ජාතිය, සංස්කෘතිය සහ චින්තනය

ජාතිකවාදය උපකල්පනය කරන්නේ අපට සංස්කෘතික සාපේක්ෂතාවාදය පසුකර යා නොහැකි බවයි. එනිසා ‘ජාත්‍යන්තරවාදය’ යනු අවලංගු අදහසකි. එමගින් ප්‍රායෝගිකව සිදුවන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව සිතන්න උත්සාහ කිරීමයි කියා ජාතිකවාදියා යෝජනා කරන්නේ මේ නිසාය. ජාතිකවාදියාට අනුව අපේ සිතීමේ ගැඹුරුම මානය වන්නේ සංස්කෘතියෙන් අපට උරුම වන සිතීමේ ‘විදියයි’.

නමුත් මේ මගින් අපේ ‘සිතීම’ සම්බන්ධයෙන් කරනා උපකල්පනය කුමක්ද? මෙලෙස සංස්කෘතියක් මත මූලධාර්මිකව පරායත්ත වන සිතීමක් ඇති වූයේ කෙසේද? මෙයට පිළිතුරක් දිය නොහැකි වන්නේ මෙය සිතා බැලීම සඳහා අප සෑම විටම ඒ වනවිටත් කිසියම් සංස්කෘතියක සිතිය යුතු වීමයි. එයට පූර්ව වූ තැනක් පිළිබඳව සිතීම අපව ගෙන යන්නේ අත්‍යන්ත විසංවාදයක් වෙතයි. එම නිසා මෙතනදී ජාතිකවාදය සිතීමට අකමැති ප්‍රශ්නයක් එයට අභිමුඛ වේ. එම සිතීම අවසන් වීමේ හැකියාව කිසිදා සංස්කෘතියට සාපේක්ෂ වන්නක් කියා අපට කිව නොහැකි වේ. මෙයට හේතුව වන්නේ සිතීම සංස්කෘතියට සාපේක්ෂ වුවත් සිතීමක් – ‘මනසක්’ – නොමැතිව සංස්කෘතිය යනුවෙන් වූ පැවැත්මක් ඇති බව ද ජාතිකවාදය ප්‍රතික්ෂේප කිරීමයි. එම නිසා ජාතික-සංස්කෘතිය ලෙස නිරපේක්ෂ වූ පැවැත්මක් ජාතිකවාදියා යෝජනා කරන්නේ නැත. මාගේ සිතීම සංස්කෘතියට සාපේක්ෂ වන ලෙසම සංස්කෘතිය ද මාගේ සිතීමට සාපේක්ෂ වෙයි. මේ දෙක පවතින්නේ එකිනෙකින් ස්වායත්තව පැවතිය නොහැකි සමාරම්භක සම්බන්ධයක් තුළ පමණි.

මේ සිතීමේ වියහැකි අවසානය සංස්කෘතියට සාපේක්ෂ විය නොහැකි වන්නේ මෙම නිසාය. මගේ මරණය අනෙකා දකින ආකාරය සංස්කෘතියට සාපේක්ෂ විය හැකි වුවත් එය මා ‘අත්දකින’ ආකාරය සංස්කෘතියට සාපේක්ෂ විය හැකි නොවේ. මාගේ මරණය යනුවෙන් අදහස් වන්නේ මාගේ සිතීම වෙත උරුම විය හැකි අවසානයක් නම් එය කිසිදා සංස්කෘතියකට සාපේක්ෂ වන්නක් නොවේ. නැවතත්, මෙයට හේතුව වන්නේ සංස්කෘතිය යනු මගේ සිතීමෙන් ස්වායත්ත පැවැත්මක් නොවීමයි. එම නිසා මගේ මරණය යනු මගේ සිතීමට අත්විය හැකි අවසානයක් නම් එය කිසිදා මගේ සිතීමට හෝ ඒ හා බැඳුනු සංස්කෘතියට සාපේක්ෂ නොවේ. මරණය යනුවෙන් අදහස් කරන්නේ මාගේ සිතීමේ අවසානයක් නම් එය කිසිදා මගේ සිතීමට සාපේක්ෂ විය නොහැකිය.

