හෙළ හවුල සහ භික්ෂූන්වහන්සේ අතර ඇති වූ ගැටුම

20 වන සියවසේ ලංකාවේ දේශපාලන ඉතිහාසය මෙන්ම බුද්ධිමය ඉතිහාසයද (intellectual history) ද වැදගත් සිදුවීම් වලින් ගහන විය. බුද්ධිමය ඉතිහාසය සම්බන්ධ ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධිමය පාරිශුද්ධවාද ව්‍යාපාර  (puritan movement ) දෙකක මතුවීමකි. එකක් ආගමික පාරිශුද්ධ වාදයකි. අනෙක භාෂා පාරිශුද්ධ වාදයකි.

රාමඤ්ඤ නිකාය සහ විනයාලංකා⁣ර නිකායේ බිහි වීමත් සමග මතු වූ විනය කතිකාව ඔස්සේ මතු වූ ‘විනයවර්ධන ව්‍යාපාරය’ නම් වූ ආගමික පාරිශුද්ධ ව්‍යාපාරය දීප ව්‍යාප්ත විය. “පිරිහුණු භික්ෂූන්ගෙන් තොර” පිරිසිදු බුදු දහමක් සොයා යෑම එහි අරමුණ විය. එයට පුරෝගාමී වූයේ පැල්මඩුල්ලේ විසූ වැඩි දෙනෙක් නොදන්නා අඹේගොඩ සුමනරත්න පඬිවරයාය.

භෂා පාරිශුද්ධවාදය මතුවූයේ ජේම්ස් ද අල්විස් වැනි පඬිවරුන් විසින් ආරම්භ කරන ලද භාෂා අනුරාගය ඔස්සේ මතු වූ හෙළ හවුල ව්‍යාපාරය කෙ⁣රෙනි. හෙළ හවුල වෙනත් භාෂා වලින් දූෂිත නොවූ පිරිසිදු හෙළ බසක් සාදා ගැනීම වෙනුවෙන් කැප වූ ව්‍යාපාරයකි. එහි පුරෝගාමියා වූයේ කවුරුත් දන්නා කුමාරතුංග මුනිදාස පඬිවරයාය. මාර්තු (02) කුමාරතුංග මුනිදාස  සමරු දිනයයි.

මේ බුද්ධිමය ව්‍යාපාර දෙකටම ලංකාවේ භික්ෂූන්වහන්සේ සමග ගැටුමකට යෑමට සිදු විය. ආගමික පාරිශුද්ධවාදී ව්‍යාපාරයකදී සම්ප්‍රදායික ආගමික ප්‍රභූන් සමග ගැටීමකට යෑම තේරුම් ගත හැකිය. විනයවර්ධන ව්‍යාපාරය භික්ෂූන්වහන්සේ සමග මුහුනට මුහුන හැප්පුන ව්‍යාපාරයක් විය. (මේ ගැන ඉදිරි ලිපියක ලියමි) වඩා ප්‍රහේලිකාත්මක කාරනය වන්නේ භාෂා පාරිශුද්ධවාදයක් වූ හෙළ හවුලටද භික්ෂූන්වහන්සේ සමග ගැටුමක⁣ට යෑමට සිදු වීමය.

හෙළ හවුලත් භික්ෂූන්වහන්සේත් බුද්ධිමය වශයෙන් ගැටුන ප්‍රධාන අවස්ථාවන් දෙකක් වූයේ ⁣කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ ප්‍රකාශ පදනම් කර⁣ගෙන මතු වූ කුකවිවාදය සහ පාලි භාෂාවාදයයි. කෝට්ටේ යුගයේදී සැළලිහිණි සංදේශය, කාව්‍යශේඛරය ආදී  කෘතීන් කළ තොටගමුවේ සිරි රාහුල හිමියන් සැබෑ කවියකු නොව කාව්‍ය චෞරයකු හෝ කවි කමට නොගැලපෙන කුකවියකු බව කුකවිවාදයෙන් මතු වූ අදහසය. කුමාරතුංග පඬිවරයා මේ බව සෘජුවම සඳහන් නොකළද මේ වාදය ඇදී ගියේ මේ මතය වටාය.

