ජවිපෙයි පෙරොට්ටොයි ගහන්න‍යි හදන්නේ පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලියයි

– කේ. සංජීව –

ඉදිරි සතිය තුළ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය ඇතුලු විපක්ෂ කණ්ඩායම් රජයට බලපෑම් කිරීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ එම මන්ත්‍රී නිවස්න වෙත ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇතැයි තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න වෙත ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කර ඇත.

IUP/PA/CID/OUT/1687/22 යටතේ යොමුකරන මෙම ලිපිය තුළ පොලිස්පතිවරයා මුලින්ම අවධාරණය කරන්නේ 2022.07.05 සහ 06 දිනවල යෙදෙන කළුකොටි සැමරුම් සතිය තුළ උතුරු නැගෙනහිර සහ දකුණු පළාත් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදේශීය බුද්ධි සේවයක් මගින් සිදුකර එය LTTE සංවිධානය මගින් සිදුකළ බවට ඒත්තු ගැන්වීමේ සූදානමක් පවතින බවට තමන්ට තොරතුරු ඇති බවය. දැනටමත් යාපනය ප්‍රදේශයේ සේවය කරන විදෙස් ආයතනවලට සම්බන්ධ පිරිස් සහ ප්‍රභූන්ට ඉහත දින දෙකේ දී කිසිඳු උත්සවයකට සහභාගී නොවන්න යැයි උපදෙස් ලබාදී ඇතැයි බුද්ධි තොරතුරු ඇති බව එම ලිපිය මගින් පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර ඇත.

මෙම ලිපිය පිළිබඳව මෙම ලියුම්කරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම ලිපිය රහසිගත ලිපියක් නොවන බවයි. මෙහි ඇත්තේ පොලිස් සැරයන්වරයෙක්ට ලැබුණ බුද්ධි තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීම පමණක් බව‍යි. එම තොරතුර සත්‍ය තොරතුරක් බවට තහවුරු වී නැති බවත් ප්‍රකාශ කළ ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම තොරතුරේ නිර්වද්‍යතාවය සොයාගැනීම සහ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත මෙම දැනුවත් කිරීම පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති බවයි. මෙය සාමාන්‍ය ක්‍රමය බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Social Sharing
නවතම පුවත්