දුන්නෙ නෑ . අපරිමාන සංවේදී හිතක් තියෙන හින්ද මං තවම හිඟන්නෙක්. මම ඒ පංතියට නිර්ව්‍යාජ්‍යයව ආදරෙයි ……..!

ඔබ බොහෝ දෙනෙක් මට බෙනා, මචං, සහෝදරයා , අයියා, මාමා කියල අමතනව. මගෙ කමෙන්ට් එකක ” සර් ” “මහත්තයා ” කියල තිබුනු හැටියෙ මම එයාගෙ ඉන්බොක්ස් එකට යනව. මගෙ තරාදියට ඒව බර වැඩියි කියල මම එයාලට ආදරෙන් කියනව. උදාහරණ හා සාක්ෂි ඔබ ලඟම ඇති ………….!

බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ මම හොඳ රැකියාවක් කරන විධායක ශේණියේ වැටුපක් ලබන ගෙයක් දොරක් තියෙන පොෂ් කඩවසම් පලමුවැනි පංතියේ කවියෙක් කියල . ඔබ එහෙම හිතන එකට මම හරි බයයි . මම තුවක්කුවලට බය නෑ . ඒත් මිනිසුන් වරදවා තේරුම් ගන්න එකට බයයි ……..!!

මම තවම වැඩ කරන්නෙ ඇණ කඩේක . ඒකෙ ආධායමක් නැතිවුන හැටියෙ මොකක් හරි කුලී වැඩකට යනව. අගල් කපනව,ගල් වැලි පටෝනව,අතු පාහිනව,පොල් කඩනව එහෙම නැත්නම් පාර අයිනෙ මොනව හරි තියන් විකුනනව. මං ඒකයි ඔබ මට ” කවියා ” කියන එකට බය. එහෙම කිව්වම කවියන්ට ඒක අපහාසයක් වෙනව. ඉතින් මම ඔබ හිතන සර් හෝ මහත්තය එහෙමත් නැත්නම් ගරු කටයුතු තනතුරක ඉන්න කෙනෙක් නෙමෙයි. හරිම දුප්පත් එදිනෙදා කුලීවැඩ කරන මිනිහෙක්.
ගෙයක් දොරක් අහිමි මනුස්සයෙක්. පපුව අස්සෙ වාමාංශික දේසපාලනය ගැටගහගන ඉන්නව . එච්චරයි ……..!!

ඔය උඩ තියෙන කවිය අපේ අම්මගෙ මරනය දවසෙ මම ලියල මගෙ අතින් නාගොල්ලාගොඩ හන්දියෙ ගහපු මරන දැන්වීම . හිටපු ගේ සින්නවෙලා මම මහපාරට වැටෙද්දි මං ළඟ තිබුනෙ මැණික් කැට තුනක් විතරයි . එකක් අම්ම මැරෙන්න ආසන්නව ඉද්දි පාවිච්චි කරපු හැරමිටිය. අනික අම්මගෙ අයිඩෙන්ටිය සහ ඔය ඉහත ලියල තියෙන මරන දැන්වීම .
මහපාරට වැටුනම යන්න එන්න තැනක් නැතුව මම කුලියාපිටියට එන්න නාගොල්ලාගොඩින් බස් එකට නැග්ග. බස් එකේ සෙනඟ වැඩි නිසා අම්මගෙ හැරමිටිය ගේන්න විදියක් තිබුනෙ නෑ . ඒක මම එතන තිබුනු ටේලර් ෂොප් එක අයිනෙ අරලිය ගහ උඩින් තිබ්බ. අදටත් ඒකෙ මල් පිපෙනව ඇති. ………………

මරන දැන්වීමයි අයිඩින්ටියයි අරන් කුලියාපිටියට ඇවිල්ල යන්න එන්න තැනක් නැතුව මම ගියෙ අම්මව පුච්චපු ආදාහනාගාරයට. එතනින් පස්සෙ තමයි අක්ක මාව එක්කගෙන ගියෙ. ඔය කවිය තියෙන මරන දැන්වීම පාට පිච්චිලා අකුරු බොඳවෙලා දිරල ගියා.අයිඩින්ටිය මේ දැනුත් මං ලඟ. මං කොහෙදි හමුවුනත් ඔබ මගෙන් අහද්දි ඒක මට එවෙලෙම පෙන්වන්න පුළුවන් . මම මගෙ හිතෛෂින්ට කියල තියෙන්නෙ මගෙ මිනියෙ මූන ලඟින් ඒකත් තියන්න කියල . එයාල ඒක කරයි. මට ඔබට වගේ වෙනත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉලක්ක නෑ . තියෙන එකම අරහත් පැතුම ඒක විතරයි …….!!

