-කේ. සංජීව-
පීටර් බෲක් (Peter Stephen Paul Brook) මියගිහිං කියලා ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධනයන් ෆේස්බුක් බිතේ සටහන් කරලා තිබුණා. මේ නම මගේ මතකයේ රැඳුන නමක්. ඒකෙන් කියවෙන්නේ නෑ පීටර් ගැන මම සෑහෙන්න ඉගනගෙන තියෙනවා කියලා. ඒත් මම නාට්‍ය එක්ක අනුරාගයෙන් වෙළිලා පැටලිලා හිටපු කාලයක් තිබුණා. එහෙම කාලෙක 2004 අග විතර තමයි මට බුද්ධික දමයන්ත කියන නාට්‍යකාරයා බොරැල්ලේ පුංචි තියටරයේදී හමුවෙන්නේ. එතකොට මම අපේ පන්ති කාමරය කියන බුද්ධික දමයන්තගේ නාට්‍ය බලලා ඔහු ගැන පිස්සුවකින් හිටියේ. කොහොම හරි පළමු හමුවෙන්ම මම බුද්ධික එක්ක නාට්‍ය කරන්න, ඇත්තටම කිව්වොත් නාට්‍ය ඉගනගන්න තීරණය කළා. ඒක හරියට පරිසමාප්තියට කළා කියලා නෙවෙයි මේ කියන්නේ, නාට්‍ය උන නාට්‍ය අධ්‍යයනයක් මට්ටම ඔසවා තියන්න මේ හමුව යම් කෙනෙත්තීමක් වුණා.
බුද්ධික නිතරම කියපු නමක් තමයි පීටර් බෲක්. දවසක් මරදානේ පරණ පොත් කඩයක් අස්සෙදි මට පීටර් බෲක් හමුවුණා. ඇත්තටම හම්බ වුණේ මිනිහා ලියපු The Empty Space (1968) කියන පොත. ඒක තියටර්වලට තිබෙන එක අත් පොතක් කියලා මම දැනගත්තේ පස්සේ.
ඉතිං අවුරුදු 97ක් ජීවත් වුණ පීටර් බෲක් පසුගිය සෙනසුරාද (2) තමන්ගේ ජීවිත රංගයට සමුදීලා. ලන්ඩනයෙන් ජීවිත රංගය පටන් ගන්න පීටර් සිය ජීවිතය අවසන් කරන්නේ නිර්මාණාත්මක සහ ආන්දෝලනාත්මක වේදිකා අධ්‍යක්ෂවරයෙක් වේදිකාව පිළිබඳව පර්‍යේෂනය කළ විශිෂ්ඨ පර්‍යේෂකයෙක් විදිහට. ඔහු වේදිකාවේදියෙක්. ඒක තමයි මගේ නිර්වචනය. තියටර් ගැන තියරි හදපු මනුස්සයෙක්. රංගයන් ගැන නොනවතින පර්‍යේෂනයන් සහ ගවේශනයන් වල ආවේශගත වුණ නළුවෙක්. පීටර් බෲක් 1974 ඉඳලා ප්‍රංශයේ තමයි ජීවත් වුණේ.
යුදෙව්වෙක් විදිහට ඉපදෙන පීටර් ඔක්ස්ෆර්ඩ් ඉගන ගත්තට පස්සේ තමයි වේදිකාවට බැඳෙන්නේ. ඊටපස්සේ Birmingham Repertory Theatre එකෙන් පටන් ගන්න ඔහුගේ වේදිකා සංචාරය කෙළවරට එනකොට ඔහු වේදිකාවෙන් ලෝකයේ විශිෂ්ඨතමයා බවට පත් වෙලා ඉවරයි. ඒ නිසාම තමයි අපි ඔහුගෙන් බොහෝ දුර ඉඳලත් ඔහු දිහා බලාගෙන ඉන්නේ. යූ නලයට ගිහිං ඔහුගෙන් ආතුර වෙන්නේ. විකිපීඩියාගත වෙලා බෲක්මය නිමේශයන්වල කිමිදෙන්නේ.
1950 දශකයේ ඔහු Laurence Olivier, John Gielgud, Paul Scofield වගේ විශිෂ්ඨයෝ එක්ක තමයි ආතුර වෙන්නේ. ටෙනිසි විලියම්ස්, ආතර් මිලර්, විලියම් සේක්ෂ්පියර්, ටී එස් එලියට් වගේ අයගේ නාට්‍ය පෙළවල්, පීටර් වේදිකා වැඩබිම් කරගන්නවා. ඔහුට රංගගතවෙන්න වේදිකාවම අවශ්‍ය වුණේ නෑ. ඕනෑම හිස් ඉඩක් හිස් වේදිකාවක් විදිහට තමයි මිනිහා ග්‍රහනය කරගත්තේ. මිනිසෙක් මේ හිස් අවකාශය හරහා ඇවිද යනවා, වෙනත් කෙනෙක් ඔහු දෙස බලාගෙන ඉන්නවා. මෙන්න රංගයක් සඳහා අවම අවශ්‍යතාවය සැපිරුණ මොහොත. තියටර් කියන්නේ මේකට කියලා තමයි ඔහු කීවේ. (මගේ වැටහීමට අනුව) අද අපි කතාකරන හැම වේදිකා ප්‍රවර්ගයකම මේ දැනුම තිබෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒකියන්නේ අද ලෝකේ කොහේ වුණත් වේදිකා කලාව අස්සේ පීටර් වෙනස් වෙනස් විදිහට වරනැඟෙනවා.
මරා සාද් කියලා කියන්නේ අපේ කතානායකයාගේ නම වේදිකාවේ උඩින්ම තියපු එක අවස්ථාවක් විතරයි. 1966 දී මේ නාට්‍ය නිෂ්පාදනය නිසා පීටර් ට හොඳම අධ්‍යක්ෂනයට සම්මාන හම්බවෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ ප්‍රධාන කෘති අතර මහා භාරතය ගැන තමයි ගොඩක් දෙනෙක් කතාවෙන්නේ. මහා භාරතය කියන්නේ පැය 09ක් පුරා දිවෙන වේදිකාමය රංග කාර්‍යයක්. මේක ගැන කියව්වාම මට මතක් වුණේ සිනමාවේදී අපිට මුණගැහෙන Béla Tarr කියන හංගේරියානු සිනමා අධ්‍යක්ෂකවරයා.
පීටර් බෲක් කියලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨයෙක්. මම වගේ දුහුනෙක් මේ මනුස්සයා ගැන මොනා ලියන්නද? ඒත් මේ පොඩ්ඩ හරි සටහන් කරන්නේ මනුස්සයාගේ අසහාය අරගලය වෙනුවෙන් ආචාර්‍යය පුදන්න. ඉතිං ඔහුගේ නාට්‍ය ජීවිතය ගැන එහි භාවිතාවන් ගැන කවුරු හරි දන්න කෙනෙක් ලියන්න.
පීටර් බෲක් ඔබට සුබ ගමන්..!!