නමුත් මේ සිතීම අවසානයකින් තොරව පැවතිය යුත්තේ ඇයිද කියා ද මට කිව නොහැක. මෙයට හේතුව වන්නේ මාගේ පැවැත්ම සඳහා හේතුවක් මට සිතා ගත නොහැකි වීමයි. අනෙකා මරණය සම්බන්ධයෙන් අපට ඇති දැනුම, ජීව විද්‍යාත්මක දැනුම සම්බන්ධයෙන් අපගේ තක්සේරුව, දෙවියන්, නිවන ආදී සියල්ල සැක කරමින් කාටිසියානු සැකයේ අන්තයට ගියත් මට මේ සැක කිරීම සිදු කරන ක්‍රියාව එහිදී කරුණක් ලෙස ගැනීමට සිදු වෙයි. එම අර්ථයෙන් සිතීම යනු යනු යම් දේවල් සිතීමේ කොන්දේසිය ලෙස අපට ගත හැකිය. ඩෙකාට් කළ ලෙස එය සාරයක්, සාරභූත පැවැත්මක් ලෙස කිසි සේත් ගත නොහැකි බව පැහැදිළි වුවත් දාර්ශනික ප්‍රශ්න කිරීමක් කළ හැක්කේ එම ප්‍රශ්න කිරීම සිදු කරන හැකියාවක් එම මොහොතේ දී වලංගු වනවා කියා පිළිගැනීමෙන් පසුව පමණක් බවත් අපට පැහැදිළි වේ. එම හැකියාවේ ‘සැබෑ ස්වරූපය’ අප නොදන්නේ වුවත් එය කුමන හෝ ආකාරයකට එතැන දී අපට ගැනීමට සිදුවන්නේ එසේ නොමැතිව අපේ ප්‍රශ්න කිරීමම අසාර්ථක වන නිසාය. එම ප්‍රශ්න කිරීම කළ හැකි කොන්දේසිය මෙහිදී බලපවත්නා බව අප පිළිගත යුතුය. සිතීම සංස්කෘතියට සාපේක්ෂ වන්නේය යන්නෙහි පූර්වකල්පනය වන්නේ මෙයයි. සංස්කෘතියකට අනුව හැඩ ගැසුණු සිතීමක් දැන් තිබේ. එහි ආරම්භයක් නොදන්නා නිසා එය නැති වීමට ද හැකි බව පිළිගැනීමට සිදුවෙයි.

මරණය පිළිබඳව සිතනා විට අප සිතන්නේ මෙවැනි අවසානයක හැකියාවයි. අන් සියලු දැනුම් අප සාපේක්ෂතාවාදී අයිස් වතුරේ ගිල්වා දැමුවත් හේතුවක් නොමැතිව දේවල් පවතිනවා කියා මට සිතිය හැකි නිසා මේ පැවැත්ම අවසන් වීමේ හැකියාව ද මට පිළිගැනීමට සිදුවෙයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් මට සිතා ගත හැකි සෑම ආකාරයකම හේතුවක් සංස්කෘතියට සාපේක්ෂ වුවත් කිසිදු හේතුවක් නොමැති නිසා ද දේවල් නැති විය හැකි බව මට සිතීමට හැකිය. නමුත් එම හේතු විරහිත බව වලංගු වීම සඳහා තවදුරටත් සංස්කෘතියට බැඳුනු සිතීමක් අවශ්‍ය නොවේ. මෙයට හේතුව වන්නේ එම හේතු විරහිත බව සඳහා එවැනි සිතීමක් ද නැති කළ හැකි වීමයි. එනිසා එම හේතු විරහිතව දේවල් ඇති කිරීමට සහ නැති කිරීමට ඇති හැකියාව සැබැවින්ම නිරපේක්ෂ වෙයි.