“කවිරනුහරතිච්ඡායා
මර්ථං කුකවි (හ්) පදං චෞර( (හ්)
යන සංස්කෘත ශ්ලොකයට අනුව අනුන්ගේ නිර්මාණයක් තම නිර්මාණ  වලට යොදා ගැනීමේදී “කවීහු හුදු ඡායා මාත්‍රය ගනිති. කුකවියා අර්ථය ගනීයි. සොරා මුලු පදයම ගනියි’ රාහුල හිමියන්ගේ නිර්මාණ වල පෙර බ්හි වූ සංස්කෘත සාහිත්‍යයේ එන යෙදුම් ගෙඩි පිටින් දක්නට ඇති බවට තර්ක කළ කුමාරතුංග පඬිවරයා’ ඉහත දැක් වූ සංස්කෘත ශ්ලොකයද පෙන්වා  කාව්‍ය ශෙඛර කර්තෘට අයත් වනුයේ කවි නාමය නොවේ යැයි පැවසීය. කුකවිවාදයට මුල් වූයේ මේ ප්‍රකාශයයි.

මේ ප්‍රකාශය බොහෝ භික්ෂූන්වහන්සේ ගේ සිත රිදුම් දුන් කරුණක් විය. එය තොටගමුවේ රාහුල හිමියන්ට කළ අවමානයක් ලෙස භික්ෂූන්වහන්සේ  භාරගත්හ. එකල විසූ පණ්ඩිත යගිරල පඤ්ඤානන්ද හිමි වැනි පැවිදි පඬිවරු කුමාරතුංග පඬිවරයා සමග වාදයට පැමිණියහ. වාදයෙන් අවසාන වශයෙන් ජයගත්තේ කුමාරතුංග පඬිවරයා බව පෙනේ. එහෙත් මෙය බෞද්ධ භික්ෂූන්වහන්සේ සහ හෙළ හවුල අතර දිගු කාලීන ගැටුමකට හේතු විය.
මේ ගැටුම තවත් උත්සන්න වූයේ පාලි  භාෂාවාදය නිසාය. පාලි භාෂාව බුදුන් වහන්සේ දහම් දෙසූ බස හෝ දඹදිවින් මෙරටට මහිඳු හිමියන් සමග පැමිණි බසක් ⁣හෝ නොව ලංකාවේ භික්ෂූන්වහන්සේ ව්සින් නිර්මාණය කරන ලද බසක් යැයි කුමාරතුංග පඬිවරයා තර්ක කළේය. මෙය කුකවි වාදයටත් වඩා භික්ෂූන්වහන්සේගේ ආවේග ඇවිස්සූ ප්‍රකාශයක් විය. එය බුදුන්වහන්සේටත් ලංකාවට බුදු දහම ගෙනා මිහිඳු මහරහතන් වහන්සේටත් කළ අවමානයක් යැයි කියැවිණි.

කුමාරතුංග පඬිවරයාගේ නිවස අසලම වැඩ විසූ පානදුරේ සරික්කාල මුල්ල විහාරයේ පණ්ඩිත මැද උයන්⁣ගොඩ විමලකීර්ති හිමි මෙහිදී හෙළ හවුළේ මතයට එරෙහිව ප්‍රධාන වශයෙන් කරුණු දැක්වූ හිමි නමකි. කුමාරතුංග පඬිවරයාගෙන් එහිමියන්ට ඉතා කර්කශ ප්‍රහාර එල්ල විය. එපමණක් නොව පාලියෙන් ලියූ මහා වංශයට, එය ලියූ මහා විහාරික භික්ෂූන්වහන්සේට පමණක් නොව මහා වංශයේ වීරයා වූ දුටු ගැමුණු රජුටද කුමාරතුංග පඬිවරයා සරදම් කළේය. හෙළ හවුල සහ භික්ෂූන්වහන්සේ අතර ඇති වූ මෙම ගැටුම මතවාද ගැටුමක් විනා කායික ප්‍රචණ්ඩ ගැටුමක් නොවිණි. හෙළ හවුලේ මතයට පක්ෂ පැවිදි පිරිසක්ද වුහ. එහෙත් විනය වර්ධන ව්‍යාපාරය සහ භික්ෂූන්වහන්සේ අතර ගැ⁣ටුම ප්‍රචණ්ඩ ගැටුමක් දක්වා ඇදී ගිය අවස්ථා තිබුණි.

මේවා මතුපිට විස්තර පමණි. එ⁣තෙක් පැවති සම්ප්‍රදායික අදහස් වලට අභියෝග කරමින් මේ පාරිශුද්ධවාදී බුද්ධිමය ව්‍යාපාර දෙක මෙසේ මතු වූයේ මන්ද? මේවා පිටුපස තිබු සමාජික සංස්කෘතික හා සමාජ මානසික සාධක මොනවාද යන්න පිළිබඳ  ප්‍රමාණවත් සමාජ විද්‍යාත්මක විග්‍රහයක් අපගේ ශාස්ත්‍රීය ප්‍රජාව කෙරෙන් තවමත්  ඉදිරිපත් වී නැති බව මාගේ නිරීක්ෂණයයි.

කරු පරණවිතාන

Social Sharing
නවතම විශේෂාංග