අම්මගෙ මිනිය පුච්චන දවසෙත් ආදාහනාගාරයෙ විදුලිය නෑ . මම ඒකයි කියන්නෙ විදුලිබල ඇමතියන්ගෙ පෙකණිය කපල තියෙන්නෙ කටර් අඬුවලින් කියල . එදා දැවීමට මිනී තුනක් තිබුන . විදුලිය නැති නිසා ගෑස් වලින් පුච්චන්න තමයි ආණ්ඩුවෙ තීරණය .හැකි ඉක්මනින් මිනිය ගේන්න කියල ආදාහනාගාරයෙ පැත්තෙන් කියවුනා. හේතුව මිනී තුනයි එකක් පිච්චෙන්න යන කාලය ගෑස් නිසාවෙන් වැඩියි. ඒ අනුව මට සවස හතර වෙද්දි ආදාහනාගාරයෙ පෝරනුවෙ කට ලඟට අම්මව ගෙනත් ඇරලවන්න කියල නියෝගය ආව. දැන් මට සෑහෙන ගැටලුවකට මුහුණ දෙන්න වුනා. ඒ තමයි දුර ඉඳන් එන අයට එයාල ප්‍රමාද වෙන නිසා මිනිය බලන්න වෙන්නෙ නැහැ . ඇයි ඉතින් කලින් ගෙනියන්න වෙලානෙ. ඊට පස්සෙ මට ඒක කියල පනිවිඩයක් දෙන්න සිද්ධවුනා . ඒ පනිවිඩය තමයි

මිනිය ගන්නව තුනහමාරට

ඒ අනුවයි මේ පොතේ නම මේ විදියට මම දැම්මෙ . ඒ නිසා මගෙ මේ අළුත් කවි පොතේ නම මගේ අනුවේදනීය ජීවිතයට සම්බන්ධයි…….!

මේ පොත කරන්නෙ හතර අතට නයවෙලා.
අවුරුදු දෙක තුනකින් පොතක් නොකල නිසාත් විශේෂයෙන්ම අතේ කීයක්වත් නැති නිසාත් ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්නත් එක්ක මේ පොත කළේ. දැන් කුලී වැඩත් ඒ හැටි නෑ . ඇන කඩෙත් අයිති මහත්තය විකුනන්න යන්නෙ . ඒ නිසා ඔබ පොතක් ගන්නව කියන්නෙම මාව ජීවත්කරවනව වගේ වැඩක්. මෙතෙක් මට නන් අයුරින් උපකාර කළ හැමදෙනාටම මං ආදරෙයි ඒ අයට ස්තුතියි . ඔබට මම කීයක් හරි දෙන්න තියෙනවනම් මේ පොතෙන් පස්සෙ ඒ හැම එකක්ම ගෙවන්න මං ප්‍රසිද්ධියේ පොරොන්දු වෙනව………!

මේ පොතේ පිදුම තියෙන්නෙ ඔබට.
ඒ නිසා මේ පොත පිටපත් පන්සියයේ පලමු මුද්‍රණයෙන් පසුව නැවත කිසිදාක ආයේ මුද්‍රණය කරන්නේ නෑ. ඒ වාගේම පොත සිල්ලර විදියට තැලී පොඩිවී මිරිකී බාල්දු වී හෙට්ටු වී අව්වේ තපිමින් පින්නට හෙම්බිරිස්සාව හදාගනිමින් විකිණෙන්න බුක් ෆෙයාර් එකට දාන්නෙත් නෑ. පොත් කඩ මුදලාලිගෙ නලලෙ රැලි ගමේ අපේ බඩේ රැලි තරම් ලස්සන නොවෙන නිසා කිසිම පොත් කඩයකට දාන්නෙත් නෑ . මොකද එහෙම උනාම ලියපු එකාට නෙමෙයි සල්ලි ටික යන්නෙ වෙනත් පාර්ශව වලට.
කිසිම සම්මාන උත්සවයකට ඉදිරිපත්කරන්නෙත් නෑ . අනේ මගේ පොත ගැන ඇඩ් එකක් දාන්න හෝ විචාර කරන්න කියල කිසිම පත්තරයක් ඉස්සරහ දෙකට නැමෙන්නෙත් නෑ . පොත ගැන සංවාද කරන්න හෝ දොරට වැඩීම පිළිබඳව කිසිම අදහසක් නැහැ . මං ඒ හිතුවක්කාර තීරන අරන් තියෙන්නෙ ඔබට සහ මේ පොතට මගෙ තියෙන අපරිමාන ගෞරවය නිසයි. මම හිතන්නෙ ඒ ඔබට ඇති…..!!

පොත පෞද්ගලිකව ලබාදීමට ක්‍රමවේදය මුද්‍රණය සමඟ සකසා ගනිමි.දැන් ඉතින් අපි ආයෙත් අර අකුරු බොඳවුනු පාට හේදුනු මරන දැන්වීමට යමු………

හීතලෙන් පිරීගිය තනිය ඇවිදින් හිතට
අම්මාව හිත්ගොමුවෙ අතගගා හොයනවා
අම්මගේ සොහොන්කොත අසළ අක්වැස්සදා
ගෙඹි පැටව් කෑ ගසා ළය පැලී මැරෙනවා…!!!

– නාහල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් –

Social Sharing
අවකාශය නවතම