එමගින් සිතීම ළඟා වන්නේ අපේ සිතීම නොමැතිව යම් යම් දේ සිදුවිය හැකි ආකාරය පිළිබඳව සිතීමක් වෙතයි. නැවතත්, මාගේ මරණය පිළිබඳව ගැටලුව මට අභිමුඛ කරන මූලික අවබෝධය මෙයයි. සිතීමත් නොමැතිව, කිසිදු හේතුවක් නොමැතිව පවත්නා දෙයක් ඇති වීම හෝ නැති වීම හෝ සිදුවිය හැකිය. මෙය මට ඉතා පහසුවෙන් සිතිය හැකි වුවත් එය මගේ සිතීමට සාපේක්ෂ ලෝකයට සීමා වන දැනුමක් නොවේ. ඒ වෙනුවට මෙය එම ලෝකය රැඩිකල් ලෙස අතික්‍රමණය කරන දැනුමකි.

මරණය පිළිබඳව සිතීම දේශපාලනය සඳහා වැදගත් වන්නේ මේ නිසාය. එතැන දී සංස්කෘතික විෂමතාවයන් ඉක්මවූ රැඩිකල් සමානත්වයක් මිනිසා වෙත උරුම වෙයි. මිනිසා යනු ‘මරණය’ යන නමින් හඳුන්වන සිය පැවැත්ම නැති කිරීමට හැකි නිරපේක්ෂ වියහැකිභාවය හඳුනා ගත හැකි පැවැත්මයි. එය පදනම් වන්නේ හේතුවක් නොමැතිව දේවල් ඇති විය හැකි බව සහ නැති විය හැකි බව සම්බන්ධයෙන් අපට ඇති අවබෝධය මතයි. එම දැනුම ඔස්සේ අපි සදාකාලිකත්වයක් සිතීමට සමත් වන්නෙමු.

මේ මගින් අපට මිනිසත්බව සම්බන්ධයෙන් ද විශේෂ අවබෝධයක් ලැබෙයි. මිනිසා යනු මෙම සදාකාලිකත්වය පිළිබඳව ඇති නිරපේක්ෂ අවබෝධය දරා ගැනීම නම් වූ සුවිශේෂ ලක්ෂණය හිමි වන්නා වූ පැවැත්මයි. සත්භාවවේදී ලෙස මිනිසා සුවිශේෂ වන්නේ මේ නිසාය. මෙවැනි තවත් පැවැත්මක් විශ්වයේ තිබිය හැකි ද කියා අප නොදන්නා වුවත් එයට මේ දැනුම පසුකර යා නොහැකි බව අපට පැහැදිළි වේ. මෙයට හේතුව වන්නේ මෙය සත්‍යය වශයෙන්ම අවසාන, එනම් නිරපේක්ෂ, දැනුමක් බව අපට පැහැදිළි වීමයි. මම සිතුවත්, නැතත් දේවල් ඇති වීම සහ නැති වීම සිදු විය හැකිය. එම හැකියාව පරම ලෙස වලංගු වෙයි. අපට ළඟා විය හැකි පළමු පරම වූ අවබෝධය මෙයයි.

එම නිසාම සංස්කෘතිය ඉක්මවා යන රැඩිකල් සමානාත්මතාවයක් අපේ පැවැත්මේ ගැඹුරුම මානය වන සිතීම සමග බැඳී තිබේ. මෙම සමානාත්මතාවයට වඩා මූලධාර්මික වන්නා වූ කිසිදු ලක්ෂණයක් මිනිසුන් වෙත නැත. එනිසාම සංස්කෘතික වෙනස්වීම් මෙතැන දී ද්වීතියික වෙයි. මිනිසා යනු ජාතික-සංස්කෘතික සීමාවන් වලට ඔබ්බෙන් සිතිය හැකි පැවැත්මක් පමණක් නොව එය ‘ජාත්‍යන්තරවාදී’ වීමටත් ඔබ්බට ගොස් සැබැවින්ම සාර්වත්‍රික (universal) වන්නා වූ පැවැත්මකි. එවැනි සාර්වත්‍රික පැවැත්මක් විසින් ඉල්ලා සිටින යුක්තිය කුමක්ද? එය කිසි සේත් සංස්කෘතියට සීමාවන අදහසක් නොවන බව ආරම්භයක් වශයෙන් කිව හැකිය.

උපුටාගැනීම : බටහිර ඉවුරේ දර්ශනය

Social Sharing
නවතම විශේෂාංග